චෙස් හුරුවෙන් පිතිකරුවන් අමාරුවේ දාන පාපන්දු ලෝලියා | සිළුමිණ

චෙස් හුරුවෙන් පිතිකරුවන් අමාරුවේ දාන පාපන්දු ලෝලියා

අඩි පහමාරට මඳක් උස කෙසඟ ක්‍රීඩකයෙක් පසුගියදා නිමවූ ඉන්දු - ශ්‍රී ලංකා එක්දින ක්‍රිකට් තරගාවලියේදී ශ්‍රී ලංකා බලාපොරොත්තු අඹරා දැමීමට පෙරමුණ ගත්තේය. ඒ දෙවැනි හා තෙවැනි එක්දින තරගවල දී ශ්‍රී ලංකා පිතිකරුවන් අසරණ කරමින් ඉන්දීය කණ්ඩායම තරගය තුළට ගෙන එමිනි. ධරම්ශාලාහිදී පන්දුව අල්ලන්නවත් අවස්ථාවක් නොලද ඔහු එහි වාඩුව දෙවැනි හා තෙවැනි තරගවලදී ලබා ගත්තේ ශ්‍රී ලංකාව එක්දින තරගාවලි ජයක් සොයමින් සිටින මොහොතකදී වීම අපට වඩාත් විශේෂිතය. කිසිදු අනුකම්පාවකින් තොරවූ ඔහුගේ හැසිරීම වඩාත් භයානක ලෙස සැලකෙන්නේ එහි පවතින නිහඬ බව හා අතිශය ඉවසිලිවන්ත ස්වරූපය හේතුවෙනි.

ශ්‍රී ලංකාව හා ඉන්දියාව අතර පැවැති පළමු පන්දුවාර විස්සයි විස්ස තරගයෙන්ද ඔහුගේ පන්දුයැවීම දැවැන්ත ජයග්‍රහණයක් හිමිකර දුන්නේය. එය එසේ මෙසේ ජයගැනීමක් නොව පන්දුවාර විස්සයි විස්ස ක්‍රිකට් තරගයකදී ඉන්දියාව හිමිකරගත් සුවිශාලම ජයග්‍රහණය ලෙසය. එකී ජයග්‍රහණය ඉන්දියාව වෙත දිනාදීමේදී මූලිකත්වය ගත්තේ සිරුරෙන් කුඩා පුංචි කොල්ලා යුෂ්වේන්ද්‍ර චාහල්ය. පන්දුවාර විස්සයි විස්ස තරග 13කට පමණක් තවමත් ක්‍රීඩා කර ඇති චාහල් තමන් කොතරම් පළපුරුදු ක්‍රීඩකයකුද යන්න ලෝකය ඉදිරියේ නිහඬව ප්‍රකාශ කළේ ඒ වෙනුවෙන් තරගයේ වීරයා සම්මානයෙන්ද පිදුම් ලැබූ ඔහු සම්බන්ධයෙන් ඔබ නොදන්නා කතාවලින් මෙම ලිපිය සංගෘහිත වෙයි.

‘මම කැමතියි කැත්‍රිනා කයිෆ්ට. ඇයගෙ සිනහව මාව ප්‍රමෘදිත කරනවා. ‘ ඔහු කියන්නේ සැහැල්ලුවෙනි. චාහල්ගේ එම ප්‍රකාශය නිකම්ම නිකම් ප්‍රකාශයක් නොවේ යැයි අපට සිතේ. එහි කිසියම් ගැඹුරක් තිබෙන්නට පුළුවන. අපට එසේ සිතෙන්නේ ඔහු ක්‍රීඩා පිටියේ දක්වන නිහඬත්වයේ වෘතය හේතුවෙනි. එවැන්නෙක් ලෙහෙසියෙන් හිතළුවට කතා කියන්නේ නැත. සමස්ත ඉන්දියාව මතු නොව මුළු ලෝකයම එය නිකමට කියූවක් නොවන වග පිළිගන්නා සෙයකි. ඒ ඔහු මානසික ගැඹුරක් ඇති මිනිසකු ලෙස සමස්ත ලෝකයම පිළිගන්නා හෙයිනි. එලෙස පිළිගන්නේ අන්කිසිවක් නිසා නොවේ. ඔහු මීට පෙරසිටම ලෝකයේ ගෞරවාදරය දිනාගැනීම ආරම්භ කළ මිනිසකුවන හෙයිනි. ඒ චෙස් ක්‍රීඩකයකු ලෙසය. ලෝකයේ චෙස් ක්‍රීඩකයන් අතුරින් යොවුන් තරුවක් ලෙස ඔහු ඉන්දීය අහසට ඉහළින් පායා ආවෙකි.

