
නෙත් හී සර
ඉඟි කර, කරා පොඩි දරුවෙකු පරිදි එදා
හිනැහුණු හැටි අගෙයි මාවෙත දෙනෙත විදා
පිවිතුරු හදින් ගුවනේ මාලිගා හදා
මා පැමිණියේ නොදනිමි කොතනකද මෙදා
උස් කඳු පේළි දිගටම මට පෙනෙන විට
දිය ඇලි දැකුම් කළු ලෙස බිම ඇදෙන විට
“පේරාදෙණිය” හක්ගල සිහි කෙරෙන විට
අමතක කිරීමට ඔබ නුපුළුවන මට
බිතු සිතු වමක් වාගේ “සීගිරියෙ” ඇඳී
තාමත් මතක සටහන් ඇත සිතෙහි රැඳී
පහළට ගලා යන රැළි පිරුණ නදී
අද එහි පහස නැත පියකරු බවෙන් මිදී
දුකඳුර පිරුණ මේ ජීවන ගමන තුළ
ලියලයි සදාකාලික අදහසක් මළ
කිසි අරමුණක් නොමැතිව එහි ලැබෙන පල
ගැහැටක් විඳින්නට සිදුවෙද කොතෙක් කල
දලුලන නොහැකි සිතුවිලි හදවතෙහි රැදී
ගොළුවිය රසික පද එහි ජීවයක් නොදී
මින්පසු තවත් හදකට වේදනා නොදී
දල්වනු එපා ඔය නෙත් සැඩ පහර දිදී
කේ. ජී. සමරකෝන්
මිතුරනේ
අලුත් දලු මල් අරන් හිනාවෙන ගසක් යට
නැවුම් පැතුමක් තිබේ විඩාබර වූ හිතට
කැවුම් කිරිබත් පිරුණ නව වසරෙ මේසයට
රහිම් රාජම් එන්න ගී තිබේ විහඟුන්ට
සහස් රැස් සියපතක පත් සෙමින් සිඹින සඳ
දහස් ගණනින් අසිරි තුඩ තුඩෙහි රැදෙන දින
රහස් කොඳුරා කුමට සිත් රිදුම් නිති රැඳෙන
අහස් තලයක් තරම් විශාලයි මිතුරු සිත
පන්සලේ පල්ලියේ කෝවිලේ ගිගුම් දෙන
ගායනාවෝ රසයි තැවුල් පලවා හරින
අලුත් අවුරුදු සිරිය සපැමිණේ මඳහසින
ඉතිං හිනැහෙමු නේද මිතුරනේ සම සිතින
තිලක් ඒකනායක
ඕල්කොට් මාවත
සුවඳින් පිරුණු මිනිසුන් හිරු නැඟ එත්ම
පැමිණෙති කඩිසරව වීදිය පුරාම
දහඩිය ගඳ සමඟ ඒ හැම හෙම්බත්ව
පොරකති ගෙදර යන්නට හිරු බැස යත්ම
ඇවිදියි වෙෙළඳ සල් දවසේ තැනින් තැන
මොරදෙයි ඇඟ පුරා මනි බඩු එල්ලාන
රවටයි ජනතාව බේගල් ඇද බාන
පුදුමයි දරන වීරිය දිවි රැකගන්න
නැති බැරි කම වසාගෙන ධනවත් වෙන්න
සූරති ලොතරැයිය පිරිසක් පොරකාන
පූජා කරල අත තිබු මුදලත් එතැන
හෙළමින් සුසුම් යති ආපසු නොබලාම
කොට කොට යන්නෙ වැඩිපුර බස් බොරැල්ලට
හත අට වෙද්දි එනවා එක පෝලිමට
වට පිට බලා පොලිසියෙ අය නැති කලට
මගතොට අහුරගෙන මොරදෙයි මිනිසුන්ට
ඉල්ලන් කන්න උපවාසයේ යෙදෙන අය
බුදියන් ඉන්නෙ දුම්රියපොළ අසලමය
පොල්ලෙන් බැට්න් ඔවුනට කෑම රජයෙන් ය
දකිමින් මේව කවුරුත් කම්පා වෙත් ය
සදහම් සුවඳ දැනිලයි මම මෙහි ආවේ
අදහම් මිනිස් ගති ඇස් ඉදිරියෙ හමුවේ
වසුරම් කපුටන් ගෙ නිරතුරුවම නැහැවේ
කළකම් පල දීල දැයි ඕල්කොට් දුක්වේ
ජයසේන කොඩිතුවක්කු
ආදරණීය සේකර
වැඩ ඇරී එන කලට
සෙනගින් පිරි දුම්රියක
අහුලා ගතමි
ඔබේ සුවඳ...
