
ගයාන්ට මංගල්‍යය කියූවාට දසතින් පැසසුම්
ඉන්දියාවේ සදාදරණීය ක්‍රිකට් නායකයා පත්වන්නට යන ගමනේදී විරාත් කෝලි පසුගියදා තවත් සංධිස්ථානයකට පැමිණියේය. ඒ සිය ඒකල ජීවිතය යුග ජීවිතයක් බවට පත්කරගනිමිනි. මෙම සිදුවීම අතරේ ඔහුගේ දේශපාලන ජීවිතයේ නැවුම් පිටුවක් පෙරළීමද ඒ හා සමරූපීව සිදුවිය. ඒ එසේ මෙසේ එකක් නොවේ. ජාත්‍යන්තර දේශපාලනයේ පරිච්ඡේදයක්ද සමඟිනි. එය සංක්ෂිප්ත කර දැක්වුවහොත් කෝලි තම හැසිරීමට අනුව පාලමක් බැන්දේය. එය එසේ මෙසේ පාලමක් නොවේ. රටවල් යාකරන ජාත්‍යන්තර පාලමකි. ඒ ජන හදවත් එක්කරමින් බැඳි දේදුනු පාලමකි. මේ ඒ පාලම පිළිබඳ කතාවයි.
විරාත් කෝලි සිය මංගල්‍යයේ දෙවැනි දිනය වෙනුවෙන් ඉන්දියාවේ මුම්බායිහි උත්සවයක් සංවිධානය කර තිබිණි. එම උත්සවය සඳහා ශ්‍රී ලංකාවේ ක්‍රිකට් ප්‍රේක්ෂකයෙක් ද ආරාධනා ලැබීය. බොහෝ ක්‍රිකට් ලෝලීන් හඳුනන ඔහු නමින් ගයාන් සේනානායකයි. මෙලෙස තම දෙවැනි උත්සවයට ගයාන්ට ආරාධනා කළාට අමතරව කෝලි සහ අනුෂ්කා ඔහු හා පින්තූරයකට පෙනී සිටින්නටත් නර්තනයකට සහභාගිවන්නටත් අමතක කළේ නැත. එය ජාත්‍යන්තර මාධ්‍ය විසින් ප්‍රසිද්ධ කිරීමත් සමඟ කෝලිගේ මෙම ආරාධනය සම්බන්ධයෙන් ලොව ක්‍රීඩාප්‍රේමීන්ගේ තුඩ තුඩ රැව්දෙන්නට විය. තරු ගැවසුණු මුම්බායි නුවර සංවිධානය කර තිබූ කෝලි- අනුෂ්කාගේ උත්සව රාත්‍රියට ගයාන් සේනානායක නැමැති ශ්‍රී ලංකා ක්‍රිකට් ලෝලියාට ආරාධනා කිරිම සුවිශේෂී වුවත් මේ වනවිට ලෝකයේ අවධානය යොමුකරවන්නේ ඒ සම්බන්ධයෙන් පළවන අදහස් සම්බන්ධවය.
එසේ එදා කෝලි- අනුෂ්කා උත්සවයට ආරාධනා ලැබූ ගයාන් හා කෝලි යුවළ එකට හිඳගත් ඡායාරූපයක්ද මේ වනවිට ලොව පුරා ක්‍රීඩා ප්‍රේමීන් සංවේදී කර තිබේ. ඔවුන් අදාළ ඡායාරූපය පිළිබඳ තබා ඇති සටහන් ගැන ද මෙම ලිපියේ සංක්ෂිප්තව හෝ කතාකළ යුතුමය. ඒ මෙම සිදුවිමත් සමඟ කෝලි ගැන තිබූ බොහෝ පිළිගැනීම් වෙනස් කරගන්නට එය ඉවහල්ව ඇති හෙයිනි. දැනට ලෝකයේ හොඳම සන්නාම තානාපතිවරයා බවට පත්ව ඇති ක්‍රිකට් පිටියේ හිතුවක්කාරයාගේ ප්‍රතිරූපයේ තවත් මානයක් ඒ අනුව ඉදිරියට පැමිණ ඇත. ඔහු ශාරුක් ඛාන් අභිබවා හොඳම සන්නාම තානාපතිවරයා වීම ගැන ඒ අනුව දැන් කතාකරන්නට දෙයක් ඇත්තේම නැත. ඔහුගේ නැණ නුවණ ඇත්තේ ක්‍රිකට් පිටියට පමණක් නොව සමාජ ජීවිතයටත් එහි අතු පතර විහිදෙන බවත් මෙම සිදුවීමෙන් ලෝකයට ප්‍රත්‍යක්ෂ කෙරිණි. එහිදී අපට කෝලිගේ අනාගතය සම්බන්ධයෙන් තවත් අනාවැකියක් කිවිය හැකිය. ඒ කෝලි ක්‍රිකට් නැවතූ දිනයක ඉන්දීය ජාතික දේශපාලනයට වුව පැමිණෙන්ට ඉඩ ඇතිි බවය. එය අද ලියා තබාගන්නැයි අප ඔබට කියන්නේ ‘සිළුමිණ ක්‍රීඩාවේ මුල් පිටුව‘ එය අනාවරණය කළ බව සිහි තබාගන්නටය.