යුෂ්වේන්ද්‍ර චාහල් චෙස් ක්‍රීඩා කළේ නම් මේ වනවිට විශ්වනාත් ආනන්ද් ඔහුගේ පසමිතුරා වන්නට ඉඩ තිබිණි. එහෙත් මුදල් ඔහුව දෙමංසලක් අභිමුවට කැඳවාගෙන පැමිණියේ දෛවෝපගත ලෙසිනි. ඒ කැඳවාගෙන ඒම ක්‍රීඩා ලෝලීන්ට නම් කළේ යහපතකි. නිහඬ ක්‍රීඩාවක් ලෙස සැලකෙන චෙස් ක්‍රීඩාවට වඩා ක්‍රිකට් වැනි ක්‍රීඩාවක් තුළ ඔහුගේ හැකියාව ගොනු කිරීම මගිනි. එය ඉන්දියාවට මෙන්ම ක්‍රිකට් ක්‍රීඩාවටද උදාරම් ක්‍රීඩකයකු එක්කිරීම සිදුකළේය. පිතිකරුවන් සලිත කරවන ආකාරයේ පා දඟ පන්දු යවන්නකු ජාත්‍යන්තර ක්‍රිකට් පිටියට එක්වුණේ ඒ ආකාරයෙනි.

ඉන්දීය පිලේ නිත්‍ය ක්‍රීඩකයා

මෙලෙස ක්‍රිකට් පිටියට පැමිණි චාහල් ඉතා කෙටි කලකින්ම ඉන්දීය පිලට නැතිවම බැරි ක්‍රීඩකයකු වූයේය. කෙසේ නමුත් තවමත් ඔහුට කණ්ඩායම තුළ ස්ථානයක් හිමිව ඇත්තේ එක්දින හා පන්දුවාර විස්සයි විස්ස තරගවලදී පමණි. ටෙස්ට් පිටියට පය ගැසීමට තරම් අවස්ථාවක් තවමත් චාහල්ට ඇත්තේ නැත. ඒ රවිචන්ද්‍ර අෂ්වින් හා රවීන්ද්‍ර ජඩේජාගෙන් පිරුණු ඉන්දීය දඟ පන්දු රාජධානියේ ස්ථානයක් හිමිකරගැනීම එතරම්ම අසීරු කාර්යයක් වන හෙයිනි. එහෙත් චාහල්නම් සිය උත්සහය අතහැර නැත. තමන් උත්සහ කරන බවක් නොපෙන්වන්නේ වුවද ටෙස්ට් පිටියේද ස්ථාවරවීම ඔහුට ඇති අභියෝගයකි. එහෙයින් හේ කිසිත් මුවින් නොබැන නිහඬ වෘතයෙන්ම සිය වැඩ අරඹා තිබේ. ඒ එක්දින හා පන්දුවාර විස්සයි විස්ස තරග වලදී නැතිවම බැරි ක්‍රීඩකයෙක් බවට ඉන්දීය නායකයා ඉදිරියේ පත්වෙමිණි. ‘එක්දින තරග පටන් ගන්නකොට මට ලොකු විශ්වාසයක් එනවා. අයි.පී.එල් තරගවලට ක්‍රීඩා කරද්දීත් සතුටක් තියෙනවා. ඒත් ඉන්දීය කහ ජර්සිය ඇන්ඳහම ඇතිවෙන හැඟීම විස්තර කරන්න අමාරුයි.‘ චාහල් තමන් හිමිකරගෙන ඇති ස්ථානය ගැන කතාකරන්නේ එලෙසිනි.

