
ප්‍රේමය පතුරමු
සමරන නත්තල සොඳුරූ
ගවලෙන් දහසක් අනූරූ
තැනුවත් මිනිසුන් සොයුරූ
හද තුළ ගව ලෙන මහරූ...
අත්වැල් බැඳ හඳ පැමිණී
කර මුතු හර මෙන් බැබළී
නැති-බැරි සොහොයුරු සැවොමා නංවා-ලමු අත-හිත දී
දෑ-කුල-ආගම් නොතකා
සාමය සමඟිය වපුරා
සෙනෙහස දීපය දල්වා
ප්‍රේමය පතුරමු සැමදා...
බෙත්ලෙහෙමේ නුබ කුසෙහී
පෑ තනිතරුවක් විලසේ
හදගැබ අල්තාරයෙහි
කිතුසමිඳුන් වැඩ සිටිතී
රත්නපාල වික්‍රමසිංහ
වඩිනු මැන....
මිනිස් මහිම දෝතින් ගෙන
ලොවම එකළු කර දස අත
දහස් අතින් කිරණ ගලා
නක හිරු නැග එයි මිහිමත
වෙසෙස් සිනිදු සියපත් සිය
නැඟී සියළු කර විකසිත
උසස් ලෙසින් හොවා වඩී
නත්තල් අසිරිය ලොව වෙත...
සාමය සමගිය ළය වෙත
තුරුළු කරන් කුමරි මෙලෙස
ප්‍රේමය මෘදු පහස අරන්
ලෝසත වෙත වඩින විලස
මාලය මුතු පබළු පැළැඳි
සාම සමාදාන පලස
පා-ළය පුරවාලනු මැන
සව් සිරි සිරි මිහිරි කලස...
ප්‍රේමසිරි සිරිසේන
අසිරිය
උඳුවප් සඳරැස් මිහිකත රැඳුණා
සීතල නල වැල් දස අත බෙදුණා
කෝකිල කූජන දෙසවන් වැදුණා
නත්තල් අසිරිය දොර දොර ඇඳුණා
ගස් වැල් අතු අග මල් පිපී බබළති
වනමල් සුවඳය හැම තැන පිරි ඇති
මී-මැසි- බමරුන් මල් මත ගැවසෙති
නත්තල් සිරියෙන් නෙත් සිත් පිනවති
තුරුලිය පලබර වී ඔප කෙරුණා
ගොඩ මඩ සරු වී අටු-කොටු පිරුණා
බත-බුලතින් මගෙ රට සරු කෙරුණා
නන්තල් සිරියෙන් හදවත් සැලුණා
සාමය බැතී ගී හඬ පැතිරේවා
දුක්-කම්කටුලුය දුක් දුරු වේවා
හදවත් සොම්නස් මල් පිබිදේවා
නත්තල් සිරියෙන් ලොව බැබළේවා
සරත් ධර්මසේන
සාමයේ කුමරු..
සාමයෙ දහම ලොවට කියා දුන් නත්තල
අදහන රජයන ලොවකට සුබ ආරංචියයි නත්තල
පව් මල කිළිටි සිත් සෝදාන නත්තල
ජේසුගෙ උපත සමරමු සමගිව සැම නත්තල
ලූෂන් එඩ්වඩ් පෙරේරා
සාමයේ කුමරු බිහි විය
උඳුවප් මහේ සීතල දවසක
බෙත්ලෙහෙමේ ගවලෙනක් තුළින්
මැදියම් රැය ගෙවෙනා මොහොතක
සාමයේ කුමරිඳු ලොව බිහි විය..
මරිය මවුතුමියගෙ ඇකයේ
ජේසු කුමරු හඬනා විට දී
වල්ගා තරුවක් අඹරේ පායා
ලෝකය වෙත සුබ ලකුණු පෙනේ...
කිතු සමිඳු දෙසූ දම්කඳ ලොව වෙත
ශ්‍රවණය කර දන සවන් පුරා
ස්වර්ග ලෝකයේ සැප ලැබගන්නට
කිතුනුවො නත්තලෙ පෙරුම් පුරයි...
