
නව පාසල් වාරයක් එළඹීමට තව ඇත්තේ නොබෝ දිනකි. ඒ සමඟම තවත් සිසු-සිසුවියන් පිරිසක් පාසල්ගත වන්නේ අලුත් ජීවිතයකට ආශීර්වාද ලබමිනි. සිය ජීවිතයේ අනේකවිධ බලාපොරොත්තු ගොන්නක් පොදිබැඳගනිමින් ගෙවන පාසල් ජීවිතය අවසානයේ දරුවන්ට තිළිණ කරන්නේ පැහැබර අනාගතයකි. ගුරුවරයා දෙවිකෙනකු හා සම කරන යුගයක මේ ගුරු වෘත්තියත් විදුහල්පති සේවයත් රාජ්‍ය සේවයේ වූ උතුම්ම වෘත්තීන් දෙක අතරට එක් වන්නේ දහසකුත් දරුවන්ගේ නැණ නුවණ පාදන්නටය. දරුවන් දහස් ගණනකගේ මවු-පියවරු වන්නෝද ගුරුවරුය. එසේම පාසල්ගත වූ දරු-දැරියන් දහස් ගණනකගේ රැකවලුන් වන්නෝද ගුරුවරුමය.
වර්තමානයේ ලංකාව පුරා පාසල් දස-දහස් ගණනක් විසිරී තිබුණත් එයින් බහුතරයක් දැඩි තරගයකට ගොදුරුව ඇත. බොහෝ ගුරුවරුන්ට මෙන්ම විදුහල්පතිවරුන්ට පවා සිය වගකීම් සහිත භූමිකාව පවා පවත්වා ගෙන යෑමට නොහැති තරමට වත්මන් පාසල් පද්ධතිය යම් යම් ව්‍යූහමය වෙනස්වීම්වලට ලක්ව ඇත. මුදල මූලික වීම ප්‍රධාන හේතුවයි. එපමණක් නොව, අධ්‍යාපනය ලබා දීම පමණක් නොව ඉන් එහා ගිය සුවිශාල කාර්යභාරයක් ඔත්සේ දිව-යන වත්මන් ගුරු-විදුහල්පති භූමිකාවන්ද පවත්නා දේශපාලන බලාධිකාරියෙන් මේ වන විට හෙම්බත්ව තිබීම කණගාටුවට කරුණකි.
පාසල්වලට සිසුන් ඇතුළත් කිරීමේ කර්තව්‍යයෙන් ආරම්භ වන පාසල් පද්ධතියේ සෑම කටයුත්තකටම විදුහල්පති භූමිකාව අවතක්සේරු කරමින් ආක්‍රමණය වී ඇත්තේ විවිධ දේශපාලන හස්තයන්ය. විශේෂයෙන්ම ලංකාවේ ජාතික පාසල් පද්ධතිය මෙන්ම පළාත් පාසල්වල ඉහළම තලයේ පවත්නා පාසල් බහුතරයක් අද පරිපාලනයේදී පත්ව ඇත්තේ මේ ව්‍යාකුල තත්ත්වයටය. පාසල් පරිපාලනය ගෙන-යෑමේ අසීරු කර්තව්‍යය තවත් අසීරු කරමින් විදුහල්පතිවරුන්ට මුහුණ දෙන්නට සිදුව ඇත්තේ වඩාත් අසරණ තත්ත්වයකටය.
වර්තමානයේ බොහෝ පාසල්හි සුවිශේෂ කාර්යභාරයක් ඉටු කරන්නේ ඒ පාසල්හි ආදිශිෂ්‍ය සංගම්ය. පාසල් ජනප්‍රිය වන්නේද ඒ හා සමානව ඒ ඒ පාසල්හි ආදිශිෂ්‍ය සංගම්ද බලවත් වන්නේය. ඒ ඒ පාසල්හි ආදිශිෂ්‍ය සංගම්වලින් පාසල් පද්ධතියට සුවිශාල සේවාවක් ඉටු වන අතර, බොහෝ පාසල් සිය පාසලේ වැඩි දියුණුව සඳහා විවිධ කටයුතු කරගෙන යන්නේ ආදිශිෂ්‍ය සම්ගම්වලින් ලබන්නා වූ දායකත්වයෙනි. එලෙස ආදිශිෂ්‍ය සංගම් හා පාසල් අතර දැඩි බැඳීමක් පැවැතුණද, සුවිශාල බලාධිකාරයක් ගොඩනඟාගත් මේ ආදිසිසු සංගම්වලින් යම් යම් බලපෑම් පාසල් පරිපාලනයේදි විඳින්නට සිදුවීමද අද-ඊයේ ඇති වූවක් නොවේ. විශේෂයෙන්ම ජනප්‍රිය පාසල්වලට සිසුන් ඇතුළත් කරගැනීමේදි ආදිසිසු සංගම් වෙතින් පාසල් ප්‍රධානීන්ට විඳින්න සිදුව ඇත්තේ අසීමිත පීඩනයකි. බොහෝ ආදිසිසු සංගම්හි දේශපාලන බලාධිකාරිය බලවත්ය. එනිසා එල්ල වන පීඩනයද බලවත් වෙයි. බොහෝ රාජ්‍ය සේවයේ වූ දේශපාලන බලපෑම් පාසල් පරිසරය තුළින් පිට වන්නේ මේ ආදිසිසු සංගම් හරහා . නවක සිසුන් ජනප්‍රිය පාසල්වලට ඇතුළත් කරගැනීමේ දැඩි තරගය කිසිදා නිමා නොවන්නක් වන්නේද විදුහල්පතිවරුන් පීඩාවට පත් කරමින් පැනනඟින මේ බාධා කිරීම් නිසායැයි විස්වාසයක්ද මේ වන විට ගොඩනැඟී ඇත.