කණ්ඩායම තුළ තවත් ක්‍රීඩකයෙකු සමඟ ඒකාබද්ධව සුසංයෝගයක් පවත්වා ගැනීම සම්බන්ධයෙන් ඔහු දක්වා ඇත්තේ ඉතාමත් ධනවාදී පිළිතුරකි. එවැනි සුසංයෝගයක් අතිශය වැදගත් ලෙස සැලකිය හැකිසේම, ක්‍රීඩකයෙක් පරිණත වීම වඩා වැදගත් බවක් චාචල් පවසා සිටින්නේ ක්‍රීඩක සුසංයෝගය සඳහා කදිම පිළිතුරක් ලෙසිනි. පන්දුවාර විස්සයි විස්ස සහ එක්දින තරග අතර වෙනස හොඳින් තේරුම්ගෙන පන්දු යවන බව පවසන ඔහු පන්දුවාර හතරකට සීමාවන විස්සයි විස්සට වඩා පන්දුවාර හයක් වැඩිපුර යැවීමට එක්දින තරගවලදී සූදානම් විය යුතු බව පෙන්වා දෙයි. එසේම තමන්ගේ කඩුලු දවාගැනීම සඳහා වැඩිවශයෙන් යවනු ලබන පන්දු අතරට ඔහු එක් කර ඇත්තේ ‘මුදුන් දඟරය‘ හෙවත් ටොප් ස්පින් පන්දුවයි. ‘පිතිකරු වමත් කාරයෙක් නම් මම ගුග්ලි පන්දු යවනවා. පිතිකරු දකුණත් නම් ගුග්ලි සහ ෆ්ලිපර් පන්දු මිශ්‍රකරනවා.‘ චාචල් කියයි. ලෝක කුසලානය සඳහා සහභාගිවන එක්දින කණ්ඩායම නියෝජනය කිරීමට අවස්ථාවක් උදාවේදැයි ඔහු ගෙන් විමසද්දී චාචල් ලබාදෙන්නේ චෙස් පුවරුව උඩ නයිට්වරයෙකුගේ ස්ථානය වෙනස් කරන ආකාරයේ පිළිතුරකි. ‘ අෂ්වින් ඉන්දියාව වෙනුවෙන් හුඟාක් දේවල් කරලා තිබෙනවා. ඒත් මම නම් තවම තරගාවලි දෙක තුනකට විතරයි ක්‍රීඩාකරලා තියෙන්නේ. ඉතින් ඔහුගෙ තැන ගන්න තවම අපිට හිතන්නවත් බැ. ඒත් අපි කළ යුත්තේ හැකිතාක් උපරිමයෙන් ක්‍රීඩා කිරීමයි. ‘ ඔහු පවසයි.

තවමත් නොවෙනස් පළමු ආදරයේ කතාව

කෙසේ නමුත් ඔහු තවමත් තම පළමු ආදරය අමතක කරන්නට නම් සූදානම් නැත. අප එසේ කියන්නේ චෙස් ක්‍රීඩාවෙන්, ක්‍රිකට් ක්‍රීඩාව කරා ඔහු වෙනස්වීමට ගන්නා ලද තීරණය සම්බන්ධයෙන් කරන ප්‍රකාශ සැලකීමේදීය. ඉන්දියාවෙ හොඳ චෙස් තරගයක් තියෙනවා නම් මම ඒකට ක්‍රීඩාකරන්න කැමතියි. නමුත් ක්‍රිකට් වලට තමයි දැන් වැඩිම අවධානයක් යොමුකරලා තියෙන්නේ. අවුරැදු 12න් පහළ සමස්ත ඉන්දීය ජාතික චෙස් ශූරයා වශයෙන් කලක් කිරුලු දරා ඇති චාහල් පවසයි. ‘ හැබැයි එහෙම ගියොත් මට මගේ පරණ යාළුවෝ ගොඩක් හම්බුවෙන්න පුළුවන්.‘ ඔහු කියන්නේ සතුටෙනි.

