සරු පල දෙන පොල් පැළ­යක් හදන හැටි | Page 19 | සිළුමිණ

සරු පල දෙන පොල් පැළ­යක් හදන හැටි

පොල් ගසක් අවුරුදු 60ක පමණ කාලයක් ආර්ථිකව ඵලදාව ලබාදෙන බෝගයකි. එබැවින් පොල් ගසක් සාර්ථක අස්වැන්නක් ලබාදීමට අදාළ මූලික කරුණ වන්නේ හොද ඵලදාවක් ලබාදීමට ප්‍රවේණික හැකියාවක් ඇති පොල් පැළ සිටුවීමයි. මෙය ඉහළ ඵලදාවක් සහිත ඒකාකාරී පොල් වගාවක් ඇති කර ගැනීමට දමන හොඳම පදනම වේ.

පොල් ගස තාල වර්ගයට අයත් ස්වාභාවිකව පරාගණය වන ශාකයකි. එබැවින් ඉහළ අස්වැන්නක් ලබාදෙන මවු ගසක් ගෙවත්තෙන් තෝරාගෙන ලබාගන්නා බිජ පොල් වලින් එම ගසේ අස්වනු හැකියාවට සමාන හැකියාවක් ඇති පොල් පැළ ලබා ගැනීම අපහසු වේ. එබැවින් ඉහළ ඵලදාවක් දෙන මව් ගසක් ඔබගේ ගෙවත්තෙන් තෝරා බීජ පොල් ලබා ගැනීම නිර්දේශ කළ හැකි ක්‍රමයක් නොවේ.

මේ අභියෝගය ජයගෙන ඉහළ ඵලදාවක් ලබා දීමට ප්‍රවේණික විභවයක් ඇති පොල් ප්‍රභේද බිහි කිරීම පොල් වගාකිරීමේ මණ්ඩලය සතුව ඇති තවාන් වල හා ආදර්ශ පොල් උයන් මඟින් සිදු කරනු ලබයි.

මෙහිදී පළමුවෙන් කළ යුතු වන්නේ උසස් ශාක තෝරා ගැනීමයි. මෙහිදී ප්‍රධාන වශයෙන්, මුළු ඉඩමම ආවරණය වන පරිදි අහඹු ලෙස තේරූ ගස් සියයක ගෙඩි කඩා එමඟින් ගසකට ලැබී ඇති ගෙඩි ඵලදාවේ සාමාන්‍ය අගය ගණනය කෙරේ. දෙවනුව එක් එක් ශාකයෙහි ගෙඩි කඩා සටහන් කර කලින් ලබාගත් සාමාන්‍ය අගයට වඩා වැඩි ගෙඩි ගණනක් ලබා දෙන ශාක පමණක් පළමු පියවරේදී තෝරා ගනු ලබයි. මෙහිදී ගණනය කළ සාමාන්‍ය අගයට වඩා පහළ ගෙඩි සංඛාවක් නිපදවන ගස් ඉහළ අස්වනු ලබා දෙන ශාක කණ්ඩායමට ඇතුළත් කරනු නොලැබේ.

පළමු පියවරේදී තෝරා ගත් ගස් අතරින් මනා ශෂ්‍ය විද්‍යාත්මක ලක්ෂණවලින් යුතු ශාක නැවත ලෙලි ගැසූ ගෙඩිවල බර මත තෝරා ගැනේ. මෙලෙස තෝරා ගන්නා ශාක හඳුනා ගැනීමට පහසු වන ලෙස සලකණු කරනු ලබයි.

අපගේ බීජ පොල් තේරීමේ වැඩපිළිවෙළ යටතේ ඒ සඳහා මනා පුහුණුවක් හා පළපුරුද්දක් ඇති නිලධාරීන්ගේ දායකත්වය ලබා ගන්නා අතර ආදර්ශ පොල් උයන් හෝ උසස් ශාකවලින් ලබාගන්නා බීජ පොල් තවාන් දැමීමට පෙර තේරීමකට ලක් කරනු ලබයි. ඒ අනුව සියලුම නොපැසුණු හා පුහු ගෙඩි ප්‍රතික්ෂේප කරන අතර, ප්‍රමාණයෙන් කුඩා ගෙඩි, තවාන් කිරීමට අපහසු තරම් විශාල ගෙඩි හා විකෘති ගෙඩි මේ තේරීමේ ක්‍රියාවලියෙදී ඉවත් කරනු ලබයි. පසුව තවාන්වල මේ බීජ පොල් තවාන් කිරීමෙන් අනතුරුව තවාන් පාත්තිවල ජල සැපයුම, පාංශු ජල සංරක්ෂණය, වල් මර්දනය, පොහොර යෙදීම ආදී ශෂ්‍ය විද්‍යාත්මක ක්‍රියාකරකම් මැනවින් සිදු කරනු ලබයි.