ආදරේ යන
මුහුදු දේ යන
ගස් නගින
දර පළන
වතුර අදින
කුඹුරු හාන
පෝරු ගාන
මිනිසුන් අතර තිබී
අහුලාගතිමි
ඔබේ සුවඳ කවිය
හිස් සිගරැට් පැකැට්ටුවක
ලියා තිබුණ...
“කළු කබා මහත ටයි
තරබාරු ප්රභූවරු
කුහකකම යට සඟවා
අතට අත දෙන උන් අතර
මෝරපු ගෑනු
බැස්ස උස් කොණ්ඩා හා
ගන දෙතොල් උල් නිය ඇති
උන් අතර”
බිම වැටී පෑගී තිබුණි
ඔබේ කවිය..
ජයන්ත. ග. ජෝතියරත්න
(පරිමිලා කාව්‍ය සංග්රහයෙනි)
ප්‍රේමය ඇහිඳීම
ඇයට මා පුදා
අපතේ ගොස්
වැහි වතුරේ
මද පවනේ
මල් සුවඳේ
ගිනි අව්වේ
දියවී ගිය පෙම
ඇහිඳිනවද කුරුල්ලනේ
උදෑසන ම
සැරිසරමින්
ගී ගයමින්
මල් ගස් යට
කේ. පී. ඩබ්. ප්‍රියන්ත ජයලත්
තනිකම
නෙත කඳුළු සඟවලා
පෙම් කවක් ලියනවා
ඒ කවියෙ සැඟවිලා
නුඹ මසිත සිඹිනවා
ලැගුම් ගෙන මුළු භවේ
නුඹ මහදෙ ඉන්නවා
මගේ හිත නුඹෙ නමට
පාරමී පුරනවා
ආදරේ සිත්තමේ රූ රටා මැකෙනවා
මට ලැබුණු රන් තිළිණෙ
නුඹට බව දන්නවා
ඉතින් නුඹ වැලඳ ගමි
මට සතුටු හිතෙනවා
චන්ද්‍රා සෙනරත්
කා.කා.ස.
ඔබේ අතින් ජරාපත්
කන්තෝරු මේසය
මගේ අතින් පිරිපහදුව
බබළාය
මගේ හිත
ඉරක් සේ---!
කමක් නෑ ලැබුණාට අඩු වැටුප්
ඔබ සිටිනු යෙහෙන්නම්---!
අවසරයි
මම ගිහින් එන්නම් ---!
