හොඳ දේට ඇබ්බැහි වුණොත් ප්‍රශ්නයක් නෑ නේද? | Page 4 | සිළුමිණ

හොඳ දේට ඇබ්බැහි වුණොත් ප්‍රශ්නයක් නෑ නේද?

• මිනිස්සු වෙනස් වෙනවා විවිධ විදිහට. බාහිර පෙනුමෙන් සහ අභ්‍යන්තරව. ඔබ මේ දෙවිදිහටම වෙනස් නේද?

ඔව්. මම වෙනස්. මම විතරක් නෙමෙයි අපි සියලු දෙනා එකිනෙකට වෙනස්. ඒ ඇයි දන්නවද? අපි උපදින්නේ ලිංගික ප්‍රජනනයේ ප්‍රතිඵලයක් ලෙසනේ. ලිංගික ප්‍රජනනයේදී පියාගෙන් සහ මවගෙන් එකතු වෙන ඩීඑන්ඒවල මිශ්‍රණයකින් තමයි අපි නිර්මාණය වෙන්නේ. ඒ නිසා අපි හැමෝම බාහිරින් වෙනස්. තවත් පැත්තකින් බැලුවොත් අපි එකිනෙකාගේ හිත හෙවත් චෛතසිකය එකිනෙකාට වෙනස්. ඒ නිසා අපි අභ්‍යන්තරවත් එකිනෙකාට වෙනස්. ගතින් සහ හිතෙන් සමාන දෙන්නෙක් මේ ලෝකේ හොයා ගන්න නැහැ. ඉතින් මම හිතන විදිහ අනික් අයට වඩා වෙනස්. ඒ වගේම අනික් මිනිස්සු හිතන විදිහත් වෙනස්. ඒත් අනික් හැමෝගෙම වෙනස්කම් හොයහොයා හිටියොත් අපේ ජීවිතවල අරමුණු සාක්ෂාත් කරගන්න බැරිවෙනවා. ඒ නිසා මම අනික් අය කරන දේ ගැන වැඩි උනන්දුවක් දක්වන්නේ නැහැ.

• වෙනස් මිනිස්සු දිහා වෙනස් විදිහට මිනිස්සු බලන්නේ ඇයි?

අපි හැමදාම දකින කාක්කා කළු පාටයි. හැබැයි ටිකක් හරි වෙනස් කාක්කෙක් දැක්කොත් අපි හැමෝම ඒ දිහා නැවත නැවත බලනවා. මෙතන සිද්දවෙන්නේ වෙනස් කාක්කා සාමාන්‍ය කාක්කෝ දිහා අමුතුවට බැලීමක් නෙවෙයි. සාමාන්‍ය කාක්කෝ අසාමාන්‍ය කාක්කා දිහා පුදුමයෙන් බැලීමයි. මිනිස්සුත් එහෙමම තමයි.

කපුටෝ විතරක් නෙවෙයි. මිනිස්සුත් බොහෝ ගවේශනාත්මකයි. ඔවුන්ගේ මනස කුතුහලයෙන් පිරිලා තියෙන්නේ. තරමක් හරි වෙනස් දෙයක් දුටු සැනින් ඔවුන් ඒ වෙනස හඳුනා ගන්නවා. ඒ වෙනස හොඳ දෙයක් නම් මිනිස්සු එයට ඇලුම් කරනවා. ඒ වෙනසට කැමති නැති නම් ඔවුන් එයින් අයින් වෙනවා. මනස හැමවිටම සත්‍ය සොයමින් යන්නේ. ඒ නිසා වෙනස් දෙයක් දුටු සැනින් එය ගවේශනය කිරීම මිනිසා ඇතුලු සියලු සතුන්ගේ ස්වභාවයයි.

• මොකුත්ම නොකර නිකං හිටියත් විවේචන එල්ල වෙන සමාජ සමාජයක වෙනස් වෙලා ජීවත් වෙන එක අමාරුයිද?

මට එහෙම නෑ. ගෙදර සමාජය, පවුලේ සමාජය, පරම්පරාවේ සමාජය, ගමේ සමාජය, වැඩකරන තැන සමාජය, හවසට සෙට් වෙන සමාජය ආදී වශයෙන් විවිධ විදිහේ සමාජ නිර්මාණය කරගන්න පුළුවන්. ඒ නිසා වෙන්නේ ගමනට බාධා වෙන එක පමණයි. වැඩක් නැති දෙයින් බාධා පනවා ගන්න මම කැමති නැහැ. මට වැඩක් තියෙන්නේ මම මගේ අරමුණු සාක්ෂාත් කර ගන්නවාද නැද්ද කියන එක පමණයි.