ඒ අතර වාරයේ මේ හා සමාන උදාහරණයක් 1996 වසරෙන් ගෙනහැර දක්වන්නට අප කැමතිය. ස්ථානය ලාහෝර් නුවර ගඩාෆි පිටියයි. ලෝක කුසලාන අවසන් මහා තරගය එදින සන්ධ්‍යාෙව් ආරම්භ වීමට නියමිතව තිබිණි. සියලු අනාවැකි, පූර්ව සාධක වෙනස් කරමින් අධිෂ්ඨානය ඉදිරියේ තබා අර්ජුන ඇතුළු පිරිවර ඕස්ට්‍රේලියාව හා ගැටෙන්නට පිටිය වෙතයමින් සිටිෙයා්ය. එසේ පිටියට යද්දී සුපිරි ක්‍රිකට් නායක අර්ජුන රණතුංග ඉදිරියට පැමිණියේ දෙපා අවසඟ ආබාධිත ක්‍රිකට් ලෝලිෙයකි. මෙහිදී අපට එක්වර සිහිවන්නේ තොටගමුවේ ශ්‍රී රාහුල හිමියන් ලියා තිබූ සැළලිහිණ සංදේශයේ කවි පන්තියකි.
නල මුදු සුවඳ පිරි කුඹු මියුරු අඹ ගෙඩි
පුල හෙළ කුසුම ලිය පිය තෙපල රන් කෙඬි
සල සුදු සෙමෙර සෙසත් ගිජිඳුනොද වැඩි
බල සුබ නිමිති පෙරමග නැකතටත් වැඩි
ඒ කවියය. කෙසේ වෙතත් එකී කවියේ දැක්වෙන ආකාරයට පෙරමග පෙරනිමිති සම්බන්ධයෙන් තුට්ටුවකටත් මායිම් කළේ අර්ජුන නොවේ. ඔහුගේ දෘෂ්ඨියට අනුව එදා තම පිරිවර ඉදිරියට ආවේ ආබාධ සහිත ක්‍රීඩා ලෝලියෙකුනොවේ. සැබැවින්ම ඒ ආවේ දකුණු ආසියානු ආදරයය. භෞතික සාධක සලකා එය අසුබ පෙර නිමිත්තක් ලෙස පිළිකෙව් කරන්නේ කෙසේද? එහෙයින් ආදරය රැගෙන ආ අපූරු සුබ පැතුමක් ලෙස ශ්‍රී ලංකා නායකයා එය ඉතසිතින් පිළිගත්තේය. එහි ඡායාරූප ගතවිණි. කෙසේ වෙතත් මෙම සිදුවීම සුවිශිෂ්ට නායකයකුගේ අපූරු ගෞර්වහාර හැසුරුමක්ම විය. අප මෙම සිද්ධිය සිහිපත් කළේ එහි ඇතැම් ලක්ෂණ ඉන්දීය ක්‍රිකට් නායක විරාත් කෝලිටද ගැලපෙන හෙයිනි. තම ජීවිතයේ ප්‍රීති බාහුල්‍ය අවස්ථාවක පිටරැටියකුවූ ක්‍රිකට් ප්‍රේක්ෂකයකුට ආරාධනා කිරීම පිටුපස ඇති ගැඹුරද ඊට ආසන්නය. 1996 අධිෂ්ඨාන ප්‍රතිබද්ධව ශ්‍රී ලංකා ක්‍රිකට් ලෝකයට ජයගෙන දුන් අර්ජුන රණතුංග අද ඇමැතිවරයක්ය. ඒ අයුරින්ම විරාත් කෝලි දිනෙක ක්‍රිකට් වලින් සමුගෙන දේශපාලනයට එක්නොවෙතැයි ප්‍රතික්ෂේප කළ හැක්කේ කාටදැයි අප අසන්නේ එහෙයිනි.