නිහාල් ගුණවර්ධන
ජීවන සතුට
සඳ සාවා සෙයින් මිරිඟුවකැයි හැඟෙන
කල්පිත නේක නිති ලොව තුළ මුණ ගැහෙන
කෙතරම් සත්‍යයට පිටු පෑවද කියන
සොඳුරුම සංකල්ප මායා මුව පිනන
මවු ඇකයේ පටන් දිවියේ ලොබ බඳින
බහුතර දේම මිරිඟුව හා සැරිසරන
කටුකම සත්‍ය මත පමණක් දිවි ගෙවන
පහසු නොවන විට තම දිවි තොර කෙරෙන
උදක් රෝස මල් යහනාවක් ම නොවී
කෙටිම නිමේසයකින් දිවි වෙනස් වෙවී
පුංචිම පුංචි දෙයකින් නිති සතුට පෙවී
ජීවන සතුට විඳගත හැක බොළඳ වෙවී
අමිතා කුමාරි දිවාරත්න
පැතුම
දුරුතු සඳ නැගේ පෙරදිග නිල් අහ සේ
සමනොළගිර හිසේ සම්බුදු සිරි පහ සේ
ගංගා කොමළියන් සිව් දෙස ගැලුවා සේ
හසරැළි නැගේවා! වසරක් ලැබුණා සේ
දම්රස සවන් දෝතට අමරස මියුරු
සම්බුදු පියාණෙනි කරුණා ගුණ සයුරු
සතුරන් ලෙසින් ලොව ජයගත්තේ කවුරු
මෙත්මල් පිපේවා! සඳ මෙන් එක අයුරු
ලක්මව සනසවන්නට අප සමගි බලේ
මල් යායක සුවඳ දැනුණා මිතුරු කැලේ
සාමයෙ පොදු දහම එකමුතු කමය මලේ
අපි වෙමු සුපිපි පස් පියුමක් නිලඹු විලේ
ඇත්ගාලේ නන්දසිරි හිමි
පහත රටදී
එළිමහනේ සිට
මහත් වුවමනාවෙන්
සතුටින් වින්ද..
පොද වැස්ස...
ශීත කඳුකරයේ දී
අහම්බෙන් මෙන්
එළිමහනකදී
මහත් හිරිහැරයක් වූ
බෝ අමාරුවෙන් උහුලාගත්
පොද වැස්ස
ගංගා වරුෂවිතාන
එතෙර කවිය
සුමුදුව පා නඟන්න
මිහි මව ළැම පහන් සිතින්
මිනිස් දෙපා, සත් සී පා-
කුර සටහන්, අත් පහුරුද
සම අයුරින් පිළිගනු ඇත.
එසේ නමුත්,
ජීවිතයේ පිළිවෙත නම්,
ආගන්තුක සත්කාරයෙ
මිහිරි හැඟුම් - සාර ධර්ම
උල්ලංඝන නොකිරීමයි.
ඔබට කියමි-
සංචාරක හිත මිතුරනි,
මේ වන දිවි සොබා අරණේ
වැසි - නල - හිම කිසි දේකින්
මැකී නොයන මං සලකුණු
ඉතිරි නොකර පිය මනින්න.
එම්. එල්. ජොන්සන්
- ඇ. එ. ජනපදය
වන ජීවී සංරක්ෂකයකු හා පරිසර හිතකාමී කවියකු වන එම්. එල්. ජොන්සන් විසින් රචිත ඉංග්‍රීසි පද්‍යය, ඇලස්කාවේ ‘ඩිනාලි’ නම් ජාතික වන උයනට ඇතුළු වන සංචාරක මධ්‍යස්ථානයේ බිත්ති පුවතක සඳහන් වනුයේ, සංචාරකයන් නෙත් ගැටෙන පරිදිය.
මගේ ඇලස්කා සංචාරයේදී පිටපත් කර ගත් මේ කවිය, අපේ රටේ සංචාරකයන් සඳහාද වැදගත් ඔවදනක් සපයන හෙයින්, මෙසේ පරිවර්තනය කරන්නට සිත් විය. මිහිමවගේ දායාදයන් වූ පරිසරය ආරක්ෂා කිරීම අපේ යුතුකමක් බව, කවියා මුදු - සුමුදු වදනින් පවසයි.
