
ගරු මර්සලින් ජයකොඩි පියනම
එවකට ශ්‍රී ලංකා මහජන පක්ෂයේ නායක හා එක්සත් සමාජවාදී පෙරමුණේ ජනාධිපති අපේක්ෂක ජනකාන්ත නළු, ගායක විජය කුමාරතුංගයන් වෙඩි තබා ඝාතනය කෙරුණේ 1988 පෙබරවාරි 16 වැනිදා ය. පෙබරවාරි 21 වැනිදා ලක්ෂ සංඛ්‍යාත ජනකායකගේ සෝබර සහභාගිත්වයෙන් විජයගේ දේහය පිළිබඳ අවසන් කටයුතු කොළඹ නිදහස් චතුරශ්‍රයේදී සිදු කෙරුණි. ගරු මර්සලීන් ජයකොඩි පියතුමා සමස්ත ලංකා කවි සම්මේලනය වෙනුවෙන් එදා ඒ අවමඟුල් උලෙළ ඇමතුවේ විටින් විට නැඟුණු කඳුළු අතරිනි. සිය දුක්බර කතාව අවසානයේ එතුමා විජය ගැන කවි දෙකක් ද කීය. විජය කුමාරතුංගයන් ගැන ගරු පියතුමන් දැක්වු අදහස් කීපයක් 1988 අප්‍රේල් 01 වැනිදා නිකුත් වූ ‘සත්සර’ සංගීත පුවත්පතට ආනන්ද පද්මසිරි විසින් “කවුද කියන්නේ විජේ මළා කියල...” යන හිසින් මෙසේ ලියා තිබේ. ගරු මර්සලීන් ජයකොඩි පියතුමන් විජය ගැන තම හදවතින් නැඟුණු සෙනෙහස් හැඟුම් මේ ලිපිය වෙනුවෙන් පවසා ඇති අතර විජය අවමඟුලේ කළ කතාව හා කවි දෙකද සිහිපත් කර ඇත...
කලාව මගින් සිදු කෙරෙන්නේ ලෝකයේ ඇති සුන්දර දේ මවා පෙන්වීමයි. එය කඨෝර මාධ්‍යයක් නොවේ. කුණුරොඩු ගොඩක් පිළිබඳ ව පවා ලස්සනට විස්තර කළ හැකියි කලාවෙන්. ලෝකයේ ලෝකයේ ඇති සුන්දරත්වය එසේ අනෙක් අයට මවා පෙන්වන පුද්ගලයා කලාකරුවායි. ඒ අර්ථයෙන් ම ඔහු සුවිශේෂ පුද්ගලයෙක්.
කලාකරුවෙක් කිසියම් ප්‍රතිමාවක් නිර්මාණය කරන්නේ යැයි සිතමු. ඔහු එය මවන්නේ මූලික ව තම සිත තුළ මවාගත් ‘මනස් චිත්‍රයක්’ අනුවයි. එක්තරා ආකාරයකින් ප්‍රතිමාව වන්නේ එ් කලාකරුවාගේ සිතයි. කලාකරුවාගේ සිතුවිල්ලයි. ප්‍රතිමාවලට වැඳුම් පිදුම් කිරීම සාමාන්‍යයෙන් විවිධ රටවල ජනතාව අතර ප්‍රචලිත දෙයක් බව අප දන්නවා. මගේ අදහස නම් එසේ වැඳුම් පිදුම් ලබන්නේද කලාකරුවා ම බවයි.
මෙවන් සුවිශේෂ පුද්ගලයෙක් වන කලාකරුවා කිසියම් නිර්මාණයක් කරන කරන වාරයක් පාසා නව ජීවයක් ලබනවා. ඔහුගේ නිර්මාණ සදාකාලිකයි. එබැවින් කලාකරුවා මරණයට පත් කළ නොහැකියි.
