වටින්-පිටින් නොව; ලිංගික අධ්‍යාපනයත් පාසලෙන්ම දරුවන්ට! | සිළුමිණ

වටින්-පිටින් නොව; ලිංගික අධ්‍යාපනයත් පාසලෙන්ම දරුවන්ට!

 තරුණ දියණියක සාහසිකයන් තිදෙනකු අතින් සමූහ දූෂණයට ලක්ව දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබමින් සිටියදී අකාලයේ ජීවිතයෙන් සමු ගත් සෝචනීය පුවතක් අසන්නට ලැබුණේ පසුගියදාය. එය බොහෝ සෙයින් යාපනය කයිට්ස්හි සමූහ දූෂණයට ලක්ව අකාලයේ සිය ජීවිතයෙන් වන්දි ගෙවූ ශිවලෝගනාදන් විද්‍යා දැරියට අත් වූ ඛේදනීය ඉරණමට බොහෝ සෙයින් සමාන සිදුවීමකි. රට කම්පා කරවූ මේ සිදුවීම් එකක් දෙකක් නොව මෙතෙක් වාර්තා වූ සමූහයෙන් දශමයක් පමණි. පාසල් යන වයසේ තරුණ දියණිවරුන් මෙලෙස අකාලයේ විනාශ වී යෑම සුළුවෙන් තැකිය නොහැකි සිදුවීමක් වන අතර, සමස්ත ජාතිය මුහුණ පා ඇති ව්‍යසනයෙන් කොටසක්ද වන්නේ ය. පාසල් සිසුවකුගේ හෝ සිසුවියකගේ දෛනික කාල සීමාවෙන් හරි අඩක්ම හෝ ආසන්න කාලයක් ගත කරන්නේ පාසල් පරිසරයේය. මේ නිසා දරුවන්ගේ ආරක්ෂාව සම්බන්ධයෙන් යම් වගකීමක් හෝ කාර්යභාරයක් පාසල් පරිසරයටද ඇත්තේය.

දරුවෝ යනු ඉතා පහසුවෙන් අපයෝජනයට ලක් කළ හැකි කොට්ඨාසයකි. මනස නොමේරීම මෙන්ම අත්දැකීම් සුලභ නොවීම මෙන්ම ගෘහස්ථ හිංසනය මෙන්ම මව-පියාගේ ආදරය රැකවරණය අහිමි වීම මත ළමයින් විවිධ අපයෝජනයන්ට ලක් වීමේ ප්‍රවණතා දිනෙන් දින ඉහළ යයි. මේ නිසා අද වන විට බොහෝ ළමයින් මානසික හිංසනයට පමණක් නොව වැඩිහිටියකුට වත් උසුලාගත නොහැකි අන්දමේ බරපතළ ලිංගික අපයෝජනයන්ට ලක් වීමේ ප්‍රවණතා දිනෙන් දින ඉහළ යයි. මෙසේ හෙයින් ශ්‍රී ලංකාව 1990.01.20 දින එක්සත් ජාතීන්ගේ ළමා අයිතිවාසිකම් පිළිබඳ ප්‍රඥප්තියට අත්සන් තබා 1991.07.12 වැනි දින මෙරට ළමා අයිතිවාසිකම් තහවුරු කරදීමේ ප්‍රඥප්තියට නිල වශයෙන් පිළිගෙන ඇත.

විවාහ වයස

නීතියට අනුව විවාහ වීමේ වයස අවුරුදු 18 වුවත් වර්තමානය වන විට මේ විවාහ වන වයස් සීමාව දිනෙන් දින වෙනස් වෙමින් පවතින බව සමාජ විද්‍යාඥයෝ පෙන්වා දෙති. ප්‍රවීණ සමාජ විද්‍යාඥ ඉන්ද්‍රලාල් ද සිල්වා මහතා මේ පිළිබඳ සමීක්ෂණයක් කරමින් පෙන්වා දෙන්නේ එදා වයස අවුරුදු 27ත්-28ත් පමණ වයසේ පසු වූ විවාහ වයස් සීමාව මේ වන විට අවුරුදු 23ත් 24ත් දක්වා වෙනස් වෙමින් පවතින බවයි. ඔහුගේ විමර්ශනයන්ට අනුව 1971දී කාන්තාවන්ගේ විවාහ වීමේ සාමාන්‍ය වයස් සීමාව වී ඇත්තේ අවුරුදු 23කි. එහෙත් 1993 වසර වන විට ඒ වයස් සීමාව ක්‍රමයෙන් 25 දක්වා වැඩි වී තිබේ. එහෙත් 2006 වර්ෂයෙන් පසුව එම වයස් සීමාව ක්‍රමිකව පහළ ගොස් අවුරුදු 22ත්-23ත් අතර ප්‍රජනන සමයේ උච්චතම අවධිය වී ඇත්තේය.

