
සියලු දුක්ඛයන්ගේ හට ගැනීම ලෝකයේ සත්‍යය ස්වභාවය අවබෝධ නොවීම හේතුවෙන් සිදු විය. අවිද්‍යාව මෙහි ප්‍රමුඛ ලක්‍ෂණයයි. අවිද්‍යාවේ ස්වභාවය සහ එයින් සත්ත්වයා මුළා කරන අයුරු පසුගිය ලිපියෙන් කරුණු දක්වන ලදී. අවිද්‍යාව පිළිබඳ ගැඹුරින් තේරුම් ගැනීමට අර්ථ වශයෙන් ද තේරුම් ගත යුතු ය. විසුද්ධි මාර්ගයෙහි ආකාර හයකින් අවිද්‍යාව පිළිබඳ කරුණු විග්‍රහ කොට ඇත. (1) පුරන්නට (රැස් කරන්නට) නොනිසි බැවින් කායදුශ්චරිතාදිය අවින්දිය නමි, නොවිදිය යුතු ඒ කාය දුශ්චරිතාදිය විඳිනු අවිද්‍යා නමි, (2) වින්ද යුතු කාය සුචරිතාදිය නො විඳිනුයි හෝ අවිද්‍යා නමි, (3) ස්කන්ධයන්ගේ රාශී බව ය. ආයතනයන්ගේ ආයතන බව ය. ධාතූන්ගේ ධුව - සුඛ - සුභාදී ශූන්‍ය බව ය. ඉන්ද්‍රියයන්ගේ අධිපති බව ය. සත්‍යයන්ගේ තථ බව ය, යන අර්ථයන් නො දත දේ නුයි අවිද්‍යා නමි. (4) දුක්ඛාදීන්ගේ පීඩනාදි චතුර්විධ අර්ථයන් නො දත දේ නුයි අවිද්‍යා නමි. (5) අන්තයක් නැති සසර සියලූ යෝනි - ගති - භව - විඤ්ඤාණ - ඨිති - සත්ත්වාසයන්හි සත්ත්වයන් දුවවානුයි අවිද්‍යා නමි. (6) පරමාර්ථ වශයෙන් අවිද්‍යමාන වූ ස්ත‍්‍රී පුරුෂාදි සම්මුති ධර්මයන්හි දුවානු යි හෝ පරමාර්ථ වශයෙන් විද්‍යමාන වු ස්කන්ධාදීන්හි නොපවතීනුයි අවිද්‍යා නමි. (විසුද්ධි මාර්ගය, 748 පිටු.)
අවිද්‍යාව
ඉහතින් දක්වන ලද අර්ථයන්ට අනුරූපීව අවිද්‍යාවේ ස්වභාවය දත යුතු ය. සත්‍යය ස්වභාවය නොදැන කටයුතු කිරීම බොහෝ ව්‍යසනයන්ට හේතුව යි. පටිච්චසමුප්පාදයේ දෙවන අංගය වන සංස්කාරයන්ට අවිද්‍යාව උපකාර වන්නේ කෙසේ ද සහ සංස්කාර යනු කවරක් ද යන්න අවබෝධය ඇති කොටගැනීම ද වැදගත් වේ. තමාගේ ඵලයට සුදුසු සේ සකස් කෙරෙත්නුයි යන අර්ථයෙන් සංස්කාර නම් වේ. එසේ ම සංස්කාරයන් ලක්‍ෂණාදී වශයෙන් ද විනිශ්චය කොටගත යුතු ය. සංස්කාරයන් සකස් කිරීම ලක්‍ෂණ කොට ඇත. රැස් කිරීම එහි කෘත්‍යය වේ. චේතනාව එහි වැටහෙන ආකාරය යි. අවිද්‍යාව ආසන්න කාරණය වේ. මේ කරුණු අනුසාරයෙන් සංස්කාරයන් නුවණින් විමසන කල්හි එහි ස්වභාවයන් මැනවින් ප්‍රකට වේ. විභංග පාළියෙහි සංස්කාරයන් ආකාර හයක් වශයෙන් දක්වා ඇත. එක් ක‍්‍රමයකින් පුඤ්ඤාභිසංඛාර, අපුඤ්ඤාභිසංඛාර, ආනෙඤ්ජාභිසංඛාර යන ආකාර තුනක් වශයෙන් සහ තවත් ක්‍රමයකින් කායසංඛාර, වචීසංඛාර, චිත්තසංඛාර වශයෙන් ආකාර තුනක් යටතේ ද දක්වා ඇත.
