ලොවම නිවාලන දින 7 | සිළුමිණ

ලොවම නිවාලන දින 7

 මිහිකත සියලු සත්වයින්ගේ සොඳුරු නවාතැනක් කරන අටියෙන්, ලෝකය පුරා මිනිසුන් එළැඹෙන නව වසරේ දහසක් පැතුම් අතරින් “අධ්‍යාත්මික සුවය” වෙනුවෙන් සිත් යොමුකරන්නට පෙලඹී තිබේ. නව වසරේ පළමු දිනයේ පටන් දින හතක් සොබාදහම හා යා වන්නට, ජීවන ගමනේ විඩාව ගැන මඳක් සිතන්නට, සිත් පහන් කරන සොබාසිරි දෙස මොහොතක් නෙතු යොමු කරන්නට හා යාන්ත්‍රික ලෝකයෙන් එපිට ඇති අති සුන්දර කාරුණික ලෝකය විනිවිද දකින්නට 2019 ජනවාරි පළමුදා සිට හත්වනදා තෙක් කාලය මුළු මහත් ලෝකවාසීන් විසින් වෙන්කරගෙන තිබේ.

අධි තාක්ෂණය හා අධි පරිභෝජනවාදී අපේ කාලයේ මිනිසුන්ගේ “ජීවන ක්‍රමය” තවදුරටත් මිහිමවට දරා ගත නොහැකි තරම්ය. අද මිනිසා ක්‍රියාකරන්නේ අත්තනෝමතික සහ ඉතාමත් අසංවේදී ලෙස බව කවුරුත් අවිවාදයෙන් පිළිගනිති. එවන් තත්ත්වයක් තුළ ලෝවාසීන්ට මිහිකත සනහාගැනීම අතහැරී ගොස් බොහෝ කල්ය. එහෙයින් ආදරය, කරුණාව සහ මෛත්‍රියමත පදනම් වූ ලොවම සුවපත් කරන ජීවන මාදිලියක් කඩිනමින් තනා ගැනීමට කාලය පැමිණ තිබේ. ඒ සඳහා ලෝකය පුරා සිටින මනුෂ්‍යත්වය ගැන සංවේදී, සොබා දහමට ගෞරව කරන්නා වූ ප්‍රඥාවෙන් අවදි වූ සියල්ලෝ එකවිය යුතුය. එක් ධජයක් සෙවණේ සිට එනම්, එක් සෞම්‍ය ජීවන ප්‍රතිපදාවක් හා බැඳී මිහිකත සුවපත් කරන අධිෂ්ඨානය වෙතට යා යුතුය. “ලොවම නිවාලන දින හත” ඒ සඳහා ශක්තිමත් ආරම්භයකි. ගෝලීය වශයෙන් ලෝකවාසීන් අරඹන මෙම මෛත්‍රී සහගත වැඩසටහනේ, ශ්‍රී ලාංකික අපද පෙරගමන්කරුවන් වීමේ අභිමානයෙන් ලක් මාතාව සැනසුම් සුසුම්ලනු අපට ඇසෙන්නේය.

ලොවම සුවපත් කරන දින හත ඇරඹෙන්නේ මුළු විශ්වයටම මෙත්සිත් පතුරන අධිෂ්ඨානය පෙරදැරි කරගෙනය. භාවනා ගුරුවරුන් ආධ්‍යාත්මවේදීන් එක්ව ලොවටම ආධ්‍යාත්මික ශක්තිය විසුරුවා හරින්නට සියල්ලන් එක්වීම එක්තරා ආකාරයකට භාවනාවකි. එක හදක්, එක හඬක්, එක සිතක් එකට එක්වී කරන අධ්‍යාත්මික බලයක් ගොඩනැඟීමට සියලු ශ්‍රී ලාංකිකයින්ට එක්වීමට ආරාධනා කරන්නේ මහපොළොවේ සියලු සත්ත්වයන්ටත්, ගහකොළ සොබා දහම කෙරේත් අපමණ ස්නේහයෙනි.

