
කර්තෘ : ලීලාරත්න කංකානම්ගේ
ප්‍රකාශක : ෆාස්ට් පබ්ලිෂින්
කොළඹ 10.
පෙම් සබඳතා මුල්කරගෙන යුග දිවියට පත්වන තරුණ තරුණියන් බොහෝ දෙනෙකුම ඒ දිවියේ පරම අරුත තේරුම් නොගැනීම මේ යුගයේ දැකිය හැකි ප්‍රධාන ලක්ෂණයකි. විවාහයකදී සැලකිල්ලට ගත යුතු වෙනත් කරුණු අමතක කොට දුරදිග නොබලා හුදු ආදරයම පෙරදැරි කරගෙන සිදුකරගන්නා විවාහ අධිකරණයෙන් කෙළවරවීම කෙතරම් ඛේදවාචකයක්ද? දරුවකු ලැබුණු පසු ස්වාමිපුරුෂයා හෝ බිරිය යටත් පිරිසෙයින් එම දරුවා වෙනුවෙන් කළ යුතු වගකීම් පැහැර හරිමින් අනියම් පෙම් සබඳතාවලට පෙලඹීම කණගාටුවට කරුණකි. එවන් තත්ත්වයක් මත පවුල් අවුල්වීම අනිවාර්යයෙන් සිදුවන්නකි.
ප්‍රවීණ ලේඛකයකු වූ ලීලාරත්න කංකානම්ගේ ශුරීන්ගේ ‘අපරිණත’ නම් වූ නවකතාවෙන් පෙන්වා දෙන්නේ, එවන් පවුල් දෙකක් අනියම් පෙම් බැඳීමක් නිසා අවුල් වූ ආකාරයයි. තම පියාගේ අකල් මරණයෙන් පසු අම්මා සහ මල්ලී සමඟ ජීවත් වූ සඳුනිකා පෙම් සබඳතාවකට මැදිවන්නේ තමන්ගේ නිවසට බෝඩිං වීමට පැමිණි සුරංග නම් කඩවසම් තරුණයෙකු සමඟයි. මුලදී ඇය සුරංගගේ ආදර ඉල්ලීමට යහපත් ප්‍රතිචාරයක් නොදැක්වුවත්, පසුව කැමැත්ත පළ කරන්නට ඉඩකඩ ලැබුණේ තමාගේ සහෝදරයා, සුරංග සමඟ ඇති කරගත් කුලුපගතාව හේතුකොට ගෙනයි. අම්මා ද තම ආදරයට පිටුපාය යන බිය ද ඇය තුළ තිබූ මුත්, පසුව ඇයගේ පෙරැත්තය මත, අම්මා ද එකඟ කර ගැනීමට ඇය සමත් වූවාය.
සාමාන්‍යයෙන් අලුතෙන් විවාහ දිවියට පිවිසි තරුණ තරුණියන් එකිනෙකා උණුසුම් පෙමින් කටයුතු කිරීම අරුමයක් නොවන්නා සේ, සුරංග සහ සඳුනිකාගේ ආදරය ද එලෙස ම විය. පුතෙකුගේ සුරතල් බල බලා සිටි මේ දෙපොළගේ පවුල් ජීවිතයට අර්බුදයක් මතුවුණේ සුරංගට මාධ්‍යයට සම්බන්ධ අලුත් රැකියාවක් ලැබීමත් සමඟයි. මෙම නව රැකියාවේ ස්වභාවය නිසා ඔහුට පුළුල් මහජන සම්බන්ධතා ඇති කර ගැනීමට අවස්ථාව ලැබීම සඳුනිකා සහ සුරංගගේ ආදර ලෝකය දෙදරා යන්නට හේතු විය. තමන්ට ලැබුණු අලුත් රැකියාව නිසා විශේෂයෙන් කාන්තා පක්ෂය සමඟ ඇසුරු කරන්නට සිදුවන බව සඳුනිකාට කියන සුරංග තමන් පෙරට වඩා හැඩට ඇඳීමට යුහුසුලු වෙයි. වෙරෝනිකා නම් විවාහක රූමත් කාන්තාවක් සමඟ සුරංග ඇඟැලුම් කමක් දක්වන්නේ මේ පසුබිම මතයි.