සංඛාර යන පදය ධර්මය තුළ විවිධ පර්යායෙන් දක්වා ඇත. එහෙත් එහි අර්ථය යෙදෙන සන්දර්භයට අනුව තේරුම් ගත යුතු ය. අනිච්චා වත සංඛාරා යන තැන්හි යෙදෙන සංඛාර පදය හේතු ප්‍රත්‍යයන් විසින් ඇතිකරන ධර්මයන් සඳහා යෙදේ. අවිජ්ජා පච්චයා සංඛාර යන තැන්හි යෙදෙන සංඛාර පදය පින්-පව් සඳහා භාවිත වන්නකි. කාමාවචර කුසල චේතනාව සහ භාවනාමය වූ රූපාවචර කුසල චේතනාව පුඤ්ඤාභිසංඛාර නම් වේ. කාමාවචර වූ අකුසල චේතනාව අපුඤ්ඤාභිසංඛාර නම් වේ. අරූපාවචර කුසල චේතනාව ආනෙඤ්ජාභිසංඛාර නම් වේ.
ආර්ය සත්‍ය
අවිද්‍යා ප්‍රත්‍යයෙන් සංස්කාරයන් ඇතිවන අයුරු විමසිය යුතු ය. දුක්ඛ, සමුදය, නිරෝධ, මාර්ග යන ආර්ය සත්‍යයන් නොදැනීම අවිද්‍යාව නම් වේ. දුක්ඛයේ ස්වභාවය විග්‍රහ කරන තැන්හි සමස්ත පඤ්චස්කන්ධය ම දුක වශයෙන් පෙන්වා දී ඇත. එහෙත් දුක් සහිත වූ ස්කන්ධයන් අවිද්‍යාවෙන් යුක්තව සැප වශයෙන් ග්‍රහණය කර යි. නාමරූප ධර්මයන් හේතු ප්‍රත්‍යයෙන් නිපන් හෙයින් එහි පුද්ගල ස්වභාවයක් දත නොහැකි ය. එහෙත් ලෝක සත්ත්වයින් විසින් ස්කන්ධයන් සත්ත්ව පුද්ගල වශයෙන් ග්‍රහණය කොට ඇති හෙයින් ස්කන්ධයන්ගේ නපුරු ස්වභාවය ප්‍රකට නොවේ. එසේ හෙයින් සෑම විට ම උත්සහ කරනුයේ එම ස්කන්ධයන් ආරක්‍ෂා කිරීමට ය. ඒ සඳහා නොගන්නා උත්සහයක් නොමැත. ජීවිතය රැක ගැනීම සඳහා වර්තමාන ස්කන්ධයන් රැක ගැනීම සඳහා බොහෝ සංස්කාරයන් සිදු කර ගනී. එසේ ම අනාගත භවය සඳහා ද ඒ අයුරින් ම සිදු කරනු ලබ යි. එය සිදුවන අයුරු නුවණින් දැකීමට උත්සහ ගත යුතු ය. එවිට ස්කන්ධයන්ගේ ඇති යථා ස්වභාවය ප්‍රකට වනු ඇත. එසේ ම අවිද්‍යාව හේතුවෙන් සිදු කරන එවැනි ක්‍රියා තුළ සත්ත්වයා කෙතරම් මුළා කරන්නේ ද යන්න මැනවින් ප්‍රකට වේ.
සත්ත්වයා ඇලුම් කරනුයේ තම ජීවිතයට පමණක් නොවේ. ඇතැම් විට වෙනත් ස්කන්ධයන්ට ද බෙහෙවින් ඇලූම් කර යි. තමා ප්‍රිය කරන දෙමාපියන්, දරුවන්, බිරිඳ ආදි වස්තූන් නිදර්ශන ලෙස දැක්විය හැක. තමා යැයි සලකන ස්කන්ධයන් සහ තමාට අයත් යැයි සලකනු ලබන ස්කන්ධයන් සතුටු කිරීමට සහ ඒවා රැක ගැනීම උදෙසා අපමණ උත්සහයක් ගනී. තම ජීවිතය ඇතුළු අන් අයගේ ජීවිත පෝෂණ කිරීම උදෙසා සතුන් මැරීම, සොරකම, පරදාර සේවනය, බොරු, කේලාම් කීම් ආදී බොහෝ අකුසලයන් සිදු කරනු ලබයි. මේ සියල්ල සිදු වනුයේ අවිද්‍යාව ප්රත්ය වීමෙනි. මේ සියු කර්ම සිදු වනුයේ අකුසල සිත් මගිනි. අවිද්‍යාව හේතු කොටගෙන වර්තමාන ස්කන්ධයන් අරබයා අපුඤ්ඤාභිසංඛාරයන් රැස් වන අයුරු දක්වන ලද කරුණු අනුසාරයෙන් දත යුතු ය. එක් දිනයක් යෝනිසෝමනසිකාරයෙන් තොරව ගත කළහොත් එහිදී බොහෝ අකුසල ධර්මයන් රැස් වේ. ස්කන්ධයන් කෙරෙහි පවත්නා මුළා බව මේ සියල්ලට හේතු වේ. අවිද්‍යාව හේතුකොටගෙන එක් ජීවිතයක් තුළ එම වර්තමාන ස්කන්ධයන් මුලික කොට රැස් කරන අපුඤ්ඤාභිසංඛාරයන් අප්‍රමාණය. දක්වන ලද කරුණු අනුසාරයෙන් අපුඤ්ඤාභිසංඛාරයන් රැස්වන අයුරු තේරුම් ගත යුතු ය.