විජය කුමාරතුංග කලාකරුවා සම්බන්ධයෙනුත් මේ කරුණු සත්‍ය වෙනවා. කලාකරුවෙක් හැටියට ඔහු සිය රංගනයෙන් හා ගායනයෙන් ලෝකයාට සුන්දරත්වය මවා පෑමේ කාර්යය මැනවින් ඉටු කළා. එබැවින් විජය කුමාරතුංග යනු සැබෑ කලාකරුවෙක්. ඔහු සමඟ බෙහෙවින් සමීපව ඇසුරු කරන්නට මට අවස්ථාව ලැබී නෑ. එහෙත් සැබෑ කලාකරුවකු සතු විය යුතු උත්තර මානව ගුණංග ඔහු තුළින් විද්‍යමාන වූ බව මා දන්නවා. සැබෑ කලාකරුවා නිහතමානී විය යුතුයි. විජය කුමාරතුංග නිහතමානීත්වය අතින් ඉතා ඉහළට ගිය පුද්ගලයෙක්. ඔහු මේ තරම් ජන ප්‍රසාදයක් දිනා ගැන්මට පවා හේතු වූයේ ඔහු කෙරෙන් නිරතුරුවම දකින්නට ලැබුණු නිහතමානීත්වයයි. ඒ හැරුණු විට අගය කළ හැකි මානව ගුණාංග රැසක් ඔහු තුළින් කැපී පෙනුණා. “කරන දේ නිවැරදිව කළ යුතු” බව මා කාටත් කවදත් කියන දෙයක්. කලා මාධ්‍යයන්ට පවා එය සාධාරණ කියමනක්. ඒ අනුව බැලුවත් විජය කුමාරතුංග තමන්ට කළ හැකිව තිබුණු දේ ඉතාමත් හොඳින් ඉටු කළ කලාකරුවෙක්. කලාකරුවා මරන්නට බැරි නියාමය අනුව, විජය කුමාරතුංග කලාකරුවාද, මරා දැමිය නොහැකියි. ඔහු මරණයෙන් මරණයට පත් නොවන, එනම් අමරණීයත්වයට පත්වී හමාරයි. කලාකරුවකු මරා දමන තැනැත්තාමයි මැරෙන්නේ; මැරි මැරී උපදින්නේ.
විජය කුමාරතුංග ගායන ශිල්පියා ම විසින් ලියැවුණු එක ම එක ගී පද රචනයකට ජීවය දුන්නා. ජනාධිපති නිතීඥ අර්ඩ්ලි පෙරේරාගේ බිරිය වන ෂර්ලි පෙරේරා ගී ගැයු කැසට් පටයකට ඇය සමඟ ඒ යුග ගීතය ගායනා කළේ විජය කුමාරතුංග. ඔහුගේ සුවිශාල ගායන හැකියාව මා තේරුම් ගත්තේ එ් අවස්ථාවේදී. රංගනයෙන් මෙන්ම ගායකයෙක් හැටියට ද ඔහුට මනා නිපුනත්වයක් තිබුණා.
විජය කුමාරතුංගගේ ආදාහන කටයුතු සිද්ධ වුණ අවස්ථාවේදී ම විසින් කෙරුණු කතාව හා කවි යුගල මෙහි සඳහන් කරන්න මා කැමතියි. මගේ පනස් වසරක කලා ජීවිතයේදී කොළයක් බලාගෙන කතාවක් කළ එක ම අවස්ථාව විජය ආදාහන උලෙළයි. ඉතිහාසගත වන්නා වූ ජන සමුහයක් හමුවේ කෙරෙන කතාව පූර්ව සූදානමක් සහිතව ගෞරවාන්විතව කිරීමේ අරමුණ ඇතිවයි මා එසේ කළේ. ඒ කතාව සහ කවි යුගලය මෙසේයි...
මේ උදාර උත්තම ජන හමුවෙන් මට අවසර;
කලාවේ හදවත වන කවියේ නාමයෙන් එනම් සමස්ත ලංකා කවි සම්මේලනයේ නාමයෙන් මා මේ දුක්බිමට පැමිණෙන්නේ මේ මහා මුළුව අමතන්න නොවේ. මගේ හිතවත් විජයට කලාවේ නාමයෙන් හුදෙකලා පණිවුඩයක් දීම සඳහා ය.