මෙම ආරාධනය සම්බන්ධයෙන් ක්‍රිකට් ප්‍රේක්ෂකයන් කීපදෙනෙකු යොමුකර තිබූ අදහස් කීපයක් මෙම ලිපිය සඳහා උපුටා දක්වන්නට අප කැමතිය. බීබීසී ශ්‍රී ලංකා වාර්තාකරුවා වන අසාම් අමීන් අදාළ ප්‍රවෘත්තිය මෙරට ව්‍යාප්ත කිරීමේ පුරෝගාමියකුව සිටි අතර ඔහු සිය ට්විටර් අඩවියේ අදාළ ඡායාරූප දෙකක් පළකර තිබිණි. දෙසැම්බර් 26 වැනිදා අසාම් මෙම ඡායාරූප පළකරමින් ප්‍රකාශ කර ඇත්තෙ ගයාන් සේනානායකට විරාත් කෝලි සිය මංගල උළෙලට ආරාධනා කර ඇති බවය. එම ප්‍රවෘත්තියට මේ වනවිට දහස් ගණනක් සතුට පළකර ඇතැමුන් ප්‍රතිචාර දක්වා තිබීම හා සිය ට්විටර් පිටුවල හුවමාරු කරගෙන තිබීමෙන් ජන සමාජය තුළ ඇතිකළ ප්‍රකම්පනය තේරුම් ගන්නට පිළිවන.
මේ අතරින් කීපයක් මෙම ලිපියට උපුටා ගන්නට කැමතිය. එහි ‘දාරක වීරසිංහ‘ නැමැත්තෙකු සටහනක් තබා ඇත්තේ, ‘අපි කෝලිගැන හිතාගෙන හිටියේ මොනවද? ඔහු ඒ හැමදෙයක්ම වැරදියි කියලා අපිට ඔප්පු කළා. ඇත්තටම ඔහුනම් නියම වීරයෙක්. නියම මනුෂ්‍යයෙක්.‘
එයට පිළිතුරු ලෙස ‘කාඩර්‘ නැමැත්තෙක් සටහනක් තබා ඇත්තේ මෙසේය. ‘ඔබ නිවැරදියි. ඔහු තමුන්ගේ ක්‍රීඩාවෙදි බොහෝම දැඩි සටන්කාමියකු ලෙස ක්‍රියා කරනවා. ඒ හොඳම දේ තමන්ට ලබාගන්න අවශ්‍ය නිසා. ඒත් මනුස්සකම් අතින් කෝලි කියන්නේ මැණිකක්. මම ඔහුගැන මෙතෙක් අහල තියෙන දේවල් වලින් කිසිම සැකයකින් තොරව ඒ දේ නම් කියන්න පුළුවන්.‘
ඉජාස් රහමන් නමැත්තා මෙහිදී සටහනක් තබමින් පවසන්නේ, ‘විරාත් කෝලි කියන්නේ සැබෑ මහත්මයෙක් කියලා මේ සිදුවීමෙන්ම ඔප්පු වෙනවා. අපේ සමහර මිනිස්සු ඔහු එක්ක තරහයි. ඒ කෝලි අපේ රටේ නොවන නිසා. මේක තමයි වෙලාව අපිට ඔහුට ගෞරව කරන්න. අපි හිසනමා ඔහුට ආචාර කරනවා.‘ වශයෙනි.
