
ක්‍රීඩා වෛද්‍ය විද්‍යාව යනුවෙන් හදුන්වන්නේ කුමක් ද?
ක්‍රීඩාව හා ක්‍රීඩාව සම්බන්ධ ක්‍රියාකාරකම් නිසා මිනිස් සිරුරේ ඇතිවන විවිධ ශාරීරික හා මානසික තත්ත්වයන්ට මුහුණ දීම සඳහා වෛද්‍ය විද්‍යා ක්ෂේත්‍රයේ ඇති වු විශේෂිත අංශයක් වශයෙන් ක්‍රීඩා වෛද්‍ය විද්‍යාව හැඳින්විය හැකි ය.
ක්‍රීඩා වෛද්‍ය විද්‍යාව ක්‍රීඩාවට පමණක් සීමා නොවී සෑම වයස් මට්ටමකම ජනතාවගේම ව්‍යායාම සම්බන්ධව ද උපකාරී වන විෂය ක්ෂේත්‍රයක් වශයෙන් ද හැඳින්විය හැකි ය.වර්තමානයේ ක්‍රීඩා වෛද්‍ය විද්‍යාව , ක්‍රීඩා හා ව්‍යායාම වෛද්‍ය විද්‍යාව ( Sports and Exerise Medicine) ලෙස විශේෂඥයන් බිහි කරන ක්ෂේත්‍රයක් බවට පත් වී ඇත්තේ ඒ නිසා ය.
ක්‍රීඩා වෛද්‍ය විද්‍යාව ක්‍රීඩා අනතුරු හෝ ආබාධවලට ප්‍රතිකාර කිරීමට පමණක් අදාළ වන්නේ ද?
නෑ. වර්තමානයේ දී ක්‍රීඩා වෛද්‍ය විද්‍යාව විශාල පරාසයක පැතිරී තිබේ.නවක ක්‍රීඩක/ ක්‍රීඩිකාවන් , දරුවන් ඒ ඒ ක්‍රීඩාවට යොමු වීමේ දී ඔවුන් ඊට සුදුසු දැයි පරීක්ෂා කර බැලීම, ඔවුන්ගේ සෞඛ්‍ය තත්ත්වය, මානසික තත්ත්වය , ජානමය තත්ත්වය පිළිබඳව පරීක්ෂා කර බලා ඒ පිළිබඳව මව්පියන් දැනුවත් කිරීම,ක්‍රීඩක ක්‍රීඩිකාවන්ගේ දක්ෂතා හඳුනා ගෙන ඒ සම්බන්ධව ඒ ඒ ක්‍රීඩාවට අදාළ පාර්ශවයන් දැනුවත් කිරීම.උදාහරණ වශයෙන් උපදේශකවරුන්,පුහුණුකරුවන්,භෞත චිකිත්සකවරුන් සහ සම්බාහන චිකිත්සකවරුන් දැනුවත් කිරීම ක්‍රීඩා වෛද්‍ය ක්ෂේත්‍රයට අදාළ වේ.මීට අමතරව ක්‍රීඩක ක්‍රීඩිකාවන්ට අවශ්‍ය වෛද්‍ය ප්‍රතිකාර ලබාදීම,ක්‍රීඩා සිදු කරන කාලයට පෙර , ක්‍රීඩාව අතරතුර හා ක්‍රීඩාවෙන් පසු අත්‍යවශ්‍ය වන පෝෂණ උපදෙස් ලබා දීම,අධ්‍යාපනවේදියෙකු වශයෙන් තම දැනුම ක්‍රීඩක ක්‍රීඩිකාවන් , පුහුණුකරුවන් ඇතුළු වෛද්‍ය ක්ෂේත්‍රයේ අයට ලබා දීම,අධිකරණ වෛද්‍ය කටයුතු සිදු කිරීම, උදාහරණ වශයෙන් තහනම් උත්තේජක භාවිතා කරන අවස්ථාවලදී ඒවා නිරීක්ෂණය කිරීම (Doping Test ) හා එමගින් ඇතිවන ආදීනව පැහැදිලි කර දීම,වෛද්‍ය රක්ෂණ කටයුතුවලදී උපකාර කිරීම,ජනමාධ්‍ය දැනුවත් කිරීම ක්‍රීඩා වෛද්‍ය ක්ෂේත්‍රයට අදාළ වේ.ක්‍රීඩක ක්‍රීඩිකාවන් සඳහා පුර්ව සහභාගීත්ව පරීක්ෂණය (Pre-Participation Examination ) පැවැත්වීම.ක්‍රීඩා වෛද්‍යවරයෙකුගේ ප්‍රධාන කාර්යයභාර්ය වේ.