විජය! ඔබ අග්‍ර ගණයේ නළුවෙකි. එය කියන විට මට මතක් වෙනවා ලෝකයේ ඉහළ ම නාට්‍යකරුවා වශයෙන් සැලකෙන පඬුවා, නළුවා ගැන යමක් ලියා තිබෙන බව. ඒ මෙසේයි.
“මුළු මහා ලොව ම රඟමඬලකි. සියලු මිනිසුන් හා ගැහැණුන් හා හුදු නළුවෝ ය. පිට වීමක් ද ඇතුළු වීමක් ද එයට ඇත. එක් අයෙක් තමාගේ කාලයේදී චරිත කිහිපයක් නිරූපනය කරයි” යනුයි.
ඔව්. විජය මේ මහා රඟ හලට ඔබ ඇතුළු වුණා. චරිත රැසක් නිරූපණය කළා. ඔබේ රටට කීර්තියක් ගෙනාවා. පිට වුණා. එහෙත් කවුද කියන්නේ ඔබ අපවත් වුණා කියා ? මළා කියා ? මරනු ලැබූවා කියා ? කිසිම කිසි කෙනෙකුට කලාකරුවන් මරන්නට බැහැ. කලාකරුවා අමරණීයයි. ලෝක ඉතිහාසයේ ඕනෑම කලාකරුවකු ගැන සිතන්න ඔහු ජීවත්ව සිටි කාලයට වඩා නැති කාලයේදී ජීවත් වෙනවා.
ඔබ මැරුවාය; මැරුණාය කියා අපව රවට්ටන අය ඔබට අමරණීය භාවය දුන්නා පමණි. මිනීමරුවා මැරෙනවා. කලාකරුවා ජීවත් වෙනවා. මෙයයි මගේ පණිවුඩය .
දැන් මා ඔබේ නෑදෑයන් කෙරේ මොහොතකට හැරෙනවා. අම්මා, අප්පා, දයාබර බිරිය පුතා, දුව, මාමා, බෑනා... ඔබේ විජය! දැන් ජාතියේ වීරයෙක්. වෙන කිසිවකුට ඒ ගෞරවය ලැබී නෑ. එහෙයින් සැනසෙන්න. විජයගේ ලෙයින් තෙමුණු බිමේ දිනෙක රෝසමල් පොපිමල් පිපේවී.
විජය ඔබේ නම සකල ජනයාගේ ආශිර්වාදය ලැබ සදා පවතීවා!
අවසාන කොට ඔබ වෙනුවෙන් අප සම්මේලනයේ ‘කවියා’ පත්තරයේ කවි අතිරේකයට මා ලියු කවි දෙකක් මේ හුදෙකලා උපහාර පණිවුඩය ඉවර කරන්නම්.
අහෝ!
අහෝ ඇත්තට අනේ ඇත්තට
සරස්වතියේ කිමද වෙන්නේ
අහෝ ඇත්තට අනේ ඇත්තට මෙයද ජීවිතයයි කියන්නේ
මලක් වාගේ අද පිපෙන්නේ
සවස් වනු පෙර පෙති හැලෙන්නේ
වාසනාවට තම ගොදුර නොව මිනීමරුවාමයි මැරෙන්නේ
විජය ඔබ අද වීරයෙක්මයි
ලෙයින් ඔබෙ නම ලියවිලා ඇත
ඊයෙ පොදු ඔබ දෙවි කුලෙයි අද
කියා සඳහන් කරයි රන් පොත
සහාසිකයා අළුවෙලා යයි ඔබට ඉතිහාසය බඳී කොත
සොබාදහමේ අණසකයි එය
වරද කිසිදින ජය අරන් නැත.
විජය! ඔබට ජය ශ්‍රී!