කාන්තාවන්ට සමතැන තරුණ වියේදී සටන් පාඨය මැදි වියේදී අවභාවිතය | සිළුමිණ

කාන්තාවන්ට සමතැන තරුණ වියේදී සටන් පාඨය මැදි වියේදී අවභාවිතය

 ලෝකයේ සිනමා කර්මාන්තය වෙනුවෙන් පුද දෙන දහසකුත් එකක් සම්මාන උලෙළ අතරේ විශේෂයෙන් සැලකිල්ලට ලක් කෙරෙන සම්මාන උලෙළ අතළොස්සක් තිබෙනවා. ගෝල්ඩන් ග්ලෝබ් කියන්නේ ඒ අතරට අයත් වන සම්මාන උලෙළක්. මේ සම්මාන උලෙළ වර්ණවත් වන්නේ එයට සහභාගී වන හොලිවුඩ් නිළියන්ගේ ඇඳුම් විලාසිතාවලින්. ඒත් පසුගිය ඉරිදා පැවති ගෝල්ඩන් ග්ලෝබ් සම්මාන උලෙළට සහභාගී වූ හොලිවුඩ් නිළියන් සිය වර්ණවත් විලාසිතා කැප කරමින් මහා පණිවිඩයක් ලොවට දුන්නා.

ඔවුන් කිව්වා, කාන්තාවන් ලිංගික හිංසනයට භාජනය වීම වහාම වැළැක්විය යුතු බව. විශේෂයෙන්ම තමන්ගේ වෘත්තිය තුළදී එසේ වීම වහාම පිටුදැකිය යුතු බව. ඔවුන් මේ පණිවිඩය ගෙන යන්න පාවිච්චි කළේ තමන්ගේ ඇඳුම්. ඒ වෙනුවෙන් ඔවුන් වෙනදා සම්මාන උලෙළට අඳින අතිශය වර්ණවත් ඇඳුම් වෙනුවට කළු පැහැති ඇඳුම් තෝරාගෙන තිබුණා. ඔවුන්ගේ ඒ සාමූහික විරෝධතාව නිසාම අද මුළු ලොවම හොලිවුඩයේදී කාන්තාවන් මුහුණදෙන හිංසනය සම්බන්ධව කතා කරන්න පටන් අරන්.

හොලිවුඩ් කිව්වාම අපි නම් කියන්නේ ‘ඕවයේ ඉන්න ගෑණුන්ට ලැජ්ජා බය නෑ‘ කියලයි. ඒ අපේ සංස්කෘතියට අනුව. ඒත් අද හොලිවුඩ් නිළියන් ඉදිරියට ඇවිත් කියන්නේ වෘත්තියේදී කාන්තාවන් අසමාන අවස්ථාවන්ට මුහුණ දීම සහ කාන්තාවන් වීම නිසා පීඩාවට පත්වීම වැළැක්විය යුතු බව.

මෙය අවධානයට යොමු විය යුතු දෙයක්. වෘත්තිය කියන්නේ සැමට සමාන අයිතිවාසිකම් ලැබිය යුතු අවස්ථාවක්. ඒත් වෘත්තියේදී යම් අකටයුතුකම්වලට මුහුණ පෑමට සිදුවනවා නම්, විශේෂයෙන්ම කාන්තාවන් වීම නිසා එසේ වනවා නම්, එයට විරුද්ධ විය යුතුමයි.

අපි පිළිගන්න දෙයක් තමයි අතීතයට සාපේක්ෂව වර්තමානයේ කාන්තාවන්ට වඩා වැඩි නිදහසක් ලැබෙනවා කියන දෙය. උදාහරණයක් විදිහට ඉස්සර කාන්තාවන්ට ඡන්ද බලය හිමිවුණේ නැහැ. ලෝකයේ ඇතැම් රටවල සර්ව ජන ඡන්ද බලය කිව්වට ඡන්දය භාවිත කරන්න අවසර ලැබුණේ පිරිමින්ට විතරයි. හැබැයි සවුදි අරාබිය වගේ රටවල මේ තත්ත්වය අදටත් පොදුයි.

ගෙදරට කවුරු හරි ආවත් කාන්තාව කළේ සංග්‍රහ කටයුතු කරලා මුලු ගැන්නිලා ඉන්නඑක. ඕනෑම සභාවක මුල් තැන පුරුෂ පාර්ශවයට.

මේ කතා කරන්නේ ලංකාවට ආවේණික තත්ත්වයක් කියලා හිතන්න එපා. එක්තරා කාලෙකදි ලෝකෙම එහෙමයි. ඒත් මේ මුල්ලෙන් කාන්තාව ගලවලා ගත්තේ කාලයෙන් කාලයට තරුණ වියට හිමිකම් කියු ‘තරුණ පරම්පරාව‘. මේ තරුණ පරම්පරාව කිව්වම කාන්තාවන් වගේම පිරිමිත් අයිතියි.