එහිදී නිසි ක්‍රීඩවන් සඳහා නිසි ක්‍රීඩක ක්‍රීඩිකාවන් තෝරාගැනීම ( Screening ) ඔවුන්ගේ ශරීර ක්‍රියාකාරීත්වය ඇගයීම( Funtional Evaluation ) සිදු කෙරේ.මීට අමතරව ක්‍රීඩාව තවදුරටත් දියුණු කර ගැනීමට ( Enhancement ) ශරීර අවයව හානියකින් තොරව (අවම වශයෙන් )තබා ගැනීමට උපදෙස් ලබා දීම සිදු කරයි.
ක්‍රීඩා අනතුරු යනුවෙන් හදුන්වන්නේ මොනවා ද?
ක්‍රීඩා පුහුණුවන අතරතුරදී , ක්‍රීඩාවක යෙදෙන අතරතුරේදී හා ක්‍රීඩාවකට පසුව සිදු වන අනතුරු මේ ගණයට අයත් වේ. ක්‍රීඩා අනතුරු ප්‍රධාන වශයෙන් ක්‍රීඩා හදිසි අනතුරු ( Accidental Sports Injury ) හා අපගේ ශරීර අවයව ( සන්ධි, මාංශපේශී හා කණ්ඩරා ) කාලයක් තිස්සේ අධික වෙහෙසට පත් කිරීම නිසා සිදු වන ක්‍රීඩා අනතුරු ( Over -used Injury ) වශයෙන් වෙන්කර දක්වන්නට පුළුවන.
මේ ක්‍රීඩා අනතුරු ද්විත්වයම බොහෝදුරට විද්‍යාත්මක පුහුණුවකින් හා විනයානුකූලව ක්‍රීඩාවේ යෙදීමෙන් හා නිසි වෛද්‍ය විද්‍යාත්මක උපදෙස් පිළිපැදීමෙන් අවම කර ගැනීමට පුළුවන.
ක්‍රීඩා කරන විට සිදු වන හදිසි අනතුරු වළක්වා ගන්නේ කෙසේ ද?
ක්‍රීඩා පුහුණු අවස්ථාවලදී නිවැරදි පුහුණු කිරීමේ ක්‍රමවේදයන් අනුගමනය කිරීම,( Warm - up exercises ) ක්‍රීඩාවෙන් පසු ශරීරය සිසිලනය කිරීම ( ( Warm - down exercises ) නිවැරදිව මාංශපේශීන් හා කණ්ඩරා ( muscles and tendons ) දිගු කරන ක්‍රම ( Stretching exercises ) පෙන්වා දීමට පුළුවන.
එක් එක් ක්‍රීඩාවට අදාළ විශේෂිත පුහුණු කිරීමේ නිවැරදි ක්‍රම ( Game Specific Exercises ) නිවැරදි ප්‍රමිතියකට ඇති ආරක්ෂක උපකරණ ( Head Gears , Helmets ) භාවිතය , සිරුර අධික උෂ්ණත්වයට පත් වීම ( Heat Stroke ) වළකා ගැනීම , උදාහරණයක් වශයෙන් මැරතන් ක්‍රීඩකයන් තරඟ අතරතුරේදී ජලයෙන් තෙත් තිරීම, ආදී ක්‍රියාකාරකම් නිසා තරඟවලදී ඇතිවන හදිසි තත්ත්වයන් පාලනය කළ හැකි වේ.
සාමාන්‍ය පුද්ගලයින්ට වඩා ක්‍රීඩාවන්හි නිරතවන පුද්ගලයින්ගේ ශරීර අංග ඉක්මනින් ගෙවෙනවා නේද?
