ගැඹුරු මුහුදේදී ධීවර යාත්‍රා නැව් හා ගැටෙන්නේ ඇයි? | සිළුමිණ

ගැඹුරු මුහුදේදී ධීවර යාත්‍රා නැව් හා ගැටෙන්නේ ඇයි?

 ජනවාරි 01 වැනිදා කියන්නෙ අපි කවුරුත් බොහොම සතුටින් ගත කරන දවසක්. ඒ සතුට වැඩි කරගන්න මේ අවුරුද්දේ ජනවාරි මස 01 වැනිදා ධීවරයින් 7 දෙනෙකු රැගෙන හික්කඩුව ධීවර වරායෙන් නදීශා II නමැති බහුදින ධීවර යාත්‍රාව පිටත් වුණේ ඒ පවුල්වල ආර්ථිකය නංවන ගමන් අපේ මත්ස්‍ය අවශ්‍යතා සපුරාලන්නයි. නදීශා II බහුදින ධීවර යාත්‍රාව දවස් කීපයක් මුහුදේ මත්ස්‍ය අස්වැන්න සොයමින් ගියා. නත්තල් දවස්වල බොහෝ විට මුහුදු නොයන ධීවරයන් මේ දවස්වල ලැබුණු සරු අස්වැන්නත් අරගෙන තවත් ගැඹුරු මුහුදට ගියා.

ඒත් අවාසනාවට එක් ධීවරයෙක් හදිසියේ රෝගාතුරවුණා. ඒ ධීවරයාගේ අසනීප තත්ත්වය උත්සන්න වෙලා මිය ගියා‍. මේ නිසා එම පුද්ගලයාගේ මෘත දේහය රැගෙන නැවත ගොඩබිම වෙත යාත්‍රා කරමින් සිටියදී, නදීශා II බහුදින ධීවර යාත්‍රාවට ලොකු අනතුරකට මුහුණ පාන්නට සිදුවුණා.

ඒ ජනවාරි 9 වැනිදා රාත්‍රී 11.20ට විතර. කොළඹ වරායේ සිට හම්බන්තොට වරාය දක්වා යාත්‍රා කරමින් තිබූ මාෂල් දූපතට අයත් ‘MV GLOVIS CAPTAIN’ නමැති වාහන ප්‍රවාහන නෞකාවේ නදීශා II බහුදින ධීවර යාත්‍රාව ගැටුණා. නැවක් එක්ක බලනකොට ධීවර යාත්‍රාවක් කියන්නෙ අලියෙක් හා මදුරුවෙක් වගේ. මේ අනතුර වුණේ දෙවුන්දර ප්‍රදීපාගාරයේ සිට නාවික සැතපුම් 13 ක් පමණ ගැඹුරු මුහුදු සීමාවේදී. සිද්ධිය හදිසි පණිවුඩ සේවාව හරහා ශ්‍රී ලංකා නාවික හමුදාවට දැන ගන්නට ලැබුණා. නාවික හමුදාවටත් රැයක් දවාලක් නැහැ. වහාම ක්‍රියාත්මක වුණා. දකුණු නාවික විධානයට අනුයුක්ත පී 492 සහ 480 යන වේග ප්‍රහාරක යාත්‍රා (ඩෝරා යාත්‍රා) මැදියම් රැෙය්ම එම මුහුදු ප්‍රදේශය වෙත පිටත්ව ගියා.