පසුගිය කාලවකවානුව හා සම්බන්ධ කරගනිමින් බොහෝ ජනප්‍රිය පාසල්වල විදුහල්පතිවරුන් සිය කැමැත්තෙන්ම ඉල්ලා අස් වූයේ තමන්ට ස්වාධීනව පාසල් පරිපාලනය කිරීමේ නොහැකියාව නිසාමය. අධ්‍යාපන අමාත්‍යාංශය විසින් නිකුත් කර ඇති යම් යම් චක්‍රලේඛ අනුගමනය කළ යුතු වූ නිසාත්, ඒ සියල්ල අබිබවමින් ආදිසිසුන්ගෙන් එල්ල වන යම් යම් බලපෑම් හේතුවෙන් පාසල් පරිපාලනයේ සමතුලිතතාව බිඳවැටෙමින් පැවතීම සාමාන්‍ය දෙයක් බවට පත් වෙමින් තිබේ. අන් රාජ්‍ය සේවයන් මෙන් නොව, පාසල් පද්ධතිය දේශපාලනිකකරණයෙන් තොර ස්වාධීන ආයතනයක් විය යුත්තේ අනාගතය ගොඩනඟන මිනිස් ප්‍රජාව බිහි වනුයේ මෙතැනින් බැවිනි.
රාජ්‍ය සේවයේ මෙන්ම රාජ්‍ය සේවයේ ඉහළම වෘත්තියක් සේ ගැනෙන විදුහල්පති භූමිකාව යම් ආකාරයක අවතක්සේරුවට ලක් වෙමින් පාසල් පරිපාලනය පුපුරා-ගිය මොහොතක ඉන් පීඩාවට පත් ගාල්ල ප්‍රදේශයේ එක්තරා ජනප්‍රිය පාසලක විදුහල්පතිවරයකු වෙනුවෙන් නීතියෙන් සාධාරණයක් ඉටු වූ මේ සිදුවීම සමස්ත රාජ්‍ය සේවයටම සිතන්නට බොහෝ දේ එක් කරන්නකි. ඒ සඳහා පාදක වූ මේ ශ්‍රේෂ්ඨාධිකරණ නඩු තීන්දුව අධ්‍යාපන ක්ෂේත්‍රයේ වත්මනේ උද්ගතව ඇති පාසල් පරිපාලනයෙහිලා ආදිසිසු සංගම් බලපෑමට දුන් ඉතිහාසගත තීන්දුවක්ද වේ.
ගාල්ල ඇලෝසියයස් විදුහලේ විදුහල්පතිව සිටි, එමෙන්ම වසර 40ක නොකැලැල් සේවයක් ඇති, මේ නඩු තීන්දුවට සම්බන්ධ මේ විදුහල්පතිවරයාටද විඳින්නට සිදු වූයේ ඉහත සඳහන් කළ අප්‍රසන්න සිදුවීමයි. 2012, 13 හා 14 වසරවල මේ පාසලට සිසුන් ඇතුළත් කරගැනීමේදි ඉහත විදුහල්පතිවරයාට මුහුණ දෙන්නට සිදු වූයේ ආදිසිසු සංගම්වල විවිධ බලපෑම්වලට යටත් වීමටය. ඒ පාසලේ ආදිසිසු සංගමය විසින් සිසුන් ඇතුළත් කිරීමේ විවිධ ප්‍රයත්න දරමින් සිටි යුගයක එවැනි අයුතු අසාධාරණකම්වලට මේ විදුහල්පතිවරයා එකහෙළා විරුද්ධ වූයේය. මේ නිසා පාසලේ විදුල්පති හා ආදිසිසු සංගම් අතර ගැටුම් උග්‍ර විය. මේ ආදිසිසු සංගම් විදුහල්පතිවරයාට පාසල් පරිපාලනය කරගෙන-යෑමට ඉඩ නුදුන් අතර, විවිධ අභූත චෝදනාද එල්ල කරන්නට විය. මේ අතර පාසලේ ළමයින් 6 දෙනකුට ජපන් ශිෂ්‍යත්ව හුවමාරු වැඩසටහන යටතේ ජපානයට යෑමට අවසර ලැබී තිබුණු අතර, මේ සමඟ අදාළ පාසලේ විදුහල්පතිවරයාටද දරුවන් රැගෙන ජපානයට යාමට සිදු විය. එහෙත් මේ ආදිසිසු සංගමය විසින් කිසිදු වගවිභාගයකින් තොරව පොලීසිය මාර්ගයෙන් ලබාගන්නා නියෝගයක් මත