• වෙනස් වෙන්න ගත්තේ කොහොමද?

මම මගේ මනසින් දෙන පණිවිඩවලට නිතරම සවන් දෙන කෙනෙක්. වෙනත් විදිහකට කියනවා නම් මම අහන්නේ මගේ මනස විසින් මට දෙන අවවාද අනුශාසනා විතරයි. පුංචි කාලේ ඉඳලා මට කවුරුවත් අවවාද, අනුශාසනා දුන්නේ නැහැ. මගේ අම්මා සහ තාත්තා මට නිතරම නිදහස දීලා තිබුණා. ඒ නිසා මම නිතරම මට ඕනේ දේ කළා. වෙනස් දේවල් කරන්න මට පුළුවන් වුණේ මට නිදහස ලැබුණු නිසයි. මාව වහලෙක් බවට පත් නොකළ නිසයි. දෙමවුපියන්ගේ නිවැරදි කාර්ය භාරය විය යුත්තේද එයයි.

• උපාධි, ඩිප්ලෝමා, තව තව සහතික ආබරණ කරගෙන බෙල්ලේ එල්ලාගෙන ඉන්න මිනිස්සු ඉන්න රටක ඔබ ගැන කිව්වොත්

ඒවා බෙල්ලේ එල්ල ගත්තට දිළිසෙන්නේ නැහැ. දිළිසෙන්නේ වෙනස් දෙයක් කළොත් විතරයි. වැඩිය හොඳට දිළිසෙන්නේ ඒ කරන දේවල්වලින් සමාජයට යහපතක් වෙනවා නම් විතරයි.

• ඔබගේ අධ්‍යයනය වෙනස්. ඇයි එහෙම දෙයක් කළේ?

මම මේ අධ්‍යයනය කළේ කැපී පෙනීමේ අරමුණෙන් නෙවෙයි. මගේ හිත විසින් මාව යොමු කළා එවැනි දෙයක් කිරීමට. මගේ හිත විසින් දුන් අවවාද අනුශාසනා ඔස්සේ මම ක්‍රියාත්මක වුණා. අධ්‍යයනය අවසාන වුණේ මා විසින් සෙවූ කරුණු ලේඛනගත කළාට පස්සේ. එම ප්‍රධාන ලේඛණය මුද්‍රණය කළාට පස්සේ සමාජය කිව්වා මම කරපු වැඩේ වෙනස් දෙයක් කියලා.

• ඔබගේ හැදැරීම නිසා කංසා ප්‍රමෝට් වෙනවා නේද? එහි සමාජීය බලපෑම් නැද්ද?

මගේ හැදැරීම නිසා සත්‍ය හෙළි වුණා. ඒ නිසා අනිවාර්යයෙන්ම සමාජ බලපෑමක් සිදු වෙනවා. සත්‍ය හෙළි වූ විට සමාජයේ වෙනස්කම් සිදු වෙනවා. මේ වෙනස නිසා වඩා යහපත් ප්‍රතිඵල උදාවේවි. කංසා ප්‍රමෝට් වුණොත් මානව සමාජය පමණක් නොවෙයි, පරිසරයත් සුරැකේවි. මේ වෙනකොට ලෝකයේ රටවල් 40ක කංසා ප්‍රමෝට් කරලා තියෙන්නේ. ඒවා කරන්න මූලික අඩිතාලම දැම්මෙත් බොහොම වෙනස් මිනිස්සු. දැන් ඒ රටවල ආණ්ඩු විසින් මිනිස්සුන්ට කංසා වගා කිරීමේ සහ එයින් ප්‍රයෝජන ගන්නා ආකාරය ගැන දැනුවත් කිරීමේ වැඩසටහන් කරනවා.

• ඔබ කංසා පානය කරලා තියෙනවද?

පානය විතරක් නෙවෙයි මම විවිධ විදිහට කංසා භාවිත කරලා තියෙනවා. කංසා අඩංගු රසකැවිලි කාලා තියෙනවා. කංසා ඇටවලින් ලබා ගත් තෙල්වලින් පිසූ ආහාර කාලා තියෙනවා. කංසා ඇටවලින් ලබා ගත් පිටිවලින් සෑදූ බේකරි ආහාර අනුභව කරලා තියෙනවා. කංසා අඩංගු ‍‍ඖෂධ පානය කරලා තියෙනවා. කංසා තන්තුවලින් වියූ රෙදිවලින් මැසූ ඇඳුම් ඇඳලා තියෙනවා. කංසා ඇටවලින් ලබා ගත් තෙල් පදනම් කරගෙන නිපදවූ සබන්වර්ග පාවිච්චි කරලා තියෙනවා.