අද සමාජයේ යහ පැවැත්මට බාධා කරන මනුෂ්‍යායාගේත් පරිසරයේත් පැවැත්ම අභියෝගයට ලක් කරන දෑ බොහෝය. තණ්හාව ලක්ෂය කරගත් අධිපරිභෝජනවාදී වූ, යාන්ත්‍රික වූ සැප වෙනුවෙන් දුක් විඳින සමාජය තුළ නිරන්තරව අහන්නට දකින්නට ඇත්තේ ළමා අපචාරය, කාන්තා හිංසනය, මනුෂ්‍ය ඝාතනයන්ය නැතහොත් මහමඟ නොහික්මුණු රියදුරන්ගේ නාමයෙන් වන අනතුරුය, හොරකමය. බුදුන් වදාළ ධර්මයේ ඇති අවිහිංසාව වැඩීමෙන් මිස සියලු සත්වයින්ගේ ජීවත්වීමේ අයිතිය වෙනුවෙන් පෙනී සිටිය නොහැකිය. මේ සියල්ල පෙරදැරි කරගත් ශ්‍රී ලාංකිකයින් විහාරමහාදේවී උද්‍යානයේ සිට නව වසරේ පළමු දින “ආධ්‍යාත්මික සුවය” වෙනුවෙන් මහපොළවෙන් ඉඩක් වෙනුකරගනු ඇත.

2019 වසරේ දෙවන දිනය සැරසෙන්නේ නිකසළ දේශයක් වෙනුවෙන් කැපවීමටය. සියල්ලන්ගේම මැදිහත්වීමෙන් අප අවට මුළුමහත් පරිසරයම නිකසළ කිරීමේ අපූර්ව වෑයම එදින තේමාවය. කුණු කඳුවලට යට වී ජීවිත මිලින වන රටක වැසියන් වශයෙන් අපගේ මේ වසරේ පැතුම නිකසළ දේශයක් වීම ආගන්තුක නොවේ යැයි සිතමු.

ගෝලීය වශයෙන් කසළ උත්පාදනය වැඩි වී ඇති අද කාලේ, කසළ අර්බුධය අපේ රටට පමණක් ආවේණික වූවක් නොවේ. හැම වසරකම අප්‍රේල් 22 දිනය යෙදෙන“ලෝක පෘථිවි දිනය” සමරමින් ගෙවෙන වසරේ බලවතුන් ප්‍රකාශ කර ඇත්තේ, බොහෝ රටවල කසළ කළමනාකරණය උත්සන්න වන භයංකර ප්‍රශ්නයක් බවට පත් වෙමින් තිබෙන බවකි. ලෝක බැංකුව සිදුකර ඇති ගණන් බැලීම්වලට අනුව, 2025 වසරේදී ලෝකයේ කසළ ටොන් බිලියන 2.2 ක් උත්පාදනය කෙරෙනු ඇත. මෙම ගණන් බැලීම්වලට අනුව පරිසර දූෂණය හෙට ලෝකය අරක්ගනු ඇත. ලෝවාසීන්ගේ මනා සෟඛ්‍යයද අනතුරේ හෙළන “කසළ අර්බුධය” සංදර්ශනාත්මක සංවර්ධනයේ දිශානතිය වෙනස් කළ යුතු බව මෙහිදී ලෝ වැස්සන්ට සිහිකැඳවීම සිදු වේ. එමඟින් අපේක්ෂා කරන්නේ නව වසර එළැඹෙන මොහොතේ පටන් කසළ අවම “නව ජීවන විලාසිතාවකට” රටවැසියා කැඳවා යාමයි.

ජනවාරි තුන්වන දිනට යෙදී ඇත්තේ කෝටි දෙකක තුරු ලතා සිටුවන අපේක්ෂාව පෙරදැරි කරගත් රුක් රෝපණ දිනයයි. අපි සැවෙම එක්වී තම තමන් එක පැළයක් රෝපණය කිරීමෙන් මිහිමවගේ උත්කර්ශය සියලු සත්වයින්ට දැනනෙන්නට ඉඩ හැරිය හැකිය. සංවර්ධනයේ නාමයෙන් අභියෝගයට ලක්වන සොබාදහමේ පැවැත්මට සංවේදීව රටවැසි හැමට පැළයක් සිටුවා රටම තුරු සෙවණක් කරවීමට ආරාධනා කිරීම මෙහිදී සිදුවෙයි. රට පුරා බෝහෝවිට සිදුවන රුක් රෝපණ ප්‍රෝඩාවන්ට එදිරිව යමින් මුළු මහත් විශ්වයේම සුභසෙත අධිෂ්ඨාන කරමින් පැළයක් සිටුවා මෙත් වඩන දිනය එදිනට යෙදී තිබේ.