මුණසිංහ නිශ්ශංක
සාමයේ කුමරු බිහි විය
උඳුවප් මහේ සීතල දවසක
බෙත්ලෙහෙමේ ගවලෙනක් තුළින්
මැදියම් රැය ගෙවෙනා මොහොතක
සාමයේ කුමරිඳු ලොව බිහි විය..
මරිය මවුතුමියගෙ ඇකයේ
ජේසු කුමරු හඬනා විට දී
වල්ගා තරුවක් අඹරේ පායා
ලෝකය වෙත සුබ ලකුණු පෙනේ...
කිතු සමිඳු දෙසූ දම්කඳ ලොව වෙත
ශ්‍රවණය කර දන සවන් පුරා
ස්වර්ග ලෝකයේ සැප ලැබගන්නට
කිතුනුවො නත්තලෙ පෙරුම් පුරයි...
මුණසිංහ නිශ්ශංක
අහෝ!
අරුමෝසම් වැසි මැද
හැලේ ලස්සනට නත්තල
දුගී පැලට වැටී උඳුවප් සඳ
බෙදයි හැම තැනම
ඩිස්කවුන්ට් මැද
මංජුල සෙනෙවිරත්න
උඳුවප් සිරිසර
සුවඳ මුසු පැහැ කුසුම් දහසකුත් පිපි-පිපී
ලොව දයාලු ගුණය සඳ රැසට කැවෙනවා
යුගැසි පිය සීනිද්ද පන් වගේ කුඩා කර
පිය නඟති බැතිමත්තු පුදසුන් ම පිරිවරා
කරදරෙන් සහමුලින් මිදී ගොස් සව්සත්හු
නිවි-නිවී සුපහන්ව සැනසුමට තුරුලු වෙති
නත්තලේ සහනයෙන් සංසිඳුම් ලබ-ලබා
සහලඟුරු පවා හැම තැනම හිම කැටි වෙලා
ඇම්. අසෝක ද සිල්වා
තරු විසිතුරු
තරු විසිතුරුව විසිරී ගිය ගගන තලේ
සුවිසුදු දිමුතු තරුවක් හිස මුදුනෙ දිලේ
වියතුන් නැඟුණු ඔටු තවලම් පැදෙන වෙලේ
අරුමැසි වෙසකි! ඒ දින රැය රැය පහළ කළේ
ලොකු සුදු තරුව නැවතී ගවමැඳුරු හිස
හෙමිහිට පහත් වී බිලිඳුන් සිරස පිස
දුන් පසු තිළිණ කොට දුර දිග දකින ඇස
අත්වැල් බැඳ ගැනිණි! ලෝකය දස'නුදෙස
ප්‍රේමය දයාවය ලෝකය දිනන මඟ
පහසුය එයින් ලැබගන්නට සුවය අග
කුරුසිය කර ගැසූ කිතු සමිඳුනගෙ ඇඟ
අල්තාරයක් විණි මේ මුළු ලොවට අග
ඔබගේ අසල්වැසි සොහොයුරු කැල සෙවණේ
ආදරණීය ඇමතුම් මානව සසුනේ
සුවිසෙස් පද වැලය! පිවිතුරු කිතු දසුනේ
නත්තල් අසිරි සිරි මැද තුඬ තුඬ ඇසුණේ
පැල්පත මහමැඳුරු නත්තල් සඳඑළියේ
එක තරමටම පෙනෙයි ලොවටම පැහැදිලියේ
සැනසුම් පවන් රැලි දිව එයි සිලිසිලියේ
සුවඳයි! රෝස මල් කල්වරි කඳුරැළියේ
මාදම්පේ ඊබට් ෙෂල්ටන්
එතෙර කවිය
නත්තල් සමය
නොවැම්බරයේ අග
වාතලය පිස දැනෙන
නත්තල ය
එහෙත් වසරකට වරකි එය
ඇත බොහෝ දේ කරන්නට
තෑගි සුබපැතුම් ඈ නෙක
එහෙත් කලබලයකින් මෙන් ඇරඹ
විටෙක නීරස හැඟුම් වේ දැනෙන
එහෙත් කළ පසුව බොහො දේ
ලද හැකිය ඉතා කෙටි විවේකය
පෙම්බරම දේ වේය සියල්ලම
නත්තලෙහි, යළිත් සිහි කරන විට
විඳින්න, සියලු සංගීත රාවයන්
එහි නිහඬ බව
ගයන්න රැඩොල්ෆ් ගැන
ඥානවන්ත රජ තිදෙන ගැන
ඉඩ දෙන්න දැල්වෙන්න ආලෝකයෙන්
ඔබේ නිවෙවසට, මිදුලට, නත්තල් ගසට