සුරංග හා වෙරෝනිකා අතර ඇතිවූ ආදර සම්බන්ධය සඳුනිකා මුලදි දැන නොගත්තත් පසුව තමන්ගේ කන්තෝරුවේ වැඩ කරන රාදිකා නම් මිතුරිය මගින් එම සම්බන්ධය ගැන තොරතුරු සොයා ගනී. මෙවන් අවස්ථාවක ඇයට ඇතිවන වේදනාව කෙබඳු ද යන්න අප කතුවරයා දැඩි ලෙස අවධානය නොකර ඇත්තේ, ඇගේ අහිංසක බව නිසා වන්නට ඇත. එබැවිනි, සඳුනිකා, මුලදි වෙරෝනිකා හා සුරංග අතර සම්බන්ධය පිළිබඳ මුනිවත රැක ඇත්තේ. කෙසේ වෙතත් නොබෝ දිනකින් සඳුනිකා මේ ගැන සුරංගගෙන් ඇසුවද, එයට ඔහු ඍජු ප්‍රතිචාර දක්වනවාට වඩා මග හැර යන පිළිවෙතක් අනුගමනය කරනු පෙනේ. පසුව තමන් හා වෙරෝනිකා අතර ඇසුර සඳුනිකාට කියන්නේ ඇගෙන් දික්කසාදය ලබා ගැනීමේ අපේක්ෂාව මුල්කරගෙනයි. මෙහිදි සුරංග හා තද ගැටීමකට නොඑන සඳුනිකා ඔහුට කැමැත්ත දෙන්නේ හදපිරි වේදනාව සමඟයි.
සඳනිකාගෙන් වෙන්ව වෙරෝනිකා සමඟ ගත කළ ආරම්භක දිවිය සුරංගට සතුටක් ගෙන ඒමට සමත් වුවත් කාලයාගේ ඇවෑමෙන් මේ දෙදෙනාටම විවිධ අභියෝගවලට මුහුණ දෙන්නට සිදුවිණි. ඇත්තෙන් ම සුරංගගේ පෙම්වතිය වූ වෙරෝනිකාට ද පුතෙක් සිටී. ඇය තම නීතිඥ සැමියාගෙන් නිතර ම ගැහැට විඳින්නියක් වූවාය. තම බිරිඳ සුරංග සමඟ අනියම් සබඳතාවකට පැටලී ඇති බව දැනගත් ඔහු, වරෙක සඳුනිකාට ලිපියකින් දන්වා සිටින්නේ සුරංගගේ මේ අනියම් ආදරය නතර කරන්නට කටයුතු කරන ලෙසයි. වෙරෝනිකා තම පුතුට බෙහෙවින් ආදරය කළ මුත් ඇය තුළ සුරංග කෙරේ පවතින නැවුම් ආදරය එයට වඩා ගැඹුරු එකක් විය.
හදිසියේ මුදල් වංචාවකට හසුව තම රැකියාව අහිමි කරගත් සුරංග අනපේක්ෂිත තත්ත්වයකට ඇද වැටුණේ මේ අතරතුරේදියි. සුරංගට රැකියාව අහිමිවීමත් සමඟ වෙරෝනිකාගෙන් ඔහුට ලැබුණේ යහපත් ප්‍රතිචාර නොවේ. වෙරෝනිකාට ඥාතියෙකුගේ මාර්ගයෙන් රැකියාවක් ලැබුණත් ඇයට සුරංග ගැන සෙවීමට උවමනාවක් නොවූයේ වෙනත් පුද්ගලයන් සමඟ අනියම් සබඳකම් පැවැත්වූ නිසා පමණක් නොව, සමාජීය වශයෙන් ඇය තුළ පැවති ඉහළට යාමේ ආශාව නිසයි.