ඔව්, සාමාන්‍ය පුද්ගලයින්ට වඩා ක්‍රීඩක ක්‍රීඩිකාවන්ගේ ශරීරයේ අංගෝපාංග ක්‍රියාත්මක වීම වැඩි ය.ඒ වාගේ ම නිරෝගී ක්‍රීඩක ක්‍රීඩිකාවන්ගේ ශරීර අංගෝපාංග ක්‍රියාත්මක වීම වැඩි ය. එමෙන් ම නිරෝගී ක්‍රීඩක ක්‍රීඩිකාවන්ගේ ඒ ගෙවෙන කොටස් අලුත්වැඩියා වීම සිදු වන්නේ ශරීරයෙන්මය.නමුත් අසීමාන්තිකව ක්‍රීඩාවේ යෙදුණොත් ස්වභාවිකව සිදු වන ශරීර අලුත්වැඩියාවට අවස්ථාවක් නොදුන්නොත් ඒ හේතුවෙන් ඉක්මනින් ආබාධ තත්ත්වයන්ට පත් වීමට ඉඩ තිබේ.
තමන්ගේ ශරීරයේ කලින් තිබු සමහර තත්ත්වයන් ඉස්මතු වීම, උදාහරණයක් වශයෙන් කලින් තිබු ආබාධිත තත්ත්වයන් සමනය වීමට පෙර ක්‍රීඩාවේ යෙදීම ( උලුක්කුව, අස්ථි භග්නය) දැක්විය හැකි ය.
වැරදි පුහුණු වීමේ ක්‍රමවේද උදාහරණ වශයෙන් ක්‍රීඩක ක්‍රීඩිකාවන්ට දරාගත නොහැකි ලෙස පුහුණු කාලය ක්ෂණිකව වැඩි කිරීම, පුහුණු වන වේගය ක්ෂණිකව වැඩි කිරීම දැක්විය හැකි ය.වැරදි ක්‍රීඩා උපකරණ හා පාවහන් ආදිය භාවිතා කිරීම නිසාත් , ක්‍රීඩක ක්‍රීඩිකාවන්ට බාහිර බලපෑම් නිසා ඇතිවන අනතුරු සිදු විය හැකි ය.
ක්‍රීඩාව වැඩිහිටියෙකුට මෙන්ම දරුවෙකුට අත්‍යවශ්‍ය ද?
කුමන ක්‍රීඩාවක හෝ යෙදීම වැඩිහිටි හා ළමා යන දෙකොටසටම ශාරීරික හා මානසික සුවය ලබා දේ.කෙමෙන් වියපත් වන විට ශරීර ක්‍රියාකාරීත්වය ක්‍රමයෙන් අඩුවන්නට පුළුවන. නමුත් ක්‍රමානුකූලව ක්‍රීඩාවක යෙදීමෙන් වැඩිහිටි සිරුරේ අවයව නිසි ලෙස ක්‍රියාත්මක වීමට උපකාරී වේ. වැඩිහිටියන් උදෑසන ව්‍යායාමයේ යෙදීම, විශේෂයෙන් ඇවිදීමට හුරු වීමෙන් මාංශපේශී හා සන්ධි නිසි ලෙස ක්‍රියාකාරීව පවත්වා ගැනීමට හැකි වේ.පිහිනීම වැනි ඇඟ ලිහිල් කරන ක්‍රීඩාවන්හි ( Relaxation exercises ) යෙදීම තරබාරුකම අඩු කර ගැනීමට හා ස්වසන හා රුධිර වාහිනී පද්ධතියේ ක්‍රියාකාරීත්වය නිසි ලෙස පවත්වා ගැනීමට උපකාරී වේ.
දරුවෙකු කුඩා කාලයේ සිටම කුමන හෝ ක්‍රීඩාවක නිරත කිරීම ඔවුන්ගේ කායික හා මානසික සෞඛයට වැදගත් වේ.ඔවුන් ඉගෙනීමේ දස්කම් දැක්වීමට ද එය රුකුලක් වේ.ජය පරාජය තුළින් ජීවිතය සමතුලිතව පවත්වා ගැනීමට ද එය ඉවහල් වේ.
වැඩිහිටි පුද්ගලයෙකු සහ දරුවෙකු දිනකට කොපමණ කාලයක් ක්‍රීඩාවන්හි නිරත විය යුතු ද?