විශ්ව විද්‍යාල සිසුන්, කලාකරුවන්, ආරක්ෂක අංශවල ඇතැම් දෙනා ඇතුළු සමාජයේ විවිධ තරාතිරම්වල විවිධ පුද්ගලයන් කංසා පානයට ඇබ්බැයි වෙලා ඉන්නවා. එහෙත් එය නීතියෙන් තහනම්.

හොඳ දේට ඇබ්බැහි වුණොත් ප්‍රශ්නයක් නෑ නේද? මේ වර්තමානයේදී අපේ මිනිස්සු බොහෝ දේවල්වල‍ට ඇබ්බැහි වෙලයි ඉන්නේ. සමහරුන්ට රූපවාහිනිය නැතිව බැහැ. සමහරුන්ට ටෙලි නාට්‍ය නොබලා බැහැ. සමහර ළමයින්ට දවස් 40න් නිපදවන කුකුළුමස් නැතිව බත් කන්න බැහැ. සමහරු පරිප්පු නැත්නම් බත් කන්නේ නැහැ. සමහරුන්ට හවසට අරක්කු බොන්නම ඕනේ. තවත් සමහරුන්ට පිළිකා සාදන සිගරට් නැතිවම බැහැ. මේ හැමෝම විවිධ දේවලට ඇබ්බැහි වෙලයි ඉන්නේ‍. සිගරට්, අරක්කු සහ බ්‍රොයිලර් කුකුලන්ගේ මස් ඉතාම භයානකයි. ඒත් ඒවා නීතිගත පාරිභෝගික භාණ්ඩ. හොඳ දේ තහනම් කරලා නරක දේ විකුණන නීතිය දැන් වෙනස් කළ යුතුයි.

• පෞද්ගලික ජීවිතයේදීත් ඔබ වෙනස්ද?‍

නැහැ. මම සාමාන්‍යයි. මම මේ ජීවිතේ ලබා ගත්තේ, ඒ කියන්නේ මම ඉපදුණේ මගේ අරමුණු සාක්ෂාත් කරගන්න. ඉතින් මම ඒ ගමන යනවා. මම අනික් මිනිසුන්ගේ අරමුණුවලට බාධා කරන්නේ නැහැ. ඉතින් මම සාමාන්‍යයි. දැනට මම රජරට විශ්වවිද්‍යාලයේ ජ්‍යෙෂ්ඨ කතිකාචාර්යවරයකු ලෙස සේවය කරනවා.

• වයස කීයද?

52යි. තව ටික කාලයයි තියෙන්නේ. ඒ කාලය ඉවර වෙන්න කලින් කළ යුතු තවත් වෙනස් වැඩ කිහිපයක් තියෙනවා. ඒ ටික කරන්න සූදානම් වෙනවා.

• ත්‍රෛලෝක්‍යවිජයා පත්‍රයෙන් නවතින්නද කල්පනාව?

ත්‍රෛලෝක්‍යවිජයා නිසා විශ්වයේ නිර්මාණයේ සිට මේ දක්වා සිදු වූ විකාශනයේ වෙනස මට අවබෝධ කරගන්න පුළුවන් වුණා. දැන් මම මගේ සිරුරේ සහ මනසේ නිර්මාණය පිළිබඳව අව‍බෝධ කර ගැනීම පිණිස අධ්‍යයනය කරනවා. එම තොරතුරුත් ලේඛනගත කරන්නයි හිතන් ඉන්නේ. මුද්‍රණය කරන්න පුළුවන් වුණොත් ඒකත් වෙනස් වැඩක් වෙයි.

• වෙනස් මිනිස්සු ලෝකය වෙනස් කරනවා නේද?

හපොයි ඔව්. සමාජය නැමති බාධාව ඉවත් කරගෙන හැම දෙනා විසින්ම, ඒ කියන්නේ තමන්ට ඕනේ විදිහට තමන්ගේ ජීවන අරමුණ කරා ගමන් කළ යුතුයි.

සංවාදය - ටිරෝනි වෑවලගේ

Comments