බර්නි දසනායක
අපට පොදු ලොවක් ඇත
කඳු වළලු උඩින් විත් සඳ පළුව එබි එබී
සුදු රැසින් දෙන එළිය මිදුලේ මල් පෙති සිඹී
පුදු මයකි ලොව නොදුටු සතුට ඒ තුළ තිබී
මුදු සුමුදු නළ කැරැළි ළයට හෙමිහිට සිඹී
සරත් සමයේ නැගෙන සුදු වලා කැටිය සේ
ලිහිල් වෙයි හදවතේ පැතුම් මල් පෙති මෙසේ
සවන් දොරටුව වැසූ විහඟ ගීයක රසේ
සොඳුරු ඔබේ මුව විතින් ගලන රිද්මෙක ඇසේ
කටු අකුල මත පවා සුවඳ මල් පීදිලා
කතර ගිනියම මැදත් උල්පතක් මතුවෙලා
නෙතඟ කඳුලෙන් උපන් පැතුම ගොස් නැවතිලා
දෙතොල මී විත උඩත් මදු මලක් හිනැහිලා
නොමැත මිණි මුතු බරණ සත් මහල් පුරවන්න
පයට පාවඩ හිසට උඩු වියන් එල්ලෙන්න
අතට දැසි දසුන් නැති නමුදු සුර සැප දෙන්න
අපට එනමුත් හැකිය සතුට ළඟ හිනැහෙන්න
සත් රුවන් දැසි දසුන් බුමුතුරුණු උඩු වියන්
මක් කරන්නද සොඳුරු සැක බියෙන් ළඟ තියන්
හිස් අතින් ආ නමුදු පැල්පතක සුව සොයන්
මත් කරන්නම් සිතම මිහිරි කවියක් කියන්
ඔබගෙ හිත මා සතුය, හිත මගේ ඔබ සතුය
ණයට උගසට තබා නොමැත අපටම නතුය
දෙහිත දෙහිතක් නොවේ එක හිතින් ආ අතුය
කුමට මිණි මුතු තවත් අපේ හිත් එක මුතුය
හිතට ආ හැම රිදුම රිදුමකැයි නොතැ වෙමු
අපට පොදු ලොවෙක අද ලද දෙයින් සැනසෙමු
අතට එන සුළු දෙයින් තවෙකෙකුට දිරි දෙමු
අදට වැඩියෙන් ටිකක් හෙට දවසෙ හිනැහෙමු
සිරි පතිරගේ
මරු සන්නිය
මරු අබියස
අනාථව
අසරණව
අජූතව
මියෙන්ට
සිහිනෙනුදු
නොපතමි...
මරුද
මරු විකලෙන්
දොඩවන
මොහොතක
සන්සුන්ව
මියෙන්ට
රිසියෙමි
තිස්ස නිහාල් වික්‍රමසිංහ
මගේ නොවූ මගේ දුයිෂෙන් වෙත
එක් සොඳුරු හීනයක් දුරකින්
මැව්වේ මං නිබඳව නුඹ නමින්
දකිනවිට සුවිසල් පොප්ලරුන්
සිහිවුණේ නුඹමයි මට නිතින්
වෙන්ව යන මොහොතෙදී නුඹගෙන්
හඬා වැලපුණි ළසෝ තැවුලින්
බැස එන්න සිතුණද දුම්රියෙන්
නොපිළිගනිතැයි සිතුවෙ බියකින්
පතන බව කීවද ලිපියකින්
නැහැ ලැබුණෙ පිළිතුරක් නුඹගෙන්
වැරදිකාරිය මමයි සිතමින්
දැවේ හදවත පසුතැවීමෙන්
තරු ඇදුරුතුම - දුයිෂෙන්
අහිමිවූ පූරුවේ පවකින්
නුඹට ගැතිවූ විසල් හැඟුමින්
මඟ බලමි යළි එතැයි සිතමින්...