ඒ අනුව, වේග ප්‍රහාරක යාත්‍රා විසින් දියත් කරන ලද සෝදිසි කිරීමේ මෙ‍හෙයුම් මඟින් එක් ධීවරයකුගේ ජීවිතය ‍බේරා ගැනීමට හැකි වුණා. ඊට පෙර නෞකාවේ කාර්ය මණ්ඩලය විසින් තවත් දෙදෙනකුගේ ජීවිත බේරා ගෙන තිබෙනවා. එසේම මේ අනතුරින් මියගිය පුද්ගලයින් දෙදෙනෙකුගේ මෘත දේහ සොයා ගැනීමට ද නාවික හමුදාව සමත් වුණා. ඒ මහ රාත්‍රියේම ගැඹුරු මුහුද පීරමින්. දිවි බේරා ගනු ලැබූ ධීවරයින් තිදෙනා සහ මෘත දේහ ගාල්ල වරාය වෙත රැගෙන ඒමෙන් අනතුරුව කරාපිටිය ශික්ෂණ රෝහල වෙත භාර දීමට නාවික හමුදාව කටයුතු කළා.

ධීවර යාත්‍රාව තුළදී මිය ගිය පුද්ගලයාගේ මෘත දේහය බහුදින ධීවර යාත්‍රාව තුළ ඇතැයි සැක කෙරෙනවා. මේ නිසා වාහන ප්‍රවාහන නෞකාව සහ ඩෝරා යාත්‍රා අනතුර සිදුවූ මුහුදු ප්‍රදේශයේ රැදී සිටිමින් එම ධීවර යාත්‍රාව මුහුදුබත් වීම වැළැක්වීමට කටයුතු කර තිබෙනවා. තවද, අතුරුදන්ව ඇති තවත් පුද්ගලයෙකු සොයා නාවික හමුදාව සෝදිසි කිරීමේ මෙහෙයුම් ක්‍රියාත්මක කරමින් පවතිනවා.

බැලූ බැල්මට යම් අයකුට මේ සිදුවීම සාමාන්‍ය කරුණක් සාමාන්‍ය සිදුවීමක් ලෙස දකින්න පුළුවන්. ඒ වුණත් ගොඩබිම මෙන් නොව ගැඹුරු මහ මුහුදේ සිදු වූ මේ ඛේදවාචකය සම්බන්ධයෙන් කඩිනමින් පියවර ගැනිම සම්බන්ධයෙන් නාවික හමුදාවට අපේ ගෞරවය පිරිනැමිය යුතුයි.

නැවක් කියන්නේ පාරුවක් වගේ පොඩි යාත්‍රාවක් නෙමෙයි. ‍එහෙම අතිවිශාල නැවක් එක්ක කොහොමද අනතුරක් වෙන්නේ.

පහුගිය දවස්වල චීන‍යේ නැව් දෙකක් ගැටිලා මහා විනාශයක් සිදු වුණා. ඒකත් හිතා ගන්න බැරි දෙයක් කියලයි වාර්තා වුණේ. කොහාම වුණත් අපේ රටේ සිදුවුණු මේ සිදුවීම සම්බන්ධයෙන් අපි නාවික හමුදා මාධ්‍ය ප්‍රකාශක කොමාන්ඩර් දිනේෂ් බණ්ඩාරගෙන් මේ පිළිබඳව විමසුවා.

‘මහ මුහුදේ අනතුරක් සිදුවීම බොහෝ විටම සිදු වන්නේ මහා මාර්ග‍යේ වගේම නොසැලකිල්ල නිසයි. නැවක් වගේ ලොකු යාත්‍රාවක් නොදැකීම සාමාන්‍යයෙන් නම් සිදුවන්නට බැහැ. නමුත් රාත්‍රී කා‍ලයේ සිදු වූ මේ අනතුර ගැන අපට පරීක්ෂණ නිමවන තුරු කිසිවක් කියන්නට බැහැ. කෙසේ වුණත් මුහුද මැද අනතුරක් සිදු වන්නට හේතු කිහිපයක් බලපාන්නට පුළුවන්. නොසැලකිල්ලට අමතරව ඇතැම් විට මුහුදේ ස්වභාවය අනුව ‍නැවක් වුවත් බොහෝ ආසන්න වන තුරු නොපෙනෙන්ට පුළුවන්. ඒක නිසා මහ මුහුදේ ගමන් කිරීමේදී අවධානය ඉතාම වැදගත් වනවා.

