කවි කල්පනා | Page 9 | සිළුමිණ

කවි කල්පනා

ප්‍රේමය පතුරමු

සම­රන නත්තල සොඳුරූ
ගව­ලෙන් දහ­සක් අනූරූ
තැනු­වත් මිනි­සුන් සොයුරූ
හද තුළ ගව ලෙන මහරූ...

අත්වැල් බැඳ හඳ පැමිණී
කර මුතු හර මෙන් බැබළී
නැති-බැරි සොහො­යුරු සැවොමා නංවා-ලමු අත-හිත දී

දෑ-කුල-ආගම් නොතකා
සාමය සම­ඟිය වපුරා
සෙනෙ­හස දීපය දල්වා
ප්‍රේමය පතු­රමු සැමදා...

බෙත්ලෙ­හෙමේ නුබ කුසෙහී
පෑ තනි­ත­රු­වක් විලසේ
හද­ගැබ අල්තා­ර­යෙහි‍
කිතු­ස­මි­ඳුන් වැඩ සිටිතී


රත්න­පාල වික්‍ර­ම­සිංහ


වඩිනු මැන....

මිනිස් මහිම දෝතින් ගෙන
ලොවම එකළු කර දස අත
දහස් අතින් කිරණ ගලා
නක හිරු නැග එයි මිහි­මත

වෙසෙස් සිනිදු සිය­පත් සිය
නැඟී සියළු කර වික­සිත
උසස් ලෙසින් හොවා වඩී
නත්තල් අසි­රිය ලොව වෙත...

සාමය සම­ගිය ළය වෙත
තුරුළු කරන් කුමරි මෙලෙස
ප්‍රේමය මෘදු පහස අරන්
ලෝසත වෙත වඩින විලස

මාලය මුතු පබළු පැළැඳි
සාම සමා­දාන පලස
පා-ළය පුර­වා­ලනු මැන
සව් සිරි සිරි මිහිරි කලස...


ප්‍රේම­සිරි සිරි­සේන


අසි­රිය

උඳු­වප් සඳ­රැස් මිහි­කත රැඳුණා
සීතල නල වැල් දස අත බෙදුණා
කෝකිල කූජන දෙස­වන් වැදුණා
නත්තල් අසි­රිය දොර දොර ඇඳුණා

ගස් වැල් අතු අග මල් පිපී බබ­ළති
වන­මල් සුව­ඳය හැම තැන පිරි ඇති
මී-මැසි- බම­රුන් මල් මත ගැව­සෙති
නත්තල් සිරි­යෙන් නෙත් සිත් පින­වති

තුරු­ලිය පල­බර වී ඔප කෙරුණා
ගොඩ මඩ සරු වී අටු-කොටු පිරුණා
බත-බුල­තින් මගෙ රට සරු කෙරුණා
නන්තල් සිරි­යෙන් හද­වත් සැලුණා

සාමය බැතී ගී හඬ පැති‍රේවා
දුක්-කම්ක­ටු­ලුය දුක් දුරු වේවා
හද­වත් සොම්නස් මල් පිබි­දේවා
නත්තල් සිරි­යෙන් ලොව බැබ­ළේවා


සරත් ධර්ම­සේන


සාමයේ කුමරු..

සාමයෙ දහම ලොවට කියා දුන් නත්තල
අද­හන රජ­යන ලොව­කට සුබ ආරං­චි­යයි නත්තල
පව් මල කිළිටි සිත් සෝදාන නත්තල
ජේසුගෙ උපත සම­රමු සම­ගිව සැම නත්තල


ලූෂන් එඩ්වඩ් පෙරේරා


සාමයේ කුමරු බිහි විය

උඳු­වප් මහේ සීතල දව­සක
බෙත්ලෙ­හෙමේ ගව­ලෙ­නක් තුළින්
මැදි­යම් රැය ගෙවෙනා මොහො­තක
සාමයේ කුම­රිඳු ලොව බිහි විය..

මරිය මවු­තු­මි­යගෙ ඇකයේ
ජේසු කුමරු හඬනා විට දී
වල්ගා තරු­වක් අඹරේ පායා
ලෝකය වෙත සුබ ලකුණු පෙනේ...

කිතු සමිඳු දෙසූ දම්කඳ ලොව වෙත
ශ්‍රව­ණය කර දන සවන් පුරා
ස්වර්ග ලෝකයේ සැප ලැබ­ග­න්නට
කිතු­නුවො නත්තලෙ පෙරුම් පුරයි...