අවම වශයෙන් වැඩිහිටි පුද්ගලයෙකු දිනකට පැයක් පමණවත් කිලෝමීටර 2 ක් පමණ අතපය විහිදා ගෙන ඇවිදීම ( Brisk Walking ) වඩාත් උචිත වේ.දරුවෙකු නම් තමන් නිරතවන ක්‍රීඩාවක දිනකට පැය 2-3 වත් නිරත වීම සුදුසු වේ.තමන් විශේෂත්වයක් දරන ක්‍රීඩාව අනුව හා තමන්ගේ දරා සිටීමේ හැකියාව ( Stamina ) අනුව මෙය වෙනස් විය හැකි ය.
කුමන හෝ ක්‍රීඩාවක කිරත නොවන දරුවෙකුට අනාගතයේ දී ඇති විය හැකි බලපෑම් මොනවා ද?
ජය පරාජය දරා සිටීමේ ගුණය ක්‍රීඩාව තුළින් දරුවෙකුට ලැබෙයි.මනා පෞරුෂයක් ඇති කර ගැනීමටත් ජිවිතයේ විවිධ කාල පරාසවලදී පැමිණෙන ගැටලුවලට අභීතව මුහුණ දීමටත් මේ නිසා හැකි වේ. අධ්‍යාපන අමාත්‍යංශය විසින් සෑම දරුවෙකුටම පාසැල් දිවියේ දී කුමන හෝ ක්‍රීඩාවක නිරත වීම අනිවාර්යය කර තිබීම යහපත් දෙයක් වේ.මේ හේතුවෙන් දරුවෙකුට සමාජයේ යහපත් පුරවැසියකු විය හැකි ය.
ක්‍රීඩාව සම්බන්ධයෙන් සමාජයේ පවතින මිත්‍යාවන් මොනවා ද?
ගැහැණු දරුවන් සමහර ක්‍රීඩාවල, විශේෂයෙන් ආක්‍රමණශිලී ක්‍රීඩා ( බොක්සිං, රගර් ) වල යෙදීම ලොව සමහර ජන සමාජවල තහනම් කර හෝ අවහිර කර තිබුණත් අද ක්‍රමානුකූලව එම තත්ත්වය පහ වී යන බව පෙනේ.ශ්‍රී ලංකාව ගතහොත් අපගේ ලාංකික ක්‍රීඩිකාවන් බොහෝ ක්‍රීඩාවල උපරිම තලවලට පවා ගමන් කර තිබේ.
පොදුවේ ඕනෑම පුද්ගලයෙකුට ක්‍රීඩාවක නිරත විය හැකි ද?, යම් යම් රෝගාබාධවලට ලක් වුවන් ක්‍රීඩා කිරීම සුදුසු ද?
සෑම පුද්ගලයෙකුටම සෑම ක්‍රීඩාවක්ම සුසුසු වන්නේ නැත.එක් එක් පුද්ගලයාගේ ශාරීරික හා මානසික යෝග්‍යාව අනුව තෝරාගැනීම සිදුකර ගත හැකි ය.උදාහරණයක් වශයෙන් සැත්කම්කළ රෝගීන් පවා ක්‍රමිකව ඇවිදීම වැනි ව්‍යායාම සිදු කළ යුතු වේ.පළපුරුදු හා අත්දැකීම් බහුල වෛද්‍යවරයෙකුගේ අධීක්ෂණය යටතේ රෝගාබාධ තිබෙන පුද්ගලයන් ක්‍රීඩාවන්හි හා ව්‍යායාමයන්හි නිරත වීම වඩාත් වැදගත් ය.
පසුගිය වසර කිහිපයක දී ක්‍රීඩාවන්හි නිරත වන අතරතුරේ දී ඇතැම් ළමයින් මරණයට පත් වුණා. එසේ සිදු වුයේ ඇයි?
එම දරුවන්ගේ හෘද ක්‍රියාකාරීත්වය, ඔවුන්ගේ උප්පත්තියේ දී තිබුණු සංකූලතා නිසි පරිදි නිරීක්ෂණය නොකර ( පුර්ව සහභාගීත්ව පරීක්ෂණයකට) අධික වෙහෙසකර ක්‍රීඩාවන්හි නිරත වීම මෙවැනි අවාසනාවන්ත තත්ත්වයන්ට හේතු වේ.හෘද මාංශපේශීවල ඇති
අසාමාන්‍ය රෝග තත්ත්ව උදාහරණයක් වශයෙන් Cardio- myopathy තත්ත්වය පෙන්වා දීමට පුළුවන.එපමණක් නොව අධික වෙහෙසකර තරඟ , උදාහරණයක් වශයෙන් මැරතන් තරඟ සඳහා ඉදිරිපත් වීමේදී නිසි පරිදි දැනුවත් නොවී සිටීමත් මෙවැනි අවාසනාවන්ත තත්ත්වයන්ට මුහුණ දීමට සිදුවේ.
