එවරස්ට් කඳුමුදුනට පිවිසෙන්න යොහාන් සමඟ ඔබත් එක්වන්න | සිළුමිණ

එවරස්ට් කඳුමුදුනට පිවිසෙන්න යොහාන් සමඟ ඔබත් එක්වන්න

 සිය ජීවිතයේ අතිදුෂ්කර මරණීය කපොලු පසු කර ගිය ඔහුට එවරස්ට් තරණයේ නිමාව පෙනි-පෙනී සිය උත්සාහය අත්හැරීමට සිදු වූයේ දෛවය තරමක් ඔහුට ආකාරුණික වීම හේතුවෙනි. එහෙත් ඔහු සතු ධෛර්යය කිසිවිටකත් ඔහුට අකාරුණික නොවූවා සේම ඔහු අතහැර ගියේ නැත. තමන් සමඟ ගිය සිය මිතුරිය එවරස්ට් කන්ද තරණය කර ලෝක වාර්තාවක් තබද්දී ඔහු සතු අධිෂ්ඨානය වඩාත් හොඳින් ශක්තිමත් වූයේ අහිමි වූ අරමුණ කවරදා හෝ ජය ගැන්මටය.

ඔහු නමින් යොහාන් පීරිස්ය. එවරස්ට් සාර්ථකව තරණයෙන් ලෝක වාර්තාවක් තැබූ ඇය ජයන්ති කුරුඋතුම්පාලය. ඒ සිදුවීමේ අතීතය අදින් දෙවසරකට පෙරය. යොහාන් නැවතත් මෙවර සාර්ථක එවරස්ට් තරණයකට සූදානම් වන්නේ අවසන් අඩිය දක්වාම එය සාර්ථකව නිම කිරීමේ අරමුණිනි.

එවරස්ට් තරණයට ඉතා සුදුසු මාස වන අප්‍රේල්-මැයි මාසවලදී සිය ජීවිතයේ අවසන් කඩයිම පසු කරන්නට එළඹෙන මාර්තු මාසයේදී යොහාන් එවරස්ට් කඳු පාමුලට ළඟා වන්නේය. මෙවර යොහාන් එවරස්ට් නඟින්නේ තනිවම නොවේ. සියලු ශ්‍රී ලාංකිකයන් සමඟ එක්ව මෙවර ඔහු එවරස්ට් තරණය කරන්නේ ය. එවරස්ට් තරණයේ දෙවැනි ශ්‍රී ලාංකිකයකු බිහි කරන මේ ගමන හඳුන්වා දී ඇත්තේ 'Climb Everest with Johann' යන නමිනි. ඒ යොහාන් විසින් කඳු මුදුන දක්වා ඉහළට ඔසවනු ලබන සෑම පියවරක් පාසාම ශ්‍රී ලාංකිකයකුට දායක වී මේ සුවිශේෂ අවස්ථාව උරුම කරමිනි. මේ සියල්ල කරන්නේ එවරස්ට් ගවේෂණය සඳහා වැය වන මුළු මුදල වන ඇමරිකානු ඩොලර් 58,600ක පිරිවැය පියවාගැනීමටය.

"මම එවරස්ට් කදු මුදුන පෙනි-පෙනී අන්තිම මීටර් 448 නඟින්න නොහැකි වුණේ තාක්ෂණ දෝෂයක් වන ඔක්සිජන් ඉවර වීම නිසා. එදා මම දුකින් හෝ නිවැරදි තීරණයක් ගත්තා. අද සමහරු මගෙන් අහනවා ඇයි ඔයා ආයිත් එවරස්ට් නඟින්නේ කියලා. මේක මගේ ආසාව. මගේ උපන් රටට ලොකු ගෞරවයක් දීම මගේ අපේක්ෂාව. මට ලොකු විශ්වාසයක් තියෙනවා. එදා ලබාගත් අත්දැකීම් අද මට හරි ප්‍රයෝජනවත්. මෙවර මා තනි වෙන්නේ නැහැ. සියලු ශ්‍රී ලාංකිකයන් මා සමඟ ඉන්නවා. මෙවර මා කදු මුදුණටම යනවා, ඒ ඔබේ ශක්තියෙන්..." යොහාන් තිර අදිටනින් පවසන්නේ ය.

"එදා අපි මරණීය කලාප පසු කර කඳු මුදුන කරා ළඟා වූයේ ඉතා අවදානම් ගමනක්. මරණීය කලාපයේදි අපිට ඔක්සිජන් අඩු වෙනවා; ශරීරය ටිකෙන් ටික මැරෙන්න පටන් ගන්නවා. මේ නිසා ඔක්සිජන් මේ ගමනට අත්‍යවශ්‍ය දෙයක් වෙනවා. එහෙම ගමන් කරන්න අපහසු වූ බොහෝ දෙනකුගේ සිරුරු මේ ගමනේදි අපට හමු වෙනවා. ඒ සියල්ල අභියෝග වුණා. එහෙත් අන්තිම මොහෝතේ යොහාන්ට ඒ සිහිනය සැබෑ කරගන්න ලැබුණේ නැහැ. එදා මම ගොඩාක් වේදනාවට පත් වුණා, දුක් වුණා මගේ සගයාට ඒ අවස්ථාව නොලැබීම ගැන. එත් අද ඔහු පෙරටත් වඩා ශක්තිමත්. යොහාන් දැන් නැවතත් ඒ ගමනට ශාරීරිකව හා මානසිකව සූදානම්. ඔහුගේ මේ ගමන අමරණීය ගමනක් වන අතර සියලු ශ්‍රී ලාංකිකයන්ටම ඔහු හා එක් වන්න මෙය හොඳ අවස්ථාවක්..." ජයන්ති හදවතින්ම පවසන්නීය.

එළඹෙන මාර්තු මාසයේදී ඔහු එවරස්ට් තරණයේදී තබන්නා වූ සෑම පියවරක්ම ඔබ වෙනුවෙන් විවෘතව ඇත. යොහාන් එවරස්ට් කඳු මුදුන දක්වා ඔසවා තබන සෑම පියවරක් වෙනුවෙන් රුපියල් 100ක මුදලකින් අනුග්‍රහ දක්වන්නට ඔබට හැකියාව ඇත්තේය. මේ ගවේෂණයේ පාර්ශ්වකරුවකු වීමට ඔබත් අපේක්ෂා කරන්නේ නම් www.johanneverest2018.com වෙත පිවිස තොරතුරු ලබාගත හැකිය.

සේයාරූ - විමල් කරුණාතිලක  
සුභාෂිණි ජයරත්න 

Comments