පැළ තේරීමේ අදියරට පැමිණි විට බීජ පොල් තවාන් දමා මාස පහක් ඉක්මවූ අවස්ථාවේදී පැළ නොවූ සියලුම බීජ පොල් ඉවත් කිරීමත් මාස 7ක් ගත වූ පසු හොදින් නොවැඩුණු පොල් පැළ ඉවත් කිරීමක් සිදුවේ. නිරෝගී හා ඉහළ ඵලදාවක් ලබාදෙන ශාකයක් බිහි වන්නේ ගුණාත්මයෙන් යුතු ඉහළ පැළයක් සිටුවීම මගින් වන නිසා පැළ තේරීම සඳහා විශේෂ අවධානයක් යොමු වේ. පැළ තේරීමේ නිර්ණායක ලෙස මහත් වූ ශක්තිමත් කඳ, පළල් වූ හොදින් විහිදුණු පත්රහ, තද කොළ පැහැති පත්‍ර , කෙටි ශක්තිමත් පත්‍ර වෘන්ත, රෝග පළිබෝධවලින් තොර වීම, තියුණු පත්‍ර නාරටි, පැළයෙහි පත්රෝ 4ක් හෝ 5ක් පැවතීම යනාදිය සලකනු ලබයි.

බදුන් ගත කළ පොල් පැළ නිපදවීමේ ක්රදයාවලියේදී අග්‍රස්ථ අංකුරය පිටතට මතුවන තෙක් (කපුටු හොටයක ප්‍රමාණයටට) බීජ පොල් පූර්ව තවානක තබාගන්නා අතර, පසු කාලීනව වැඩීම සඳහා පොලි බෑග් තුළ බඳුන් ගත කෙරේ. මේ පොලි බෑග් බදුන් පාරජම්බූල කිරණට ප්‍රතිරෝධී කළු පැහැති ග්‍රේ 500 -700 සහිත ඒවා වේ. බඳුන් ගත පැළවල වාසි වන්නේ ක්ෂේත්‍රයේ සිටුවීමේදී මූල පද්ධතියට වන අවම හානිය, ක්ෂේත්යේ පැළ මියයාම අඩුවීම, ඉක්මනින් මල් හට ගැනීමේ හැකියාව පැවතීම ගත හැකිය.

සිටුවා මාස පහකදී ප්‍රරෝහණය පදනම් කරමින් හා මාස 07 දී පැළවල තත්ත්වය අනුව සිදු කරන තේරීම්වලින් පමණක් වගාවේ අස්වැන්න 10%කින් වැඩි කර ගත හැකි බව පර්යේෂණ මඟින් පෙන්වා දී තිබේ. ඒ අනුව අපගේ පොල් පැළ නිෂ්පාදන එම ප්‍රමිතීන්ට අනුකූල වන බව පැකිළීමකින් තොරව කිව හැකි අතර, ඊට අනුකූල නොවන පැළ ප්‍රතික්ෂේප කරනු ලබයි.

මනා සංවර්ධනයක් හා ඒකාකාරී වගාවක් ඇතිකර ගැනීම සඳහා හොඳින් වැඩුණු මාස 7 -10 ක් අතර වයසැති පොල් පැළ ක්ෂේත්‍රයේ සිටුවීම අනිවාර්ය වේ.

සාමාන්‍යයෙන් පොල් වගාවක ඵලදාවේ ඉහළ ප්‍රතිශතයක් ලබාදීම සඳහා දායක වනුයේ, එම වගාවෙන් 30% - 35% ක් පමණ ගස් ප්‍රමාණයක් වන අතර, එම තත්ත්වය මඟ හරවා ඉහළ අස්වැන්නක් ලබා දිමට හේතුවන ප්‍රවේණික ගුණයෙන් යුතු පොල් පැළ සිටුවීම වඩාත් යෝග්‍ය වේ.

වර්තමානයේ පොල් වගාකිරීමේ මණ්ඩලයේ තවාන්වල නිෂ්පාදනය කරන පොල් ප්‍රභේද වන්නේ CRIC 65 (DxT), මොරොක් උස, (MxT), CRIC 60 (TxT) උසස් ශාක පොල් හා තැඹිලි වේ. මෙම පොල් ප්‍රභේද සහනදායී මිලකට අපගේ දිවයින පුරා පවතින තවාන්වලින්, ආදර්ශ පොල් උයන් මඟින්, ප්‍රදේශීය කාර්යාල මඟින් හා ප්‍රධාන කාර්යාලයෙන් ලබාගත හැකි වේ.

වැඩි දියුණු කරන ලද ඉක්මනින් පීදෙන පොල් වර්ග ලෙස හඟවා අධික මිලකට විකුණන ව්‍යාජ පොල් ප්‍රභේදවලට නොරැවටී සාර්ථක මැනවින් නඩත්තු කළ ගුණාත්මක පොල් පැළයක් තෝරා ගැනීමට පොල් වගාකරුවන් වන ඔබ වගබලා ගත යුතුය.

මාස තුනෙන්, හතරෙන් පීදෙන පොල් පැළ ලෙස හදුන්වා වංචනිකව පොල් පැළ අලෙවි කරන පුද්ගලයින්ට නොරැවටී ගුණාත්මක බවින් යුතු පොල් පැළයක් මිලදී ගෙන වගාකිරීමට ඔබ යුහුසුලුව කටයුතු කළ යුතුය.

පුණ්‍යා සමරකෝන්

Comments

පිටු