ශ්‍රී ලංකාභිමානි ශ්‍රීමත් ආතර් සී ක්ලාක් | සිළුමිණ

ශ්‍රී ලංකාභිමානි ශ්‍රීමත් ආතර් සී ක්ලාක්

විද්‍යාඥයකු, විද්‍යා ප්‍රබන්ධකරුවකු මෙන්ම සඵල වු විශිෂ්ට විද්‍යා අනාවැකිකරුවකු ලෙස විවිධ විෂයක්ෂේත්‍රයන්හි විශ්ව කීර්තියට පත් ශ්‍රීමත් ආතර් සී ක්ලාක් ‍ලොව වඩාත්ම ප්‍රසිද්ධ වූයේ 1945දී “වයර්ලස් වර්ල්ඩ්” (wireless world) සඟරාවට ලිපියක් යවමින් ඉදිරිපත් කළ චන්ද්‍රිකා ත්‍රිත්වයක් භාවිතා කරමින් කළ හැකි අන්තර් මහාද්වීපික විද්යුත් සන්නිවේදන ශක්‍යතාව පිළිබඳ ඓතිහාසික සංකල්පයක් වන “භූ ස්ථාවර චන්ද්‍රිකා” සංකල්පය නිසයි.

විශ්ව කීර්තියට පත් ආතර් සී ක්ලාක් 50 දශකයෙන් පසු ජීවිත කාලයෙන් වැඩි කාලයක් ශ්‍රී ලංකාව තුළ ජීවත් වෙමින් විද්‍යා හා තාක්ෂණ ක්ෂේත්‍රයට කළ මෙහෙය සැලකිල්ලට ගනිමින් ලංකාවේ ඉහළම පුරවැසි සම්මානය වන ශ්‍රී ලංකා අභිමාන්‍ය යන සම්මානයෙන් පිදුම් ලැබීය.

එංගලන්තයේ බටහිර ප්‍රදේශයේ සමර්සෙට් ප්‍රාන්තයේ “මයින්හෙඩ්” නම් ගම්මානයේදී 1917 දෙසැම්බර් 16 වැනිදා උපන් ආතර් චාල්ස් ක්ලාක් මහතාගේ පියා “චාල්ස් රයිට් ක්ලාක්” සහ මව “නෝරා මේරි” (විල්ස්) ය. ක්ලාක්ට යන්තම් අවුරුදු 13 ලබන විට, තැපැල් දෙපර්තමේන්තුවේ ඉංජිනේරුවරයකු වු ඔහුගේ පියා අකාලයේ මිය ගියේය. මේ හේතුවෙන් දරුවන් සිව් දෙනකුගෙන් යුත් පවුලේ වැඩිමලා ලෙස ක්ලාක්ට කුඩා කාලයේදීම පවුලේ බර දරන්නට සිදු විය. ඔහුගේ පාළුව හා තනිකම මකාගැනීමට තම පියාට අයත් ගොවිපළයෙහිදී මිතුරන් සමඟ රොකට් නිර්මාණයක් කර යැවීමටත් රාත්‍රී අහස නිරීක්ෂණය කිරීමටත් පුරුදු විය. කුඩා ආතර් “මයින් හෙඩ්හි” පිහිටි “හුයිෂ් ග්රැමර් ස්කූල්” පාසැලෙන් මූලික අධ්‍යාපනය ලබා කීන්ස් විශ්වවිද්‍යාලයෙන් භෞතික විද්‍යාව පිළිබඳ ගෞරව උපාධියක් ලබාගත් ක්ලාක් එංගලන්ත රාජකීය ගුවන් හමුදාවේ රේඩාර් විශේෂඥයෙකු ලෙස සේවය කරමින් විවිධ පැතිකඩයන් ඔස්සේ තම හැකියාවන් ලෝකයා හමුවේ ප්‍රදර්ශනය කළ අයෙකි.