මුණ­සිංහ නිශ්ශංක


සාමයේ කුමරු බිහි විය

උඳු­වප් මහේ සීතල දව­සක
බෙත්ලෙ­හෙමේ ගව­ලෙ­නක් තුළින්
මැදි­යම් රැය ගෙවෙනා මොහො­තක
සාමයේ කුම­රිඳු ලොව බිහි විය..

මරිය මවු­තු­මි­යගෙ ඇකයේ
ජේසු කුමරු හඬනා විට දී
වල්ගා තරු­වක් අඹරේ පායා
ලෝකය වෙත සුබ ලකුණු පෙනේ...

කිතු සමිඳු දෙසූ දම්කඳ ලොව වෙත
ශ්‍රව­ණය කර දන සවන් පුරා
ස්වර්ග ලෝකයේ සැප ලැබ­ග­න්නට
කිතු­නුවො නත්තලෙ පෙරුම් පුරයි...

මුණ­සිංහ නිශ්ශංක


 අහෝ!

අරු­මෝ­සම් වැසි මැද
හැලේ ලස්ස­නට නත්තල
දුගී පැලට වැටී උඳු­වප් සඳ
බෙදයි හැම තැනම
ඩිස්ක­වුන්ට් මැද


මංජුල සෙනෙ­වි­රත්න


උඳු­වප් සිරි­සර

සුවඳ මුසු පැහැ කුසුම් දහ­ස­කුත් පිපි-පිපී
ලොව දයාලු ගුණය සඳ රැසට කැවෙ­නවා
යුගැසි පිය සීනිද්ද පන් වගේ කුඩා කර
පිය නඟති බැති­මත්තු පුද­සුන් ම පිරි­වරා

කර­ද­රෙන් සහ­මු­ලින් මිදී ගොස් සව්සත්හු
නිවි-නිවී සුප­හන්ව සැන­සු­මට තුරුලු වෙති
නත්තලේ සහ­න­යෙන් සංසි­ඳුම් ලබ-ලබා
සහ­ල­ඟුරු පවා හැම තැනම හිම කැටි වෙලා

ඇම්. අසෝක ද සිල්වා


තරු විසි­තුරු

තරු විසි­තු­රුව විසිරී ගිය ගගන තලේ
සුවි­සුදු දිමුතු තරු­වක් හිස මුදුනෙ දිලේ
විය­තුන් නැඟුණු ඔටු තව­ලම් පැදෙන වෙලේ
අරු­මැසි වෙසකි! ඒ දින රැය රැය පහළ කළේ

ලොකු සුදු තරුව නැවතී ගව­මැ­ඳුරු හිස
හෙමි­හිට පහත් වී බිලි­ඳුන් සිරස පිස
දුන් පසු තිළිණ කොට දුර දිග දකින ඇස
අත්වැල් බැඳ ගැනිණි! ලෝකය දස'නුදෙස

ප්‍රේමය දයා‍වය ලෝකය දිනන මඟ
පහ­සුය එයින් ලැබ­ග­න්නට සුවය අග
කුරු­සිය කර ගැසූ කිතු සමි­ඳු­නගෙ ඇඟ
අල්තා­ර­යක් විණි මේ මුළු ලොව‍ට අග

ඔබගේ අස­ල්වැසි සොහො­යුරු කැල සෙවණේ
ආද­ර­ණීය ඇම­තුම් මානව සසුනේ
සුවි­සෙස් පද වැලය! පිවි­තුරු කිතු දසුනේ
නත්තල් අසිරි සිරි මැද තුඬ තුඬ ඇසුණේ

පැල්පත මහ­මැ­ඳුරු නත්තල් සඳ­එ­ළියේ
එක තර­ම­ටම පෙනෙයි ලොව­ටම පැහැ­දි­ලියේ
සැන­සුම් පවන් රැලි දිව එයි සිලි­සි­ලියේ
සුව­ඳයි! රෝස මල් කල්වරි කඳු­රැ­ළියේ

මාදම්පේ ඊබට් ‍ෙෂල්ටන්


එතෙර කවිය

නත්තල් සමය
නොවැ­ම්බ­රයේ අග
වාත­ලය පිස දැනෙන
නත්තල ය

එහෙත් වස­ර­කට වරකි එය
ඇත බොහෝ දේ කර­න්නට
තෑගි සුබ­පැ­තුම් ඈ නෙක

එහෙත් කල­බ­ල­ය­කින් මෙන් ඇරඹ
විටෙක නීරස හැඟුම් වේ දැනෙන
එහෙත් කළ පසුව බොහො දේ
ලද හැකිය ඉතා කෙටි විවේ­කය