එපමණක් නොව, වර්තමානයේ දරුවන් අතර වඩාත් ජනප්‍රිය වෙබ් අඩවි නිසා ලිංගිකත්වය පිළිබඳ පවත්නා උනන්දූන් තර වෙමින් පවතී. පසුගියදා නිල් චිත්‍රපට නැරඹිය හැකි ප්‍රසිද්ධ වෙබ් අඩවියක් පිළිබඳ කළ සමීක්ෂණ වාර්තාවකදී සඳහන් වූයේ 2016 වසරට සාපේක්ෂව 2017 වසරේ එම වෙබ් අඩවියට පිවිසි පිරිස සැසඳීමේදී ලංකාව 96 වැනි ස්ථානයට පිවිසි බවයි. වඩාත් කනගාටුදායක ලෙස කුඩා දරුවන් ආසාවෙන් ක්‍රීඩාවන්ට යොමු වන ජංගම දුරකතන ක්‍රීඩාවන්හිදීද මෙවැනි දරුවන්ගේ මනසට ‍ගෝචර නෙ‍ාවන අසභ්‍ය දෑ ඇස ගැටීමේ වැඩි ප්‍රවණතාවක් මේ නවීන තාක්ෂණය ඔස්සේ දරුවන්ට ලැබීමය. පසුගියදා ඇන්ඩ්‍රොයිඩ් ජංගම දුරකතන සමාගමටද දෙමවුපියන්ගෙන් මෙවන් පැමිණිලි ඇති වූයෙන් 'ප්ලේස්ටෝර්' නම්වූ යෙදවුමෙන් ක්‍රීඩා වර්ග 60ක් පමණ ඉවත් කිරීමට ගූගල් සමාගමට සිදු විය. එහෙත් ඒ වන විටත් මේ තහනමට ලක් කිරීමට ‍පෙර මේ ක්‍රීඩා යෙදවුමෙන් එවන් අශ්ලීල දෑ ලක්ෂ ගණනක් බාගත කරගෙන තිබී ඇති බව සොයාගෙන තිබේ.

වයස් සීමාවන්ගෙන් තොරව මෙසේ ලිංගික හැඟීම් උත්තේජනය වෙද්දි එහි බරපතළක් නොදත් බොහෝ දරුවන් රාගික හැඟීම් ඔස්සේ වඩාත් ඉක්මනින් යොමු වන්නේ අනතුරුදායි තත්ත්වයකටය. මේ හේතුවෙන් විවිධ අපචාරවලට දරුවන් වේගයෙන් යොමු වනවා පමණක් නොව, අඩු වයස් විවාහ මෙන්ම සියදිවි හානි කරගැනීම්ද වඩාත් වේගවත්ව සිදු වේ. ජාතික ළමා ආරක්ෂණ අධිකාරිය පෙන්වා දී ඇත්තේ 2017 වසරේ ජනවාරි මස සිට එවසරේ දෙසැම්බර් අග දක්වා ළමා අපයෝජන පැමිණිලි 8500කට ආසන්න ප්‍රමානයක් වාර්තා වී ඇති බවත්, අන් වසරවලට සාපේක්ෂව එය යම් වර්ධනයක් පෙන්නුම් කර ඇති බවත්ය. මෙයිනුත් දරුවන්ට සිදු වන බරපතළ ලිංගික අපයෝජන 284ක්ද, විවාහ වීමේ නෛතික අයිතියක් ඇති වයස් සීමාවට අඩු -එනම්: වයස අවුරුදු 18ට වඩා අඩු- ස්ත්‍රී දූෂණ 322ක්ද වාර්තා වී ඇති බවත් ලිංගික අතවර 481ක් පමණ වාර්තා වී ඇති බවත්ය.

බාල වයස

මෙයින් බහුතරය අනිවාර්ය අධ්‍යාපන වයස් සීමාවේ (අවුරුදු 5 ත් 16) අතර පසු වන්නන් නිසා මේ දරුවන්ගේ අනාගතය සුරැකීමේ වගකීම දෙමවුපියටන්ට සේම පාසලටද ඇත්තේය.