ස්වර්ගගාමිත්වය
ඇතමෙක් තම යහපත හෝ අන් අයගේ යහපත සලකා විවිධ කුසල ධර්මයන් සිදු කරයි. අසරණයින්ට පිහිට වේ. දන් දීම්, සිල් ආරක්‍ෂා කිරීම් ආදිය සිදු කර යි. මෙත් වැඩීම් ආදී භාවනා කර්මස්ථානයන් සිදු කරනු ලබ යි. එවිට සිදු වන්නේ වර්තමාන ස්කන්ධයන් පාදක කොටගෙන පුඤ්ඤාභිසංඛාරයන් රැස් කිරීම යි. භවයෙහි පවත්නා ආදීනවයන් අවිද්‍යාවෙන් වැසී පවත්නා හෙයින් අනාගත භවයන් සුවපත් කිරීම උදෙසා විවිධ ක්‍රියාවන් සිදු කරනු ලබ යි. මිත්‍යා දෘෂ්ටි වැළඳගත් පුද්ගලයින් මගින් අනාගත ස්කන්ධයන් අරභයා බොහෝ අකුසල ධර්මයන් රැස් වේ. සතුන් මරා බිළිපූජා සිදු කරමින් දෙවියන් සතුටු කොට තම ස්වර්ගගාමී මාවත විවර කර ගැනීමට කටයුතු සම්පාදනය කර යි. මෙවැනි අකුසල කර්මයන් අනාගත ස්කන්ධයන් අරභයා රැස් කරනු ලබන අපුඤ්ඤාභිසංඛාරයන් වේ. මේ අයුරින් ම සම්‍යග්දෘෂ්ටියෙහි පිහිටි සත්ත්වයෝ අනාගතයෙහි තම ආත්මභාවය සුරක්‍ෂිත කිරීම සඳහා විවිධ කුසල ධර්මයන් සම්පාදනය කරති. අනාගතයෙහි සැප විඳීමේ අපේක්‍ෂාවෙන් දන් දිම්, සිල් රැකීම්, යහපත් වචන කථා කිරීම, ප්‍රාණඝාතාදියෙන් වැළකීම ආදී ගුණ ධර්මයන් සම්පාදනය කරති. එසේ ම අන් සත්ත්වයින් විෂයෙහි මෛත්‍රී චිත්තයෙන් කටයුතු කරති. භවනා කර්මස්ථානයන් භාවිත කිරීමෙන් සිදු වන යහපත පිළිබඳ දත් පුද්ගලයෝ රූපාවචර සහ අරූපාවචර ධ්‍යාන වැඞීමේ මාර්ගයන් භාවිත කරති.
කාමාවචර කුසලයන්ට වඩා රූපාවචර කුසලයන් අතිශයින් බලවත් ය. එසේ භාවනා කර්මස්ථානයන් සම්පාදනය කිරීමෙන් අනාගත ස්කන්ධයන් අරභයා පුඤ්ඤාභිසංඛාරයන් රැස් කර යි. රූපාවචර කුසලයන්ගේ දෝෂයන් දුටු පුද්ගලයෝ එයට වඩා අතිශයින් ප්‍රණීත වූ අරූපාවචර ලෝකයන්හි ඉපදීමේ අභිලාශයෙන් අරූපාවචර ධ්‍යානයන් උපදවති. අරූපාවචර කුසලය යනු ආනෙඤ්ජාභිසංඛාරයන් ඉපදවීම ය. රූපාවචර කුසලය කාමාවචර කුසලයන්ට ආසන්න හෙයින් කාමාවචර ධර්මයන්ගෙන් සෙලවිය හැකිය. එහෙත් අරූපාවචර කුසලය කාමාවචර ධර්මයන්ගෙන් බොහෝ දුරින් පිහිටි හෙයින් එම අරූපාවචර කුසලය කාමාවචර ධර්මයන්ගෙන් පහසුවෙන් සෙලවිය නොහැකිය. එහෙයින් එම අරූපාවචර කුසලය ආනෙඤ්ජාභිසංඛාර නමින් හඳුන්වනු ලබන බව දත යුතු ය. මෙසේ අවිද්‍යාව හේතුවෙන් අනාගත ස්කන්ධ සම්බන්ධයෙන් පුඤ්ඤාභිසංඛාර හා ආනෙඤ්ජාභිසංඛාර රැස් වන අයුරු නුවණින් තේරුම් ගත යුතු ය.