පෙම්බ­රම දේ වේය සිය­ල්ලම
නත්ත­ලෙහි, යළිත් සිහි කරන විට
විඳින්න, සියලු සංගීත රාව­යන්
එහි නිහඬ බව
ගයන්න රැඩොල්ෆ් ගැන
ඥාන­වන්ත රජ තිදෙන ගැන
ඉඩ දෙන්න දැල්වෙන්න ආලෝ­ක­යෙන්
ඔබේ නිවෙ­ව­සට, මිදු­ලට, නත්තල් ගසට
දැනෙ­නවා නොවෙද මායා­වක්ව පරි­ස­රය
එකඟ විය හැකිය ඔබට මට
මෙයයි නත්තල

(2015 වස­රේදි ජූලි හර්බට් විසින් ලියන ලද It's Christmas Time කවිය අනු­සා­ර­යෙනි )


ලුසි­යානා ප්‍රාන්තයේ කුඩා නග­ර­යක ඉපිද, පසුව සැන් ෆ්රැන්සිස්කෝ නුව­රට සංක්‍ර­ම­ණය වී නාට්‍ය රච­න­යෙහි යෙදෙන ජූලි හර්බට් සම්මා­න­නීය ඇම­රි­කානු ලේඛි­කා­වකි; තිර­කතා රචි­කා­වකි; රූප­වා­හිනී වැඩ­ස­ට­හන් රචි­කා­වක සහ අධ්‍ය­ක්ෂ­ව­රි­යකි. ඇගේ මූලික විෂ­යය කාව්‍ය­ක­ර­ණය නොවූ­වත්, අන්ත­ර්ජා­ලය ඔස්සේ සිය කාව්‍ය ප්‍රති­භාව නිර­න්ත­ර­යෙන් විදහා දක්ව­න්නි­යකි.
මලිඳු කාවින්ද කුමා­ර­සිංහ


ජේසු සමිඳු


අත්හළ සිය සැප මෙරමා සැප පිණිස
සිත් තුළ උප­දිනා අව­ගුණ කළ විනිස
මෙත්-මල ජේසු බිලි­ඳුන් බිහි වුණ දවස
නත්තල උදා­වයි සුව දෙයි පෙම් පහස

සාමයෙ ගමන දස­ප­න­තින් පෙහෙළි කළ
ප්‍රේමයෙ නාම­යෙන් වෛරය ඉවත හළ
දාමයෙ මුතු ලෙසින් ගළ­පන මිනිසි කැල
නාමය සමි­ඳුගේ බැබළේ ගග­න­ තල

ජන දිවි සරු කරන මනු­ස­ත්කම් සැවොමා
ගුණ­නු­ව­ණින් හැඳින දෙසු මුනි ජේසු තුමා
දිනු දින සම­රන්න ලෝ දන එක්ව සැමා
නත්තල් පහන් දල්වති අඳුර බිඳ දමා

සාමය තිර කරමු අස­මඟි හැර දමමු
ප්‍රේමයෙ සිසිල විඳ සැන­සිලි සුව විඳිමු
ලෝකෙම නත්තලේ එළි­යෙන් බබ­ළ­වමු
නාමය ජේසු සමි­ඳුන් නිති සිහි කරමු


විමල් රූබ­සිංහ


 
මතක සැම­රුම්


නොසිතූ නොපැතූ මොහො­තක අප රටට කඩා පැන්න සුනාමි ව්‍යස­නය කළ විනා­ශය මේ යැයි කිව නොහැකි ය. වියරු වූ මුහුදු රළ බිලි ගත් ජීවිත සංඛ්‍යාව සුවි­ශාල ය. මේ විප­තින් රට ම කම්පා විය. දෙද­හස් හතර වසරේ සිදු වූ මේ විප­තින් කම්පා­වට පත් වූවන් අතර සිටි, මහ­කවි පණ්ඩිත විමල් අභ­බ­ය­සු­න්දර කිවිඳු තම හිත­ව­තකු වූ වාමාං­ශික දේශ­පා­ල­න­ඥ­යකු, කවි­යකු මෙන් ම ලේඛ­ක­යකු ද වූ මල­ල්ගොඩ බන්දු­ති­ලක සූරීන්ට මේ ව්‍යස­නය පිළි­බඳ ලිපි­යක් ලීවේ ය. එව­කට අක්ෂි සැත්ක­මක් සිදු කිරීම සඳහා මල­ල්ගොඩ කවියා ඉන්දි­යාවේ රෝහ­ල­කට ඇතු­ළත්ව ප්‍රති­කාර ලබ­මින් සිටියේ ය. එමෙන් ම කලක් 'සිළු­මිණ' පුව­ත්පතේ කතු පද­විය ඉසිලූ වජිර පැල්පිට කවියා ද ඒ රෝහලේ ම ප්‍රති­කාර ලබ­මින් සිටියේ ය. පණ්ඩිත අභ­ය­සු­න්දර කවියා තම කවි­මි­තු­රන්ට සෙත් පත­මින් ම රටට සිදු ව ඇති විපත පිළි­බඳ කවි දෙකක් ලීවේ ය. එව­කට කවියා අසූ අට වැනි වියේ පසු වූයේ ය. ඔහු මේ කවි හසුන ලියූවේ 2005 වසරේ ජන­වාරි 5 වැනි දා ය. මේ ලිපිය අප වෙත යොමු කරන ලද්දේ කවි­යාගේ පුත් පුලස්ති අභ­ය­සු­න්දර විසිනි.