දැනෙනවා නොවෙද මායාවක්ව පරිසරය
එකඟ විය හැකිය ඔබට මට
මෙයයි නත්තල
(2015 වසරේදි ජූලි හර්බට් විසින් ලියන ලද It's Christmas Time කවිය අනුසාරයෙනි )
ලුසියානා ප්‍රාන්තයේ කුඩා නගරයක ඉපිද, පසුව සැන් ෆ්රැන්සිස්කෝ නුවරට සංක්‍රමණය වී නාට්‍ය රචනයෙහි යෙදෙන ජූලි හර්බට් සම්මානනීය ඇමරිකානු ලේඛිකාවකි; තිරකතා රචිකාවකි; රූපවාහිනී වැඩසටහන් රචිකාවක සහ අධ්යක්ෂවරියකි. ඇගේ මූලික විෂයය කාව්‍යකරණය නොවූවත්, අන්තර්ජාලය ඔස්සේ සිය කාව්‍ය ප්‍රතිභාව නිරන්තරයෙන් විදහා දක්වන්නියකි.
මලිඳු කාවින්ද කුමාරසිංහ
ජේසු සමිඳු
අත්හළ සිය සැප මෙරමා සැප පිණිස
සිත් තුළ උපදිනා අවගුණ කළ විනිස
මෙත්-මල ජේසු බිලිඳුන් බිහි වුණ දවස
නත්තල උදාවයි සුව දෙයි පෙම් පහස
සාමයෙ ගමන දසපනතින් පෙහෙළි කළ
ප්‍රේමයෙ නාමයෙන් වෛරය ඉවත හළ
දාමයෙ මුතු ලෙසින් ගළපන මිනිසි කැල
නාමය සමිඳුගේ බැබළේ ගගන තල
ජන දිවි සරු කරන මනුසත්කම් සැවොමා
ගුණනුවණින් හැඳින දෙසු මුනි ජේසු තුමා
දිනු දින සමරන්න ලෝ දන එක්ව සැමා
නත්තල් පහන් දල්වති අඳුර බිඳ දමා
සාමය තිර කරමු අසමඟි හැර දමමු
ප්‍රේමයෙ සිසිල විඳ සැනසිලි සුව විඳිමු
ලෝකෙම නත්තලේ එළියෙන් බබළවමු
නාමය ජේසු සමිඳුන් නිති සිහි කරමු
විමල් රූබසිංහ
මතක සැමරුම්
නොසිතූ නොපැතූ මොහොතක අප රටට කඩා පැන්න සුනාමි ව්‍යසනය කළ විනාශය මේ යැයි කිව නොහැකි ය. වියරු වූ මුහුදු රළ බිලි ගත් ජීවිත සංඛ්‍යාව සුවිශාල ය. මේ විපතින් රට ම කම්පා විය. දෙදහස් හතර වසරේ සිදු වූ මේ විපතින් කම්පාවට පත් වූවන් අතර සිටි, මහකවි පණ්ඩිත විමල් අභබයසුන්දර කිවිඳු තම හිතවතකු වූ වාමාංශික දේශපාලනඥයකු, කවියකු මෙන් ම ලේඛකයකු ද වූ මලල්ගොඩ බන්දුතිලක සූරීන්ට මේ ව්‍යසනය පිළිබඳ ලිපියක් ලීවේ ය. එවකට අක්ෂි සැත්කමක් සිදු කිරීම සඳහා මලල්ගොඩ කවියා ඉන්දියාවේ රෝහලකට ඇතුළත්ව ප්‍රතිකාර ලබමින් සිටියේ ය. එමෙන් ම කලක් 'සිළුමිණ' පුවත්පතේ කතු පදවිය ඉසිලූ වජිර පැල්පිට කවියා ද ඒ රෝහලේ ම ප්‍රතිකාර ලබමින් සිටියේ ය. පණ්ඩිත අභයසුන්දර කවියා තම කවිමිතුරන්ට සෙත් පතමින් ම රටට සිදු ව ඇති විපත පිළිබඳ කවි දෙකක් ලීවේ ය. එවකට කවියා අසූ අට වැනි වියේ පසු වූයේ ය. ඔහු මේ කවි හසුන ලියූවේ 2005 වසරේ ජනවාරි 5 වැනි දා ය. මේ ලිපිය අප වෙත යොමු කරන ලද්දේ කවියාගේ පුත් පුලස්ති අභයසුන්දර විසිනි.