වැඩිහිටියෙකු හෝ දරුවෙකු හිතුමතයට ක්‍රීඩා කිරීම සුදුසු ද?
සංවිධානාත්මක ක්‍රීඩාවක් තෝරා ගැනීමේදී නම් වඩාත් සුදුසු වන්නේ තමන්ගේ ශාරීරික මානසික යෝග්‍යතාවයට සුදුසු ක්‍රීඩාවක් තෝරා ගැනීමයි.ක්‍රීඩා වෛද්‍යවරයෙකුට , පුර්ව සහභාගීත්ව පරීක්ෂණයකට පුද්ගලයින් සහභාගී කරවා ඉන් අනතුරුව උපදේශකවරයෙකුගේ උපදෙස් මත ක්‍රීඩා කිරීම වඩාත් වැදගත් ය.
ක්‍රීඩා කරන අතරතුර ජලය පානය කිරීම කෙලෙස විය යුතු ද?
ක්‍රීඩා කරන අවස්ථාවලදී මිනිස් ශරීරයේ ඇති ජල ප්‍රමාණයක් හා ලවණ ප්‍රමාණයක් දහඩිය වශයෙන් පිට වේ.ඒවා නැවත ශරීරයට ලබා දීම අත්‍යවශ්‍ය ය.ඒ හේතුවෙන් නිසි පරිදි ජලය පානය නොකරන විට , අධික වෙහෙසකාරී ලෙස ක්‍රීඩා කිරීමෙන් ශරීරයේ විජලන තත්ත්වයක් ( Dehydration) ඇති විය හැකි ය.ශරීරයේ ලවණ වර්ග දහඩිය මඟින් පිටවීම නිසා මාංශපේශීවල ක්‍රියාකාරීත්වයට බාධා පැමිණිය හැකි ය.අධික මාංශපේශී සංකෝචනය වීම නිසා ආබාධ තත්ත්වයන් ඇති විය හැකි ය.( Muscle Cramps )
දියවැඩියාව,අධික රුධිර පීඩනය,කෙලෙස්ටරෝල් වැඩිවීම යනාදී රෝග වැළදී ඇති පුද්ගලයින් ක්‍රීඩාවන් සහ ව්‍යායාම කළ යුත්තේ කෙසේ ද?
වෛද්‍ය නිර්දේශය අනුව මෙම පුද්ගලයින් ක්‍රීඩාවල හෝ ව්‍යායාමවල යෙදීම අත්‍යවශ්‍ය කරුණකි.ක්‍රමානුකූලව සිදු කරන ඇවිදීම වැනි ක්‍රියාකාරකම් මෙම රෝග තත්ත්ව සමනය කිරීමට හා ශරීරය නිරෝගීව තබා ගැනීමට උපකාරී වේ.නිසි පරිදි ක්‍රීඩා හා ව්‍යායාමවල යෙදීම මඟින් මෙවැනි පුද්ගලයින් ගත යුතු ඖෂධ මාත්‍රාව පවා අවම කර ගැනීමට උපකාර කර ගත හැකි ය.
සෙම අධික දරුවන්ට පිහිනීම සුදුසු දෙයක් ද?
පිහිනීම ශරීරය ලිහිල් කිරීමට හා ආශ්වාස ප්‍රාශ්වාස ක්‍රියාවලිය හොඳින් පවත්වා ගැනීමට උපකාරී වන වයායාමයකි.සමහර සෙම් රෝගීන් සඳහා පිහිනීම සුදුසු වුවත් ඇතැම් අයට එය සුදුසු වන්නේ නැත.කෙසේ වුවත් සෙම අධික වශයෙන් තිබෙන දරුවකු පිහිනීමට යොමු කිරීමට පෙර ක්‍රීඩා වෛද්‍යවරයෙකුගේ උපදෙස් ලබා ගැනීම අනිවාර්යය වේ.
මදාරා මුදලිගේ