ඕනෑම දෙයක් ඉස්සර වෙලාම මැනැවින් ග්‍රහණය කර ගන්නේ තරුණ පිරිස. කායික සහ මානසික අංශ දෙකෙන්ම ඒ සඳහා ඔවුන්ට සහාය ලැබෙනවා. ඒ ඔවුන් තරුණ නිසා. තාක්ෂණය භාවිතය, විද්‍යාව ප්‍රචලිත වීම සමග සමාජය වඩාත් නිදහස් වෙන්න ගත්තා. එතනදී කාන්තාව වඩා විවෘත විය යුතුයි කියන අදහස කාන්තාවන් විතරක් නෙවෙයි පිරිමිත් පිළිගත්තා. එලෙස පිළිගත් පරම්පරාව වියපත් වුණාම ඊට පස්සේ පැමිණි ‘තරුණ පරම්පරාව‘ තවත් පියවරක් ඉදිරියට ගියා.

නූතනත්වය කියන්නේ තාරුණ්‍යය එක්කම බැඳිලා තියෙන වචනයක්. තාරුණ්‍යය නූතනයි. ඒ කියන්නේ ‘අද ජීවත් වෙනවා‘ කියනඑක. නැත්නම් ‘හෙට වගකීම් ගන්න සූදානම් ‘ කියනඑක. එතනදී කාන්තාවන් සහ පිරිමින් අතර භෞතික වෙනස්කම් කිහිපයක් හැර ඔවුන් හැම අතින්ම සමාන මිනිසුන් කියන අදහසට තාරුණ්‍යයේදී කිසියම් වටිනාකමක් ලැබෙනවා. ඔවුන් ලබාදෙන ඒ වටිනාකම එක්ක සමාජය විකාශය වෙනවා.

මේ විදිහට සමාජය විකාශය කිරීමේ, නැත්නම් වෙනස් කිරීමේ ගෞරවය තරුණ පරම්පරාව දිනා ගනිද්දී කාන්තාව පෙරට වඩා නිදහස දිනා ගත්තා කියලා අපි හිතුවා. ඇත්තටම ඇඳුම් පැළඳුම්වලින්, ඡන්ද අයිතියෙන්, වෘත්තිය මට්ටමෙන් කාන්තාව කිසියම් වෙනස්කම් අත්වින්දා තමයි. ඒත් හොලිවුඩ් හෙළිදරව්වත් සමග හිතෙන්නේ නැද්ද අපි හැමදාම කැරකිලා තියෙන්නේ එක තැන කියලා.

මානව සංහතියේ යුග ගණනාවකට පස්සේ හරි නම් වෘත්තිය තුළ ලිංගිකත්වයට අදාළ සමානාත්මතාව ඉහළින්ම සුරැකී තිබිය යුතු හොලිවුඩ් සිනමාව වගේ තැනක ඉඳන් කාන්තාවෝ කෑ ගහනවා ‘සමානව සලකපියව්‘ කියලා. ඉතින් වෙනත් තැන් ගැන කුමන කතාද?

ඇත්තටම තරුණ පිරිස අතරේදි ලිංගිකත්වය පදනම් කර ගනිමින් බෙදෙන අවස්ථා අවමයි. උදාහරණයක් විදිහට කොටුව ස්ටේෂන්එක ඉස්සරහ කෙරෙන විරෝධතා ව්‍යාපාරවලදී ශිෂ්‍යයන් විතරක් නෙවෙයි ශිෂ්‍යාවන්ගේ සහභාගීත්වයත් ඉතාම ඉහළයි. පොලිසියෙන් ගුටි කද්දී වුණත් එහෙමයි. අධ්‍යාපනයේදී ඇතැම් විට කාන්තාවන් ඉදිරියෙන්. ඒත් එතනින් එහාට සැලකුවාම ඒ කියන්නේ මැදි වියේදි ආපහු අර පරණ තැනට ඇවිත්. එතකොට ප්‍රශ්නේ තියෙන්නේ මැදි වියේද? තරුණ වියේ දී රැඩිකල් විදිහට හිතපු පිරිස් මැදිවියට ආවම සාම්ප්‍රදායික වෙනවාද? ඊළඟට ඔවුන්ම අසමානතාව ඇති කරන්න කටයුතු කරනවාද? එහෙම කරලා ඒ යුගයේ තරුණ පරම්පරාවට ආයෙමත් ඉදිරියට ගෙනයන්න විප්ලවීය වැඩ කොටසක් ඉතිරි කරනවාද?

ඒ කොහොම වෙතත් කාන්තාව නිදහස් නෑ කියලා හොලිවුඩ්වලින්ම අහගන්න ලැබුණා. ඉතින් ලංකාව ගැන වෙන මොනවා කියන්නද?

ටිරෝනි වෑවලගේ 

Comments