සෙත් වේවා!
තෙරුවන් සරණින්
ප්‍රිය 'ලංකා' සහ 'බන්දු',
සුබ සෙත සැප ලැබී තෙරුවන් බල රැන්දූ
සදිසි ව උදා වුණු වසරෙහි පුර ඉන්දූ
සිටිය ද පිට රටක සදෙසට සිත බැන්දූ
සුව සේ දිනෙත්වා 'ලංකා' සහ 'බන්දූ'
ගන කඩ බොල්පොළොව ලෝ දිය මුහුද කිපී
සුනාමියෙන් කළ දළ රළ පහර හැපී
මේ කල්පයේ දරුණු ම විපතකට අපී
සැබැවින් මුහුණ දුන්නෙමු එඩි මතිනි පිපී
විපත සියැසින් ම දැක බලා ගත යුත්තකි. සහන කටයුතු දැන් රට පුරා ක්‍රියාත්මකය . කෙසේ වෙතත්, නියමිත ප්‍රතිකාර ලබාගෙන, පූර්ණ සුව ලබා ආ පසු එන්න. හිතවත් වජිර පැල්පිටට සෙත් පතමින් මතක් කළ බව කියන්න.
විමල් අභයසුන්දර
සුනාමියෙන් පසු
පිම්මට ආ සුනාමියට මා පමණක් හැර තියා
අම්ම-අප්ප සමගම මුළු සේසත මුහුදට ගියා
ගැම්ම තිබු නිසා සිත තුළ ජීවත් වන්නට කියා
ඇම්ම හිසේ බිම තැබුවා ඔබ ආ දින ම සොයා
එදා සිටම අම්මත් මගෙ අප්පච්චිත් ඔබ තමා
නොදා දුකට මට පෙන්වූ කරුණාවත් නැත නිමා
හදා ගත්තු හිත හයියයි කඳුළින් දෙනුවන තෙමා
බෙදාගනිමු අපි දුක සැප ගිය දේ යට කර දමා
ආම්පන්න කර ගහගෙන වෙරළේ ඇති ඔරුවට
හීන්සැරේ ඔබ යන්නේ නොගිහිල්ලා බැරුවට
පාන් සමග සම්බෝලය පොදි බැඳ දී සරුවට
වාන් දමන දුක හිර කර හිනැහෙන්නෙමි බොරුවට
සීත සුළං ගෙට එබෙන්නෙ වහලේ පොල් අතු උහා
බීත සිතින් කන් යොමන්නෙ මුහුදේ හැඬුමට මහා
ඈත හිටං මට ඇහෙන්නෙ ඔබෙ හඬ දියඹෙන් එහා
බූත සිතුම් හිත දවන්නෙ බියකරු සිතිවිලි සහා
කාත් නැතුව තනි රකින්න පැල්පත තුල හිරවෙලා
මාත් ඉන්නෙ අඩනින්දේ නිදි මත නෙත් බර වෙලා
රාත්තිරියෙ මුහුදු ගිහින් ඔබ එයි ඔරු පුරවලා
ඒත් ඊයෙ හවස යද්දි හිනැහුණු මුව පර වෙලා
කොතෙක් හඬන්නද දිවියම කඳුළින් දිය වී ගියා
මතක් කරන්නේ නෑ යළි සුනාමි ආවයි කියා
බතක් හදාගෙන වේලට මාළුව ඇඹුලට උයා
හිතක් ඇතුව ඔබ ළඟ ඉමි අතීතයට තිත තියා
රත්නා ලංකා අබේවික්‍රම
දෙවිඳුන් ජීවමානය
මේ බෙත්ලෙහෙම
උඳුවප් මහෙත් හරි සීතලයි
වල්ගාතරුවක් අරන් දෝතට
සිනා සී අත දිගු කරයි
ලොව පහන් වන්නේ
ගවහලක උණුසුම අරගෙනයි...