මේ ළමා අපයෝජන පිළිබඳ සලකා බැලීමේදී ඒවාට බලපා ඇති හේතු කිහිපයක් අධ්‍යාපන අමාත්‍යාංශය අවබෝධ කරගෙන ඇත. දරුවන්ගේ විවාහ වීමේ හා ප්‍රජනන හැකියාවන් තීව්‍ර වකවානුව ඉතා අඩු වුවත් දරුවන්ගේ වයසට සාපේක්ෂව ලිංගික අධ්‍යාපනයක් ලැබී නොතිබීම, ළමා අපයෝජකයන්ගෙන් ආරක්ෂා වීමේ ක්‍රමවේද නොදැන සිටීම, ළමා අපයෝජනයක් යනු කුමක්ද යන්න පිළිබඳ නොදැන සිටීම, ළමයින් ආරක්ෂා කිරීමට වගකීම් ඇති ආයතන හා පුද්ගලයන් විසින් එය පැහැරහැරීම මෙන්ම පවුල් සංස්ථාව තුළ ඇති විවිධ ගැටලුකාරි තත්ත්ව එයට හේතු වී ඇති බවයි.

පරිසර අධ්‍යයන විෂය ධාරාව යටතේ ප්‍රජනන සෞඛ්‍යය පළමු වන වසරේ සිට පාසල් සිසුන්ට ඉගැන්වීම අධ්‍යාපන අමාත්‍යාංශය ආරම්භ කර ඇත්තේ ඒ නිසා ය. එසේම 6 සිට 9 වසර පන්තිවලටද මෙම ප්‍රජනන සෞඛ්‍ය විෂයය ඉගැන්වීම ආරම්භ කර ඇතත් ප්‍රජනන සෞඛ්‍යය හා ලිංගික අධ්‍යාපනය යනු විෂය ක්ෂේත්‍ර දෙකකි. ලිංගික හැසිරීම් සඳහා සමාජ හා නෛතික අනුමැතිය ඇත්තේ අවුරුදු 16න් පසුවය. මේ නිසා ලිංගික අධ්‍යාපනය වැනි විෂයක් පාසල් විෂය මාලාව හරහා හෝ අවුරුදු 16ට පහළ සිසුන්ට ලබාදීමේ අයිතියක් අධ්‍යාපන අමාත්‍යාංශයටද නැති වුවත් වැඩි වන ළමා කාම අපරාධ හමුවේ අධ්‍යාපන අමාත්‍යාංශයටද වැඩි වගකීමක් ඇති හෙයින් මේ වන විට අධ්‍යාපන අමාත්‍යාංශය දරුවන්ට ලිංගික අධ්‍යාපනය ලබා දීමේ පෙරටුගාමි කාර්යභාරයට අතගසා ඇත්තේ දරුවන්ට අගතියක් ඇති වීමේ ඉඩකඩ ඇහිරීමේ උතුම් අරමුණ වෙනුවෙන්මය.

ලිංගික දැනුම

අධ්‍යාපන අමාත්‍යාංශයේ සෞඛ්‍ය හා පෝෂණ ඒකකය විසින් මේ වන විට අවුරුදු 16ට ඉහළ දරුවන්ගේ පොදු විෂ්‍ය මාලාව ඔස්සේ ලිංගික අධ්‍යාපනය විෂයයක් වශයෙන් හැදෑරීම අන්තර්ගත කොට ඇත්තේය. මේ සඳහා අධ්‍යාපන අමාත්‍යාංශය මෙන්ම ජාතික අධ්‍යාපන ආයතනය, සෞඛ්‍ය අමාත්‍යාංශය හා පවුල් සෞඛ්‍ය කාර්යාංශය එක්ව සිටියි. කොළඹින් ආරම්භ කළ මෙහි නියමු ව්‍යාපෘතිය ඉදිරියේදී සියලු ජාතික හා නාගරික පාසල්වල ක්‍රියාත්මක කිරීමට සූදානම්ව ඇත්තේය. මේ සඳහා පාර්ලිමේන්තු අනුකමිටුවක්ද පත් කර ඇත.පාසලක් විවෘත කරන්නේ සිර ගෙවල් දහසක දොරගුලු වසා-දමන්නටයි කියනු ලැබේ. තාක්ෂණය මඟින් රටේ අනාගතය තීරණය වෙද්දී, හෙට දිනයේ දරුවන්ගේ අනාගතය මීටත් වඩා බිහිසුණු විය හැකිය. එසේ හෙයින් අධ්‍යාපන අමාත්‍යාංශය ආරම්භ කළ මේ සුභදායි පියවර නොකඩවා ඉදිරියටම ගෙන යා යුතුව ඇත්තේය.

 සුභාෂිණි ජයරත්න 

Comments