ජනවාරි හතර වන දින පවුලේ සංහිඳියාව, රූපවාහිනී ගුවන්විදුලි සමාජ මාධ්‍යය නිෂ්ක්‍රීය වූ දෙමවුපියන් දරුවන් අතර සබඳතාවය සමඟ පවුලේ සංහිඳියාව ගැන සැලකිලිමත් වීම ගැන උනන්දු වෙයි. රූපවාහිනී, ගුවන්විදුලි, සමාජ මාධ්‍ය නිෂ්ක්‍රීය වූ මොහොතක් ගැන මොහොතකට සිතන්න. පවුලේ එකිනෙකා අතර ජීවත් වන අවට පරිසරය ගැන සංවේදී වන එවන් මොහොතක ආශ්චර්ය විඳින්න අනිවාර්ය කිරීම “ලොවම නිවාලන දින හත” වැඩසටහනේ අංගයකි. පවුලේ, ගමේ, රටේ සංහිඳියාවේ දොරටු එතැන් පටන් විවර වනු ඇත. එවන් අසිරිමත් මොහොතකට ඉඩක් සියලු මනුෂ්‍යයින්ගෙන්, මනුෂ්‍යයින් විසින්ම ඉල්ලා සිටීම මෙදින සිදුවනු ඇත.

අනෙක් අතට, දුප්පතුන් සඳහා කැපවෙමු, රට වෙළාගත් දුගී බව හඳුනා ගනිමු යන්නයි. ඒ අය සඳහා පිහිටවෙමු. දුගීබව නැතිකරන මං හොයමු. ජනවාරි මස පස්වන දින පණිවිඩය එයයි. දුගීකම යනු ජීවන තත්ත්වයේ අවම බව හෝ ජීවත් වීමට අත්‍යවශ්‍ය භෞතික පහසුකම් නොමැතිකම හෝ නොතිබීමයි. දුගීකම සමාජ ප්‍රශ්නයකි. දුප්පත්කම සිතියමෙන් මකා දමන්නට එදා මෙදා තුර වෙරදැරූ බොහෝමයක් අය ධනයෙන් ආඪ්‍ය වුවද මානසික අභිලාෂයන් හමුවේ පරාජිත විය. බුදුන් වදාළ ධර්මයේ සඳහන් වන ආකාරයට ධනය යන්නෙන් ධන ධාන්‍ය මිල මුදල්, ගෘහ වස්තුන්, මහපොළව හා වනාන්තර ඇතළු ගහකොළ තුරුලතා වන සතුන් පරිසර සම්පත් පමණක් නොව මානසික අභිලාෂයන් හා මානසික තෘප්තිය ද ඇතුළත් වෙති. ඇත්තවශයෙන්ම, කාමභෝගී ලෝවැස්සාගේ ලෞකික දිවි පැවැත්මට ධනය අත්‍යවශ්‍යය අංගයකි. රටේ ආර්ථිකයේ කොඳු නාරටිය වන් “ගොවිතැන” පරිසරයේ මෘදුබව රකිමින් මනුෂ්‍යාගේ ජීවිතාශාවට උඩගෙඩි දෙයි. දුප්පත්කමට සංවේදී වෙමින් “ගොවිතැන” වෙනුවෙන් ක්‍රියා කිරීමට මෙදින කටයුතු කෙරේ.

කාබන් දහනය මොහොතකට නවතා, බයිසිකලයෙන් සැරසෙමු යනුවෙන් ජනවාරි හය වන දින තේමාව සකස් වී තිබේ. දුර ගමන් පොදු වාහනවලින් යාමත්, බයිසිකලයෙන් දවසක් ගත කර වායු දුමෙන් තොර තදබදය නැතිකර සහනශීලී දවසක් සඳහා කැපවෙමු යන්නත් තේමාව කරගත් ජනවාරි හයදා සැබැවින්ම සියලු දෙනාගේ මානසික නිදහස වෙනුවෙන් වෙන්වූවකි. පරිපූර්ණ අධ්‍යාපනය සහ සංස්කෘතිමය දිනය අවසන් දවස සංගීතය, සාහිත්‍යය, සිනමාව සහ අනෙකුත් කලාවන් යහපත් හෙට දිනක් වෙනුවෙන්ය යන්න පසක් කරන්නකි.

පවිත්‍රා රූපසිංහ

Comments