තවත් පැත්තකින් බලනවිට සුරංගගේ තත්ත්වය එන්ට එන්ට ම ශෝචනීය තත්ත්වයට පත්වෙයි. ඒ අතර ඔහුට තමන් කළ කී දේ පිළිබඳ තැවීමක් ඇති වන්නේ මේ පසුබිම මතයි. සඳුනිකාගෙන් වෙන් වූ පසු සුරංගට සිය පුතා සමඟ ඇසුරු කරන්නට හැකිවූයේ අධිකරණයෙන් ලැබුණු තීන්දුවක් අනුවයි. මේ අතර සඳුනිකාට තම කාර්යාලයේ සේවයට ළඟදි පැමිණි යසපාල නම් අවිවාහක තරුණයකු සමඟ ඇසුරු කිරීමට අවස්ථාව ලැබේ. යසපාල අවංක හා අහිංසක පුද්ගලයෙකු වූ අතර, කාර්යාලයේ බොහෝ දෙනෙකුගේ සිත් දිනාගත් අයෙකු ද විය. මේ අතර යසපාල හා සඳුනිකා අතර විශේෂ සම්බන්ධකමක් ඇතැයි යන සැකය කාර්යාලයේ බොහෝ දෙනෙකු අතර පැතිරිණ. එය සත්‍ය දෙයක් ලෙස ඔප්පු වූවේ, යසපාල සඳුනිකාගේ ගෙදර වරින්වර යාමත් පසුව ගෙදර නතරවීමත් නිසයි. සඳුනිකා යසපාල හා සරණ යාම එහි අවසන් ප්‍රතිඵලය විය.
ලීලාරත්න කංකානම්ගේ මහතා තම නවකතාව මඟින් ඉදිරිපත් කරන ලද චරිත මනා ලෙස විවරණය කර ඇතැයි සඳහන් කළ යුතුය. ඒ ඒ සිද්ධි අදාළ පරිසර තත්වයන්ට අනුකූල අන්දමින් දක්වා තිබීම වැදගත්ය. තම පුතාගේ පෙරැත්ත මත සඳුනිකා අසරණ තත්වයෙන් සිටින සුරංග ගෙදරට ගෙන එයි. එහිදි යසපාලගේ අදහස් සඳුනිකාට බලපෑ බව පෙනේ. ඇත්තෙන් ම යසපාල වැනි තරුණයන් සමාජය තුළ විරලය. ඔහු වරක් සඳුනිකාට පවසන්නේ සුරංග සමඟ පවුල් ජීවිතය ගෙන යන ලෙසයි. තමන් ඉන්පසු නිවසින් පිටව යන බව යසපාල සඳහන් කළත් සඳුනිකා ඔහු තම නිවසේ ම රඳවා ගනී.
නවකතාවක් වශයෙන් ගත්කල මුලින් ම සඳහන් කළ යුත්තේ ‘අපරිණත’ එක දිගට කියවාගෙන යා හැකි නවකතාවක් බවයි. ඉවසීම ප්‍රගුණ කරගත් චරිතයකට සඳුනිකා හිමිකම් කියයි. එසේ සඳහන් කළ හැක්කේ තමන්ට අපමණ මදිපුංචිකම් කළ සුරංග තමන්ගේ නිවසට ගෙන්වා ගැනීමට සඳුනිකා තීරණයට ඒමයි. සුරංග එසේ නොව ජීවිත සමඟ සෙල්ලම් කරන පුද්ගලයකු ලෙස මේ නවකතාවේ නියෝජනය වීමයි. වෙරෝනිකා ජීවිතය දෙස සැහැල්ලුවෙන් බලන ඒ වාගේම ආත්මාර්ථකාමිත්වය සිත්හි දරාගත් කාන්තාවකි. අප සමාජයේ ද බෙහෙවින් මෙවන් චරිත දැකිය හැකිය. යථාර්ථවාදී පදනමකින් ලියා ඇති ලීලාරත්න කංකානම්ගේ මහතාගේ අපරිණත නවකතාව, මිනිස් ජීවිතවල පැවැත්ම මේ ආකාරය යන ධර්මතාව අපට පෙන්වා දෙයි.