නඳුනි අංජලී පෙරේරා
මතක සැමරුම්
දිනය එක්දහස් නවසිය අනූ නවයක් වූ ජූලි මස විසිපස් වැනි ඉරු දින අපරභාගයයි. ස්ථානය ගොතටුව මහා විද්‍යාලීය ප්‍රධාන ශාලාවයි. කාරණාව, මගේ “සඳවතීට සඳ විමනක්” කෙටි කතා සංග්‍රහය සහ “මැටි කැටය” ළමා සාහිත්‍ය කෘතිය ජනගත වීම ද මවෙත පිරිනැමුණු සමස්ත ලංකා සාමවිනිසුරු පදවි ප්‍රාප්තිය ද නිමිති කොටගෙන පැවැත්වූ උත්සවයයි. එදින මහාචාර්ය විනි විතාරණ ශුරීන් ප්‍රධාන දේශකයාණන් ලෙස සහභාගි වූ උත්සව සභාව නියෝජනය කරමින් මහා සංඝ රත්නය, දේශපානඥයන්, රාජ්‍ය නිළධාරීන්, කලාකරුවන්, කවි කිවිඳයන්, සිසු දරු දැරියන් මෙන්ම ප්රදේශවාසීක් බොහෝ දෙනෙක පැමිණ සිටියහ.
බත්තරමුල්ල ශිල්ප කලා රංග නිකේතනයේ ගුණ සමරු පදනම සංවිධානය කළ මෙම උත්සව සභාව රස ගැන්වීමට එදින සහභාගි ව සිටි සේන ගණේවත්ත, දැනට අප අතරින් වියෝ වී සිටින ටියුඩර් ප්‍රේමචන්ද්‍ර කවියා ඇරයුම් ලබා තිබුණ ද උත්සව සභාව අතරතුර එතුමාට නිවසින් ලැබුණ හදිසි දුරකථන පණිවිඩයක් නිසා සංවිධායකයන් දැනුවත් කළ එතුමා වෙනත් කිසිවෙකුට නොදැනෙන පරිදි නික්මී ගොස් තිබුණි. න්‍යාය පත්‍රයට ඇතුළත්ව තිබූ ටියුඩර් ප්‍රේමචන්ද්‍ර කවියාගේ අවස්ථාව සංවිධායකයන් විසින් හදිස්සියේම ලබා දුන්නේ එකල ප්‍රකට තරුණ කිවියෙකු වූ සේන ගණේවත්තටය. ඒ අවස්ථාවට ඉදිරිපත් වෙමින් සේන ගණේවත්ත කිවිඳුන් තම ගැඹුරු ලයාන්විත ස්වරයෙන් හිටිවනම ගැයු මේ කවි කිහිපය උත්සව සභාව අමන්දානන්දයට පත්කිරීමට සමත් විය.
සටහන - ප්‍රේමසිරි කාරියවසම්
කහවත රසඳනි තැවරුණ නයන කොනේ
රහතන්වරුන් මෙන් සංවර ගතිය පෙනේ
නිරතුරුවම සැමට දක්වන කුළුණු ගුනේ
අවසර අපට ගරුතර හාමුදුරුවනේ
වැඩසටහනට මා ඇත බව නැහැ දන්නේ
අඩුපාඩුවකි මම මෙතනදි පුරවන්නේ
හිතවත් ප්‍රේමසිරිගෙනි මෙය විමසන්නේ
හිටි හැටියේම ටියුඩර් කොයිබද පැන්නේ
නව පරපුරේ ලේඛකයන් අතරඑ ඉඳ
කාරියවසම් කිවියාණන් ලියන ලද
තව පොත් දෙකක් මෙහි අටවන වරට අද
දැය වෙත පිදෙය එය කොතරම් වටිනවද
මිනිසා මිනිසාට සිදුකළ යුතු සේවේ
කාරියවසම්ලට නැත අමතක වූවේ
යුතුකම හමුවේ කවදත් නැත පිටු පෑවේ
මේ වැනි වැඩට තව දහිරිය ලැබුණාවේ
හැම කෙනෙකුටම බැරි වැඩ කටයුතු මේවා
යුග මෙහෙවර පිණිස ඔහු දායක වූවා
මිය යන්නට කලින් ඉටුකර සිය සේවා
සිය වැනි පොතත් ඔහු සුරතින් ලියවේවා
සේන ගනේවත්ත