සෙත් වේවා!
තෙරු­වන් සර­ණින්
ප්‍රිය 'ලංකා' සහ 'බන්දු',

සුබ සෙත සැප ලැබී තෙරු­වන් බල රැන්දූ
සදිසි ව උදා වුණු වස­රෙහි පුර ඉන්දූ
සිටිය ද පිට රටක සදෙ­සට සිත බැන්දූ
සුව සේ දිනෙත්වා 'ලංකා' සහ 'බන්දූ'

ගන කඩ බොල්පො­ළොව ලෝ දිය මුහුද කිපී
සුනා­මි­යෙන් කළ දළ රළ පහර හැපී
මේ කල්පයේ දරුණු ම විප­ත­කට අපී
සැබැ­වින් මුහුණ දුන්නෙමු එඩි මතිනි පිපී

විපත සියැ­සින් ම දැක බලා ගත යුත්තකි. සහන කට­යුතු දැන් රට පුරා ක්‍රියා­ත්මකය . කෙසේ වෙතත්, නිය­මිත ප්‍රති­කාර ලබා­ගෙන, පූර්ණ සුව ලබා ආ පසු එන්න. හිත­වත් වජිර පැල්පි­ටට සෙත් පත­මින් මතක් කළ බව කියන්න.


විමල් අභ­ය­සු­න්දර


සුනා­මි­යෙන් පසු

පිම්මට ආ සුනා­මි­යට මා පම­ණක් හැර තියා
අම්ම-අප්ප සම­ගම මුළු සේසත මුහු­දට ගියා
ගැම්ම තිබු නිසා සිත තුළ ජීවත් වන්නට කියා
ඇම්ම හිසේ බිම තැබුවා ඔබ ආ දින ම සොයා

එදා සිටම අම්මත් මගෙ අප්ප­ච්චිත් ඔබ තමා
නොදා දුකට මට පෙන්වූ කරු­ණා­වත් නැත නිමා
හදා ගත්තු හිත හයි­යයි කඳු­ළින් දෙනු­වන තෙමා
බෙදා­ග­නිමු අපි දුක සැප ගිය දේ යට කර දමා

ආම්පන්න කර ගහ­ගෙන වෙරළේ ඇති ඔරු­වට
හීන්සැරේ ඔබ යන්නේ නොගි­හිල්ලා බැරු­වට
පාන් සමග සම්බෝ­ලය පොදි බැඳ දී සරු­වට
වාන් දමන දුක හිර කර හිනැ­හෙ­න්නෙමි බොරු­වට

සීත සුළං ගෙට එබෙන්නෙ වහලේ පොල් අතු උහා
බීත සිතින් කන් යොමන්නෙ මුහුදේ හැඬු­මට මහා
ඈත හිටං මට ඇහෙන්නෙ ඔබෙ හඬ දිය­ඹෙන් එහා
බූත සිතුම් හිත දවන්නෙ බිය­කරු සිති­විලි සහා

කාත් නැතුව තනි රකින්න පැල්පත තුල හිර­වෙලා
මාත් ඉන්නෙ අඩ­නින්දේ නිදි මත නෙත් බර වෙලා
රාත්ති­රියෙ මුහුදු ගිහින් ඔබ එයි ඔරු පුර­වලා
ඒත් ඊයෙ හවස යද්දි හිනැ­හුණු මුව පර වෙලා

කොතෙක් හඬ­න්නද දිවි­යම කඳු­ළින් දිය වී ගියා
මතක් කරන්නේ නෑ යළි සුනාමි ආවයි කියා
බතක් හදා­ගෙන වේලට මාළුව ඇඹු­ලට උයා
හිතක් ඇතුව ඔබ ළඟ ඉමි අතී­ත­යට තිත තියා


රත්නා ලංකා අබේ­වි­ක්‍රම


දෙවි­ඳුන් ජීව­මා­නය

මේ බෙත්ලෙ­හෙම
උඳු­වප් මහෙත් හරි සීත­ලයි
වල්ගා­ත­රු­වක් අරන් දෝතට
සිනා සී අත දිගු කරයි
ලොව පහන් වන්නේ
ගව­හ­ලක උණු­සුම අර­ගෙ­නයි...