මුහුදේ ස්වභාවය අනුව අප තේරුම් ගත යුතු වනවා අප කටයුතු කළ යුත්තේ කෙසේද යන්න ගැන. ඇතැම් විට මුහුදේ කැළඹිලි සහිත ස්වභාවය අනුව ධීවරයන්ට තම ගමන් මඟ වෙනස් කර ගැනීම අසීරු වන්නට පුළුවන්. කෙසේ වුවත් ධීවරයන් තමන්ගේ ආරක්ෂාව සම්බන්ධයෙන් ධීවර කටයුතු සම්බන්ධව ඔවුන්ට ලබා දී ඇති උපදෙස් පිළිපැදීම මෙහිදී වැදගත් වනවා.‍ විශේෂයෙන්ම රාත්‍රී කාලයේ විදුලි පහන් දල්වා තිබීම මෙහිදී ඉතාම වැදගත්. නෞකාවන් අනිවාර්යෙන්ම විදුලි පහන් දල්වාගෙනයි පැමිණෙන්නේ. අනෙකුත් යාත්‍රා රාත්‍රී කාලයේදී අනිවාර්යෙන්ම විදුලි පහනක් දැල්වීම අත්‍යවශ්‍යයි. එසේ නොවුවහොත් නෞකාවට කුඩා යාත්‍රා ‍නොපෙනෙන්නට පුළුවන්.

නාවික හමුදාවට තොරතුරු ලද වහාම අදාළ ස්ථානයට ගොස් සහන සේවා සැලසිය හැකි වනවා. නමුත් අදාළ ස්ථානයට ඇති දුර අනුව මෙහිදී ප්‍රමාද වීමට පුළුවන්. කෙසේ වුවත් උපරිම සේවාවන් සලසන්න අප කටයුතු කරනවා. මේ අනතුර සම්බන්ධයෙන් තවම පරීක්ෂණ කටයුතු සිදු කරනවා. එම නිසා මේ අනතුරට හේතුව කුමක්ද කියා අපට තවමත් කියන්නට බැහැ. මේ අනතුරින් ජීවිත රැසක් අපට අහිමි වුණා. මහ මුහුද මැද මෙවන් අනතුරු මීට පෙරත් සිදු වුණා. එවන් අනතුරු ඉදිරියේදී සිදුවීම වළක්වා ගැනීමට අප කටයුතු කළ යුත්තේ කෙසේද? තම යාත්‍රාවන් මෙන්ම තමන්ගේ ජීවිතද රැකගෙන ධිවර කර්මාන්තය කර ගන්නට ධීවරයන්ට මීට වඩා උපදෙස් අවශ්‍ය වන්නේ නම් ඒ සඳහාද කටයුතු කළ යුතු වෙනවා. එහෙත් අ‍පේ රටේ ‍බොහෝ අයට සතියකින් දෙකකින් සියල්ල අමතක වන නිසා මේ සිදුවීමත් ඒ දෙසටම ගමන් කරන්නේද යන්න අපට මතුවන ගැටලුවයි.

සේයාරූ - නාවික හමුදා මාධ්‍ය අංශය
තාරක වික්‍රමසේකර

Comments

Merchant vessels are fully equipped with all the available navigation equipment's as per the SOLAS & there no any leeway to avoid the responsibility of said accident as per international COLREG 1972.therefore I believe that all the responsibility should have take by ship's crew

Specially Sri Lankan fishing boats are unlit and their body is made out of fiber.. Ships radars are not so good in picking up fiber vessels. If they can fix a simple thing Like a radar reflector, Hardly costs 1000 LKR to build a radar reflector. And I have seen Sri Lankan and Indian Fishing Boats switch on their lights when a ship is very close by. and Ships cannot turn all of a sudden.. As a rule of thumb.. If you see a ship comes to your face.. You should always try moving to the ship's left side, Because ships are obliged to alter their courses to STARBOARD(Right Hand Side) always to avoid course.

පිටු