1948දී කිංස් කොලේජ් සරසවියෙන් භෞතික විද්‍යාවෙන් පළමු පෙළ ගෞරව උපාධියක්ද ලබාගත්තේය. ක්ලාක් මහතා බ්‍රිතාන්‍ය අන්තර්-ග්‍රහලෝක සංගමයටද බැඳී අනාගත අභ්‍යවකාශ තරණය පිළිබඳ වැඩිදුර පර්යේෂණ දියත් කළ අතර, ඔහුගේ විද්‍යාත්මක ගමන්මඟට නව පෙරළියක් එක් කළේ 1945 වසරේ “වයර්ලස් වර්ල්ඩ්” (wireless world) සඟරාව මඟින් ලෝකයට හඳුන්වා දුන් “භූ ස්ථාවර චන්ද්‍රිකා” සංකල්පයයි. ඒ සංකල්පය මත යමින් අද ‍ලෝකයම එකම සන්නිවේදන ජාලයක්, සන්නිවේදන පවුලක් බවට පත් කිරීමට සමත් වී ඇති අතර, එය ඔහු “චන්ද්‍රිකා සන්නිවේදනයේ පියා” ලෙස හැඳින්වීමට තරම් වාසනාව ගෙනාවේය.

අන්තර් සී ක්ලාක් මහතා දක්ෂ කිමිදුම්කරුවෙකි. 1954දී දියයට කිමිදීමට ඔස්ට්‍රෙලියාවේ මහා බාධක පරය වෙත “හිමාලයා” නම් නැවෙන් ගමන් ගන්නා අතර අහම්බෙන් ශ්‍රී ලංකාවට පැමිණි ක්ලාක් මහතා 1956දී ශ්‍රී ලංකාවේ ස්ථිර පදිංචියට පැමිණියේ ශ්‍රී ලංකාව ඔහුගේ සිත් ගත්ම රට වු බැවිනි. 1975දී ශ්‍රී ලංකාවේ ගෞරවනීය පුරවැසි භාවය ලද ක්ලාක් මහතා 2008 මාර්තු 19 දින මිය යන තෙක්ම ශ්‍රී ලංකාවේ ජීවත් විය. විදෙස් රටවලින් කළ ආරාධනා ප්‍රතික්ෂේප කළ ඔහු කිසිදා ශ්‍රී ලංකා‍ව හැරගියේ නැත. ශ්‍රී ලංක‍ාව විද්‍යාවෙන් ලෝකය අතරට ගෙන යෑමට උත්සාහ දැරු මහා ප්‍රාඥයකු ලෙස ආතර් සී ක්ලාක් හඳුන්වා දිය හැකිය.

වර්ෂ 1982දී යුනෙස්කෝව විසින් “කාලිංග” සම්මානයත්, චන්ද්‍රිකා සන්නිවේදනය වෙනුවෙන් 1982දී “මාර්කෝනි” සම්මානයත්, 1986දී විද්‍යාජෝති සම්මානයත්, 1998දී බ්‍රිතාන්‍ය මහ රැජන විසින් පිරිනැමූ “නයිට්” පදවියත්, ශ්‍රී ලංකාවේ ඉහළම පුරවැසි සම්මානය වන 2005 වසරේ පිරිනැමු “ශ්‍රී ලංකා අභිමාන්‍ය” සම්මානයත් ක්ලාක් මහතා වෙත පුදනු ලැබීය. එතුමාට පිරිනැමුණු තවත් සුවිශේෂ සජීව උපහාරයක් වන්නේ නවීන තාක්ෂණ පිළිබඳ පර්යේෂණ සංවර්ධන මෙන්ම පුහුණු කටයුතු සඳහා වන ව්‍යවස්ථාපිත රාජ්‍ය ආයතනය වන නවීන තාක්ෂණ පිළිබඳ ආතර් සී ක්ලාක් 1979 සිට 2002 වසර දක්වා දශක දෙකකට වැඩි කාලයක් මෙ‍ාරටු විශ්වවිද්‍යාලයේ කුලපතිවරයා ලෙසද කටයුතු කරන ලදි.

චින්තන විජයවර්ධන 

Comments