දුරකථනයෙන් මානසික පීඩනය පිටු දකින, රංගන ශිල්පීන් අතර අක්ෂේ කුමාර්, රන්දීප් හූඩාටත් රංගන ශිල්පිනියන් අතරින් කැත්‍රිනා කයිෆ්ටත් පෙම්බැඳ ඇති චාචල්ගේ කැමතිම චිත්‍රපටය තීරණය වන්නේ අවස්ථානු කූලවය. ‘මම ඉන්න මානසිකත්වයට අනුකූලව චිත්‍රපටයක කතාවට තියෙන කැමැත්ත අකමැත්ත වෙනස් වෙනවා.‘ චාහල් කියයි.

‘බටර් චිකන් එක්ක රජ්මා බත් කන්න තමයි මම කැමතිම. දැන්නම් ශ්‍රී ලංකා මුහුදු කකුළුවෝ කන්න පුරුදු වෙනවා. කොහොමටත් මම මුහුදු ආහාර ලෝලියෙක් නොවෙයි. ඒත් ඒවට අකමැති වෙන්නත් මම කැමති නෑ.‘ මේ අනුකම්පා විරහිත නිහඬ දඩයක්කරුවා පවසන්නේය. මාලදිවයින, ග්‍රීසිය හා පැරිසියේ සංචාරය කිරීමට වඩාත් කැමැති චාචල්ගේ සිහින ක්‍රීඩාංගණය ඇත්තේ බැංගලෝරයේ චින්නස්වාමි පිටියේය. ‘මම දන්නෙ නෑ ඇයි කියලා. නමුත් ඒ පිටිය මට අපූරු හැඟීමක් ගෙනත් දෙනවා.‘ කෙසඟ හර්යානා ප්‍රාන්තයේ ජින්ද් දිස්ත්‍රික්කයේ දී 1990 ජූලි 23 වැනිදා උපන් ඉන්දියාවේ අලුත්ම ක්‍රිකට් තරුව වන චාහල් පවසන්නේය. පෙනුම අලංකාර නොවුණද වැඩ අලංකාර වන චාචල් ෂේන් වෝන්ගෙන් පසු පා දඟ පන්දු අධිරාජ්‍යෙය් කිරුළ පැළඳීමට උත්සහ ගනිමින් ක්‍රිකට් පිටියට සපැමිණි බුද්ධිමතෙකි. 2009 තරම් මෑත ක්‍රිකට් ක්‍රීඩාව සමඟ බැඳෙන ඔහු එක්දින වර්ණ දිනාගන්නේ පසුගිය වසරේදී වන අතර පන්දුවාර විස්සයි විස්ස ජාත්‍යන්තර පිටියේදී ඉන්දියාව වෙනුවෙන් ජාත්‍යන්තර තරගයකදී කඩුලු පහක් දවාගත් ක්‍රීඩකයාද වන්නේය. ලැබුණු කිසිවක් ප්‍රතික්ෂේප නොකරන චාහල්ගේ ගමන් මගේ ස්වර්ණමය සලකුණු මතුවනු ඇත්තේ ඉදිරියේදීය. වයස ගෙවී යමින් තිබුණද කත්‍රිනාගේ සිනහවට ප්‍රේම කරන මේ තරුණයාගේ සිනහව දකින්න නම් ලොවපුරා වෙසෙන කිසිදු පිතිකරුවකු කැමති නැත. ඒ මන්දයත් ඔහුගේ පන්දු ඒ තරමට විවිධත්වයෙන් යුතු, පිතිකරුවන් අන්දමන්ද කරවන ඒවා වන බැවිනි. ඒ අනුව අපට කියන්නට ඇත්තේ කණකොක් සුද ඉගිලෙන විට දකින්නේ යම්සේද යුෂ්වේන්ද්‍ර චාහල්ගේ හැඩ දකින්නට ලැබෙන්නේ ඔහු පන්දුයවා ක්‍රීඩාගාරයට නික්ම යන විට බවය. පාපන්දු ක්‍රීඩාව රසවිඳින, ක්‍රිස්ටියානෝ රොනාල්ඩෝට පෙම් කරන මේ අපූරු මොළකාරයා ගැන අපට අනාගතයේදී තව බොහෝදේ කියන්නට අවස්ථාව හිමිකර දෙනබව නම් අවසන් වශයෙන් පැවසිය හැකිය.

කසුන් ඉරුගල්බණ්ඩාර

Comments