ගුවන්තොටුපළේදිම අදාළ පාසලේ විදුහල්පතිවරයාට රටින් පිටවීමද තහනම් කෙරී ය. දිගින් දිගටම වූ මේ සමතයකට පත් නොවූ ගැටුම හේතුවෙන් පාසල පවත්වාගෙන-යෑමට නොහැකි වීමෙන් විදුහල්පතිවරයා ස්ථාන මාරුවක් ලබාගත් අතර එහෙත් ඊට පෙර -එනම්: 2014 සැප්තැම්බර් මස- විදුහල්පතිවරයා විශ්‍රාම සංග්‍රහයේ 2.17 වගන්තිය යටතේ සාමාන්‍ය ක්‍රමයට විශ්‍රාම ගියේය. එහෙත් ඊට වසරකට පමණ පසු ඔහුට විරුද්ධව චෝදනා පත්‍රය බාර දෙයි. මේ නිසා නැවතත් විදුහල්පතිවරයාගේ විශ්‍රාම යෑම විශ්‍රාම සංග්‍රහයේ 2.12 වගන්තිය යටතේ විනය විශ්‍රාම යැවීමක් වශයෙන් අර්ථ දැක්වූ අතර, ඒ අනුව විශ්‍රාම ගැනීමෙන් පසු ඔහුට හිමි වන සියලු වරප්‍රසාදද අහිමි වන්නේය.
අධිකරණය විසින් මේ අසාධාරණත්වය අභියෝගයට ලක් කළ අතර, යමකු විශ්‍රාම ගොස් කාලයක් ගත වූ පසු ද්වේෂ සහගත ආකාරයෙන් මෙසේ කළ හැකිද යන්න ත්‍රිපුද්ගල විනිසුරු මඬුල්ලක් හමුවේ විභාග වන්නට විය. ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරුවරුන් වන පීබී අලුවිහාරේ, අනිල් ගුණරත්න හා විජිත කේ මලල්ගොඩ යන ත්‍රිපුද්ගල විනිසුරු මඬුල්ලක් යටතේ විභාග වූ මේ නඩු විභාගයෙන් අනතුරුව ගරු අධිකරණය තින්දු කරන්නේ කෙනකුට විරුද්ධව විනය පරීක්ෂණ කළ යුත්තේ ඔහු විශ්‍රාම යෑමට පෙර බවයි.
වසර ගණනක් තිස්සේ විවිධ චෝදනාපත්‍ර ගෙන ආවත් විනය පරීක්ෂණ තැබූවත් එය සිදු කළ යුත්තේ විශ්‍රාම යෑමට පෙර බවයි. උසාවිය මේ තීන්දුව දෙන්නේ විශ්‍රාම වැටුප් සංග්‍රහයේ 12.1 වගන්තිය අර්ථ නිරූපණය කරමිනි. 1995 ගොඩකවෙල නඩුව හා 1990 අංක 29 දරන රාජ්‍ය සේවා පරිපාලන චක්‍රලේඛය අනුව මේ විදුහල්පතිවරයාට එරෙහිව ගොඩනඟා තිබූ සියලු තොරතුරු බොරු චෝදනා බව ඔප්පු වූ අතර, මෙය ද්වේෂසහගත ආකාරයෙන් සිදු කිරීම හේතුවෙන් මේ පාසලේ විදුහල්පතිවරයාට විරුද්ධව එල්ල කර තිබූ සියලු විනය පරීක්ෂණ අහෝසි වූ අතර, සාමාන්‍ය ක්‍රමය යටතේ විශ්‍රාම යා යුතු බවත් රුපියල් ලක්ෂ 5ක නඩු ගාස්තු රජයෙන් ගෙවීමටත් නියෝග විය.
මේ නඩුතීන්දුව සමස්ත රාජ්‍ය සේවයටම අතිශයින් වැදගත් වන්නා සේම අධ්‍යාපන ක්ෂේත්‍රයේ පාසල් පරිපාලනයට අයුතු ලෙස මැදිහත් වන ආදි සිසු සංගම්හි ක්‍රියාකලාපයන්වලට විරුද්ධව ශ්‍රේෂ්ඨාධිකරණය විසින් දුන් ඉතිහාසගත තීන්දුවක්ද වන්නේ ය.
(විශේෂ ස්තුතිය: තොරතුරු ලබා දුන් ජනාධිපති නීතිඥ ජේ සී වැලිඅමුණ මහතාට)
සුභාෂිණි ජයරත්න