‘පිට්ටනිය ඇතුළේ ඔහු තරම් ප්‍රචණ්ඩ ක්‍රීඩකයෙක්, ජයග්‍රහණයම ඉල්ලන නායකයෙක් තවත් නැති තරම්. මේ කාලේ ක්‍රීඩාවට ඒ දේවල් නැතිවත් බැහැ. නමුත් පිටියෙන් පිටත ඔහු නම් සැබෑ මහත්මයෙක්. ඒ වගේ අතිවිශ්ෂ්ට මිනිසුන් කීපදෙනාට ඔහුත් අයිති වෙනවා.‘ යැයි සටහන් තබා තිබෙන්නේ අනුරුද්ධ විමලසේන විසිනි.
‘ඒකනම් නියම වැඩක්. මම දැනගන්න කැමතියි ශ්‍රී ලංකා ක්‍රීඩකයෝ කීදෙනෙකුට කෝලි තමන්ගේ මංගල්‍යයට ආරාධනාද කියලා?‘ යැයි ප්‍රශ්නයක් නගා ඇත්තේ ෂියාන් සහීර්ය.
‘සිිටිසන් ඩොට් එල්කේ යනුවෙන් ට්විටර් සටහනකින් කියා ඇත්තේ, ආදරණීය හැසිරීමක්.........ඊටත් වැඩිය ඔහුත් එක්ක නැටුමකටත් එක්වුණා කියන එක.......‘ යනුවෙනි.
මේ අතරේ රාජා යනුවෙන් හැඳින්වෙන්නකු තබා ඇත්තේ වෙනස්ම ආකාරයේ සටහනකි. ‘කරුණාකරලා මේක කමකට නැති ශ්‍රී ලංකා ක්‍රීඩා මාධ්‍ය වේදීන්ට අමුණන්න. යනුවෙන් සටහනක් තබා ට්විටර් ගිනුම් දෙකක් දක්වා ඇත.
අෆ්රාස් රෝයල් නැමැත්තකු ලියා ඇති සටහනකින් විමසා ඇත්තේ, ‘දැන් ඉන්නවාද කෝලිට වෛර කරන ශ්‍රී ලාංකිකයෙක්?‘ කියාය. මේ ආකාරයෙන් විවිධ සටහන් අදාළ සංසිද්ධිය සම්බන්ධයෙන් තබා තිබේ. මේ අනුව ගයාන්ට කළ ආරාධනය හා ඔහු සමඟ කළ නර්තන ලීලාවන්ද මෙහිදී බොහෝදෙනෙකුගේ ප්‍රීතියට කරුණක්ව ඇත. තරු පොකුරු අතර ක්‍රිකට් ප්‍රේක්ෂකයකු තරුවක්වී තිබීමත් එය රටකින් රටකට ප්‍රේක්ෂකත්වයට ලබාදුන් පිළිගැනීමක්කවීමත් අප මෙහිදී අමතක නොකළ යුතුව ඇත. කිලෝ මීටර් 30 එපිටින් පිහිටි ශ්‍රී ලංකාව හා ඉන්දියාව අතර බැඳීම ඊට පහළින් තලෙයි මන්නාරමේ පිහිටා ඇති හනුමා පාලමෙන් නොව හදවත් වලින් බැඳීම් මගින් ක්‍රීඩාවේ නාමයෙන්ම සිදුව තිබීම අපූරුය. එදා හනුමා පාලම බැන්දේ දෙරටේ ජන හදවත් වෙන් කරන්නටය. බෙදන්නටය. විරසක කරන්නටය. මෙදා කෝලි ගයාන් මගින් බැඳ ඇත්තේ හෘදයාංගම පාලමකි. එය ආදරයේ පාලමය. එසේත් නැතහොත් දේදුනු පාලමය. දැන් අපට මෙම සිදුවීමත් සමඟ කියැවෙන ලොකුම කතාව ශ්‍රී ලංකාව හා ඉන්දියාව එතරම් දුර නැති බවය. ශ්‍රී ලංකා රජයද සැමවිටම උත්සහ ගන්නේ මෙලෙස ඉන්දියාව සමඟ දුරක් නැති කරන්නටය. දැන් කෝලි - ගයාන් හා එක්ව බැඳි නව හෘදායාංගම පාලමට ඒ අනුව ශ්‍රී ලාංකිකයන් වන අපද ඉතසිතින් සුබපැතුම් එක්කර සිටිය යුත්තේ එහෙයිනි.