සම්මෝහය
අවිද්‍යාව හේතුකොටගෙන සංඛාරයන්ගේ ඇතිවීම මෙසේ සිදු වේ. සත්ත්වයාට සම්මෝහය අධික හෙයින් නිරතුරුව යම් අරමුණක් පාදක කොටගෙන සංඛාරයන් උපදවා ගනී. අකුසල ධර්මයන් හට ගැනීමට සේ ම කුසල ධර්මයන් හටගැනීමට ද ප්‍රත්‍ය වූයේ අවිද්‍යාව ය. යම් සන්තානයක කුසල හා අකුසල ධර්මයන් හටගන්නේ අවිද්‍යාව ප්රත්ය වීමෙනි. අවිද්‍යාව ප්‍රහීණ වූයේ නම් කුසල් හා අකුසල් යන කිසිවක් පහළ නොවේ. රහතන් වහන්සේගේ ස්වභාවය දක්වන තැන්හි පුඤ්ඤ පාප පහීණස්ස යනුවෙන් දක්වා ඇත්තේ මෙම ස්වභාවය යි. රහතන් වහන්සේගේ සන්තානයෙහි අවිද්‍යාව ප්‍රහීණය. එසේ හෙයින් එම සන්තානය තුළ කුසල අකුසල ධර්ම කිසිවක් පහළ නොවේ. මෙම ස්වභාවය නුවණින් තේරුම්ගත යුතු ය. සන්තානය තුළ කිසිදු ධර්මයක් අහේතුකව පහළ නොවේ. හේතු ප්‍රත්‍යයන්ට අනුරූපීව ම පහළ වේ. සන්තානය තුළ කුසල ධර්මයන් හට ගනුයේ අකුසල ධර්මයන් ප්‍රහීණය කරමින් ය. කුසලයේ කෘත්‍යය (කාර්යය) වනුයේ අකුසල ධර්ම ප්‍රහාණය යි. යම් සන්තානයක අවිද්‍යාව ප්‍රහීණ වී නම් එහි කිසිදු අකුසල ධර්මයක් ඉතිරි නොවේ. එම සන්තානයෙහි නැවත කිසිදා කුසල ධර්මයන් ද (පුඤ්ඤාභිසංඛාර) පහළ නොවේ. එයට හේතුව කුසලයේ කෘත්‍ය අකුසල ධර්මයන් ප්‍රහාණය කිරීම හෙයින් අකුසල් නූපදින කල්හි කුසලයෙන් සිදු කළ යුතු කෘත්‍යයක් නොමැති හෙයින් කුසලයන්ගේ ඉපදීමක් ද නොමැත.
අවිද්‍යාව සංඛාරයන්ට ප්‍රත්‍යය වන අයුරු දක්වන ලද කරුණු අනුසාරයෙන් දත යුතු ය. සංඛාරයන් අවිද්‍යාව ප්‍රත්‍ය කොටගෙන පහළ වන අයුරු ප්‍රකට වේ. අවිද්‍යාව නිරෝධ වූ කල්හි සංඛාරයන් ද නිරුද්ධ වේ. යථා ස්වභාවය අවබෝධ වීම තුළින් අවිද්‍යාව ප්‍රහීණ වේ. ඒ සඳහා ස්කන්ධයන්ගේ පවත්නා දුක්ඛිත ස්වභාවය හා නිරර්ථක ස්වභාවය නුවණින් දත යුතු ය. විවිධ ස්වරූපයන්ගෙන් නාම රූප ධර්මයන්ගේ තත්ත්වාකාර පැවැත්ම යථාභූතඥානයෙන් දැක අවිද්‍යාව ප්‍රහීණ කොට සසර ගමනේ දිගින් දිගට ගමන් කරන ස්වභාවයෙන් මිදීම පිණිස කටයුතු සම්පාදන කිරීම සඳහා උත්සහවත් විය යුතු ය.
ලබන සතියේ... සංඛාර පච්චයා විඤ්ඤාණං
ජී.ජී.ජී. පුෂ්පකුමාර් බෞද්ධ දර්ශනය (විශේෂවේදී) බුද්ධ ධර්ම ඩිප්ලෝමාධාරී