ඉතිහාසයේ ප්‍රථම වරට ජනාධිපතිතුමා යුද හමුදා නවකයන්ට ලාංඡන පලඳවයි | සිළුමිණ

ඉතිහාසයේ ප්‍රථම වරට ජනාධිපතිතුමා යුද හමුදා නවකයන්ට ලාංඡන පලඳවයි

 අපේ රටේ අවුරුදු 30ක කාලයක් තිස්සේ පැවැති යුද්ධය මීට අට වසරකට පෙර අවසන් වුණා. ත්‍රස්තවාදීන් පරාජය කරමින් ඒ යුද ජයග්‍රහණය අත් කරගන්නට අපට හැකි වුණේ යුද හමුදාවේ විශිෂ්ට දායකත්වය නිසයි. යුද හමුදාවේ මේ දායකත්වය යුද්ධයට සීමා වී නැහැ. ස්වාභාවික ආපදා සිදු වූ හැම විටකම අපගේ පිහිටට එන්නේ යුද හමුදාව බව බොහෝ දෙනා නොදන්නා කරුණක්.

මීතොටමුල්ල කුණු කන්ද කඩාවැටුණු අවස්ථාවේ මෙන්ම සිරිපා මාර්ගයේ කුණු කන්දක් කඩාවැටුණු අවස්ථාවේත් ක්ෂණිකව සහන සේවා සැපයීමට ඉදිරිපත්ව කටයුතු කළේ යුද හමුදාවයි. ඒ වගේම අරණායක සාමසර කන්ද නාය-ගිය අවස්ථාවේත් කඩිනමින් සහන සැලසීමට ඉදිරිපත් වූයේ යුද හමුදාවයි. එසේම පසුගියදා ඇති වූ ගංවතුර හා අනෙකුත් ස්වාභාවික ව්‍යසනයන්හිදීත් මුල් තැනක් ගෙන කටයුතු කළේ යුද හමුදාවයි. මේ අයුරින් අපට පිහිට වන යුද හමුදාවේ ශක්තිය වැඩි කිරීම පිණිස තවත් බළ සේනාවක් පසුගිය 17 වැනිදා ඉරිදා විසිර ගියා. ඒ දියතලාව යුද හමුදා පුහුණු ඇකඩමියේදීයි.

මෙහි විශේෂත්වය වූයේ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා ප්‍රථම වතාවට යුද හමුදා නිලධාරී විසිර යෑමක් සදහා සහභාගි වීමයි.

නිලධාරි-නිලධාරිනියන් 191 දෙනකුගෙන් සමන්විත වූ මේ විසිර යෑමේ පෙළපාළියට ජනාධිපතිවරයා සහභාගි වූ අතර, නිලධාරීන්ට පදක්කම් පැලඳවීම ජනාධිපතිවරයාගේ මූලිකත්වයෙන් සිදු වුණා. යුද හමුදාපති ලුතිනන් ජෙනරාල් මහේෂ් සේනානායක මහතාත්, දියතලාව පුහුණු ඇකඩමියේ බ්‍රිගේඩියර් ප්‍රියන්ත සේනාරත්න මහතාත් මේ අවස්ථාවට සහභාගි වුණා.

උත්සවයේ ප්‍රධාන ආරාධිත අමුත්තා වූ සන්නද්ධ හමුදා සේනාධිනායක ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමාගේ සම්ප්‍රාප්තියේදී යුද හමුදා විද්‍යාපීඨ ප්‍රධාන දොරටුව අසලදී පිරිනමන ලද කඳවුරු සම්මාන මුරයත් සමග උත්සවයේ ආරම්භය සටහන් වුණා.ජනාධිපතිතුමන් හමුදා සම්ප්‍රදායානුකූලව පිරිනමන ලද සම්මාන ආචාර පෙළපාළිය පිළිගැනීමට පෙර එම විද්‍යාපීඨයේ රණවිරු ස්මාරකය වෙත මල් කලඹක් තබා රට-දැය වෙනුවෙන් තම ජීවිත පූජා කළ රණවිරුවන් සිහිකිරීමේ යෙදුණා.