ගලාගෙන වැක්කෙරෙන සඳ දියර
පොළොවෙ මල් මත තොල් තියයි
ජෙරුසුලමේ දුගියන් අතර
දෙවිදු නාමය සදාතනිකයි...
ගීතිකා යාතිකා පිරි මේ ලෝකයේ
කුරුසියේ බර දරාගෙන
ඔහු ඉපිද තිබුණා
දහස් මිනිසුන් නාමයෙන්
යම් දිනෙක ඔහු දිවි පුදන බව
ඒ උපත තුළ ලියැවී තිබුණා...
දෙසැම්බරයේ නත්තල
ජෙරුසලමට ම විතරක් නෙමෙයි
මුළු ලෝකයට ම
බොහෝ පණිවිඩ ලියා තිබුණා....
ශ්‍යාමා රනපති
සැබෑ නත්තල
දෙතිස් වද අත් කළ
කල්වරියෙ මංපෙත්වල
දෙව්පුතුගෙ නෙත් තුළ
ලියැවුණා පණිවිඩය නත්තල
හැම දනගෙ සිත් තුළ
යහපත් හැඟුම් වත් කළ
දුගී දුප්පත් පැල
වෙතට ගොඩ වෙනු මැනවි නත්තල
දනවතුන් බත් බැළ
පිරිසය කියා අත්හළ
කුඩා පැල්පත්වල
දරුවනට බත් බෙදනු නත්තල
නැවුම් පස කෙත්වල
ඩා-බිඳුලින් තෙත් කළ
ගොවියනගෙ අත්වල
රිදෙන කරගැට සිඹිනු නත්තල
යුදට ගිය පුත් කැල
මවුබිම නමින් අත්හළ
මවුවරුන් නෙත්වල
නැඟෙන කඳුළැලි පිසිනු නත්තල
ගවලෙනක හොත් කල
නැඟී සිටුමට තැත් කළ
දෙව්මවගෙ අත්වල
සෙවණ ලොවටම සදනු නත්තල
ශ්‍රියා හිඳුරංගල
දිළිඳුන් හිනැහෙන...
ගවහලේ පුතෙක් හඬයි රැයේ
හරි ලස්සනයි සිනහ මවයි මුවේ
තරු දිලෙනා අහසේ
පිනි කැට වැටෙනා අඳුරේ
සමාදාන ගීතිකා රැව් දේ..
සළුපිළි දවටා මිණි මුතු පලඳා
අපි යනවා ජය ජයට ම පල්ලි
සාමයේ කුමරා හද තුළ නැති දා
නත්තල් නැහැ ලැබිලා සිත්හී
අඳුරේ අඳුරේ වැලපේ...
ක්‍රෝධය මානය සිත් තුළ දැල්වී
මනසුන් මිනිසුන්යයි සුන් වී
දිළිඳුන් හිනැහෙන මෙත් මල් පිබිදෙන
දස අත සිත සිසිලෙන් සැනහි
වේවා... වේවා... නත්තල්
සුදර්ශන බියන්විල
සාමය
සාමය දෙව්විමනක් නම්
එහි හිමිකරුවෙකි
බෙත්ලෙහෙමේ...
පුංචි ගවලෙනේ
උපන් ජේසු බිලින්දා....
ගම්දනව් සැරි සරා
සාමයෙන් ලොව දිනන
කටුඔටුනු හිස දරා
ලෝකයක් සැනසෙව්වා...
සඳරුවන් කරුණාතිලක
කුමරු ඉපදුණා!
තරු කැල්මෙන් එකලු වී ගුවන හෙළි වුණා
මඳ නල සිප සීතලේ තුරුලිය නැමුණා
සීනු හඬින් බෙත්ලෙහෙමේ තුති ගී ගැයුණා
නත්තලේ සාමයේ කුමරු ඉපදුණා
නන්දි අලුත්ගෙදර