ගලා­ගෙන වැක්කෙ­රෙන සඳ දියර
පොළොවෙ මල් මත තොල් තියයි
ජෙරු­සු­ලමේ දුගි­යන් අතර
දෙවිදු නාමය සදා­ත­නි­කයි...

ගීතිකා යාතිකා පිරි මේ ලෝකයේ
කුරු­සියේ බර දරා­ගෙන
ඔහු ඉපිද තිබුණා
දහස් මිනි­සුන් නාම­යෙන්
යම් දිනෙක ඔහු දිවි පුදන බව
ඒ උපත තුළ ලියැවී තිබුණා...

දෙසැ­ම්බ­රයේ නත්තල
ජෙරු­ස­ල­ම­ට ම විත­රක් නෙමෙයි
මුළු ලෝක­යට ම
බොහෝ පණි­විඩ ලියා තිබුණා....


ශ්‍යාමා රන­පති


සැබෑ නත්තල

දෙතිස් වද අත් කළ
කල්ව­රියෙ මංපෙ­ත්වල
දෙව්පු­තුගෙ නෙත් තුළ
ලියැ­වුණා පණි­වි­ඩය නත්තල

හැම දනගෙ සිත් තුළ
යහ­පත් හැඟුම් වත් කළ
දුගී දුප්පත් පැල
වෙතට ගොඩ වෙනු මැනවි නත්තල

දන­ව­තුන් බත් බැළ
පිරි­සය කියා අත්හළ
කුඩා පැල්ප­ත්වල
දරු­ව­නට බත් බෙදනු නත්තල

නැවුම් පස කෙත්වල
ඩා-බිඳු­ලින් තෙත් කළ
ගොවි­ය­නගෙ අත්වල
රිදෙන කර­ගැට සිඹිනු නත්තල

යුදට ගිය පුත් කැල
මවු­බිම නමින් අත්හළ
මවු­ව­රුන් නෙත්වල
නැ‍ඟෙන කඳු­ළැලි පිසිනු නත්තල

ගව­ලෙ­නක හොත් කල
නැඟී සිටු­මට තැත් කළ
දෙව්ම­වගෙ අත්වල
සෙවණ ලොව­ටම සදනු නත්තල


ශ්‍රියා හිඳු­රං­ගල


දිළිඳුන් හිනැහෙන...

ගව­හලේ පුතෙක් හඬයි රැයේ
හරි ලස්ස­නයි සිනහ මවයි මුවේ
තරු දිලෙනා අහසේ
පිනි කැට වැටෙනා අඳුරේ
සමා­දාන ගීතිකා රැව් දේ..

සළු­පිළි දවටා මිණි මුතු පලඳා
අපි යනවා ජය ජයට ම පල්ලි
සාමයේ කුමරා හද තුළ නැති දා
නත්තල් නැහැ ලැබිලා සිත්හී
අඳුරේ අඳුරේ වැලපේ...

ක්‍රෝධය මානය සිත් තුළ දැල්වී
මන­සුන් මිනි­සු­න්යයි සුන් වී
දිළි­ඳුන් හිනැ­හෙන මෙත් මල් පිබි­දෙන
දස අත සිත සිසි­ලෙන් සැනහි‍
වේවා... වේවා... නත්තල්


සුද­ර්ශන බිය­න්විල


සාමය

සාමය දෙව්වි­ම­නක් නම්
එහි හිමි­ක­රු­වෙකි
බෙත්ලෙ­හෙමේ...
පුංචි ගව­ලෙනේ
උපන් ජේසු බිලින්දා‍‍‍....
ගම්ද­නව් සැරි සරා
සාම­යෙන් ලොව දිනන
කටු­ඔ­ටුනු හිස දරා
ලෝක­යක් සැන­සෙව්වා...

සඳ­රු­වන් කරු­ණා­ති­ලක


කුමරු ඉපදුණා!

තරු කැල්මෙන් එකලු වී ගුවන හෙළි වුණා
මඳ නල සිප සීතලේ තුරු­ලිය නැමුණා
සීනු හඬින් බෙත්ලෙ­හෙමේ තුති ගී ගැයුණා
නත්තලේ සාමයේ කුමරු ඉප­දුණා

නන්දි අලු­ත්ගෙ­දර 

Comments

පිටු