ජනාධිපතිතුමන්, ආරක්ෂක ලේකම්තුමන් හා යුද්ධ හමුදාධිපතිතුමන් විසින් කැඩෙට් නිලධාරීන් නව යුද්ධ හමුදා නිලධාරීන් ලෙස අධිකාරියට පත් කිරීම සටහන් කරමින් අසිපත් ප්‍රදානය සිදු කරනු ලැබුවා.මේ කැඩෙට් නිලධාරී විසිරයෑමේදී නිත්‍ය කැඩෙට් නිලධාරී පාඨමාලාවන්ට අයත් නිලධාරීන් සහ නිලධාරිනියන් 178 දෙනකු සහ ස්වේච්ඡා කැඩෙට් නිලධාරීන් සහ නිලධාරිනියන් 13ක් ද සමඟ කැඩෙට් නිලධාරීන් සහ නිලධාරිනියන් 191 දෙනකු මේ පෙළපාළියේදී අධිකාරී පත්වීම් ලැබ විසිර ගියා. චීන මහජන සමූහාණ්ඩු හමුදා විද්‍යාපීඨයේ නිලධාරීන් තිදෙ‍නකුද මේ පිරිස අතර සිටීම අපට මහත් වූ ආඩම්බරයක් වුණා.

එහිදී රැස්ව සිටි පිරිස ඇමතූ ජනාධිපතිතුමා පැවසුවේ සුනාමි ව්‍යසනය ඇතුළු ස්වාභාවික ආපදාවන්ගෙන් ශ්‍රී ලංකා ජාතිය විපතට පත් වූ විට එම ජනතාව මුදාගැනීම සඳහා යුද හමුදාව ක්‍රියා කළ ආකාරය තමාට හොඳින් මතක බවත්, අපේ යුද හමුදාව ‍ගෞරවනීය හමුදාවක් ලොව පිළිගෙන ඇති බවත්ය.

එසේම ශ්‍රී ලාංකේය සන්නද්ධ හමුදාවන් අනාගතයේදී ලොව විශිෂ්ටතම හමුදාවක් බවට පත් කිරීමට අවශ්‍ය සෑම පියවරක්ම ගන්නා බවත් එතුමා පැවසුවා.

සරඹ පිටියේ පැවති විසිරයාමේ පෙළපාළියෙන් අනතුරුව යුද හමුදා විද්‍යාපීඨ ක්‍රීඩාගාරයේදී අභිනව නිලධාරීන්ගේ අධිකාරියට පත් කිරීමේ නිල ලාංඡන පැලඳවීමේ අභිමානවත් උත්සවයට ඉතිහාසයේ ප්‍රථම වරට ජනාධිපතිතුමන් සහභාගි වූ අතර, එහිදි නිලධාරීන් කිහිපදෙනකුගේ නිල ලාංඡන පැලඳවීමට ඔවුන්ගේ දෙමවුපියන් සමඟ ජනාධිපතිතුමන්ද සහභාගි විය. මේ අවස්ථාවට ආරක්ෂක ලේකම්තුමන් සහ යුද්ධ හමුදාධිපතිතුමාද සහභාගි වුණා.

මෙය මෙරට ඉතිහාසයේ වැදගත්ම සලකුණක් තැබීමට සමත් වුයේ ජනාධිපතිතුමන් සමස්ත විසිර යෑමේ පෙළපාළියටම සහභාගි වූ නිසයි. ජනාධිපතිවරයකු එලෙස සමස්ත පෙළපාළියටම සහභාගි වූ මෙරට ප්‍රථම අවස්ථාවද එයයි.

තාරක වික්‍රමසේකර
සේයාරූ - සුදත් මලවීර
යුද හමුදා මාධ්‍ය ඒකකය

Comments