
‘පාසලක් වැසීම යනු සිර ගෙවල් දහසක් ඇරීමක්‘ යැයි කතාවක් ඇත්තේ අනාගතයේ ඇතිවන්නාවූ බොහෝ ව්‍යසනයන්ට අනතුරු ඇඟවීමක් ද සපයමිණි. ළමයින්ට නිසි වයසේ අධ්‍යාපනය නොදී හිංසනයන්ට ලක්කිරීම හා අපරාධ වලට යොදා ගැනීම තුළින් ළමයින්ට සිය ළමා කාලය අහිමි වන අතර ඔවුහු අවසානයේ සමාජගත වන්නේ දරුණු අපරාධකරුවන් ලෙසිනි. කුඩා දරුවෙකු නීතිය ඉදිරියේ පිළිගනු ලබන්නේ දෙමවුපිය වැඩිහිටි රැකවරණය ලැබිය යුතු පිරිසක් ලෙස වුවද සැම විටම එසේ වන්නේ නැත. වර්තමානයේ සිදුවූ බොහෝ ළමා අපචාර හා අපයෝජන වලට හේතුවක් වී ඇත්තේ මෙසේ දරුවන්ට ලැබිය යුතු වූ සෙනෙහස අහිමි වීමය. බාල වියේදීම සිය දරුවා දුරු රටක දිසාපාමොක් ඇදුරාට භාර දී සිප් සතර කරවූ යුගයක් අපට තිබුණි. දෙවුන්දර තුඩුවේ සිට පේදුරු තුඩුව දක්වා භියෙන් සැකයෙන් තොරව ගමන් බිමන් ගිය යුගයක්ද අපට තිබුණි. එහෙත් අද ඒ සියල්ල කාලයාගේ වැලි තලාවෙන් වැසි ගොස් ය. අප රට වසර තිහක යුධ මානසිකත්වයෙන් සිටි යුගයක මෙවැනි සදාචාර සම්පන්න ගති අපේක්ෂා කළ නොහැක්කේ යැයි සමාජ විද්‍යාඥයන් පවා පවසතත් ඒ ඔස්සේ ගොඩනැගුණු විකෘති මානසිකත්වයෙන් අද රටේ දරු සම්පතට හඬඟා කියන්නේ මහා භයානක විපත්තයකි අනතුරු ඇඟැවීමකි.
ක්‍රෑරත්වය
වර්තමානයේ ‘හොඳම දේ ළමයින්ට යැයි‘ පැවැසුවද මෙවැනි මල් පොඩි තලා පෙලා දමන්නේ ඉතා බිහිසුණු ආකාරයටය. රටක ජාතික සම්පත් අතර ප්‍රමුඛ වන්නේ රටේ දරුවන් ය. එම උත්තරීතර ප්‍රාණය බඳු දරුවන්ට අද අත්වී ඇති ඉරණම දිනෙන් දින විසදෙන්නේ ඉතා සැහැසි හා කුරිරු ආකාරයෙනි. මතුගම සමන් කුමාරගේ ඝාතනයෙන් මතුවි ආ ළමා ඝාතන රැල්ල ඉන් අනතුරුව යාපනය පුන්කුඩතිව් හි විද්‍යා ශිවලෝගනාදන් ඝාතනයේ සිට කොටදෙනියාවේ සේයා සදෙව්මිනි ඝාතනය දක්වාත් දිව ගියේය. හදවත් ඇත්තන්ගේ හදවත් කම්පා කළ මේ ළමා අපරාධ රැල්ලට තවමත් අවසානයක් නැත. ජාතික ළමා රක්ෂක අධිකාරියට මේ වසර අග දක්වා වාර්තා වූ පැමිණිලි සංඛ්‍යාවමෙහි භයංකරත්වය මොනවට පැහැදිලි කරන්නකි. මෙයින් වැඩිම පැමිණිලි සංඛ්‍යාව වාර්තා වී ඇත්තේ දරුවන් කෘරත්වයට පත්කිරීම සම්බන්ධයෙනි. ඒ ළමා අපයෝජන පැමිණිලි 8548 න් පැමිණිලි 2037 ක්ම වාර්තා වී ඇත්තේ දරුවන්ට කෘර ආකාරයේ වද හිංසාවන්ට ලක්කරීම ගැනයි.
දරුවෙකුට මානසිකව දරාගත නොහැකි ආකාරයෙන් බැණ වැදිම්, පහර දීම්, කොන්කිරීම් යන ශාරීරික හා මානසික පීඩාවන් මෙම කෘරත්වය යටතට ගැනෙන අතර ඕනෑම වයසක දරුවෙකුට ඕනෑම ස්ථානයක මෙවැනි අනතුරක් ඇතිවීමේ ඉඩකඩ බහුලය. මේ පිළිබඳ අදහස් දක්වන ජාතික ළමා රක්ෂක අධිකාරියේ නීතිය බලාත්මක කිරීමේ අංශයේ අධ්‍යක්ෂ නිතීඥ යසාලි අඹේසුන්දර පවසන්නේ සෑම වසරකට ළමා රක්ෂක අධිකාරියට ලැබෙන පැමිණිලි වලින් බහුතරයක්ම වාර්තා වන්නේ දරුවන් කෘරත්වයට පත්කිරිම පිළිබඳවයි. “දරුවන්ට කෘරත්වයෙන් සැලකීම හරිම ඛේදනීය තත්ත්වයක්. අපේ රටේ මේ වසරේ ළමා අපරාධ වලින් බහුතරයක් ඒ කියන්නේ 9000 කට ආසන්න සංඛ්‍යාවකින් 2000ට වැඩි සංඛ්‍යාවක් වාර්තා වී ඇත්තේ මේ පැමිණිලියි. පසුගිය වසරවලත් දකින්නට තිබුණේ මේ තත්ත්වයමයි. ලංකාවේ මේ තත්ත්වය වඩාත්ම දකින්නට තිබුණේ දෙමවුපියන්ගෙන් හා ගුරුවරුන්ගෙන්. විශේෂයෙන්ම මේ අවස්ථා දෙකින් වැඩිම වාර්තා වීමක් පෙන්නුම් කළේ පාසලින්. ඒ සියයට 80 ක ප්‍රතිශතයක්. වර්තමානයේ පාසල තුළින් දරුවන්ට විඳින්නට සිදුවන කායික හා මානසික දණ්ඩනය සුවිශාලයි. පසුගිය කාලයේ මහනුවර ඔසරි පොටේ කතාව වගේම අනුරාධපුරයේ දැරිවියක් ගැබ්ගත්තායැයි අනුමාන කරමින් පාසලින් නෙරපීම මේ කෘරත්වය හොඳින් පෙන්නුම් කළ අවස්ථාවක්...“ දරුවන්ට වඩා ආරක්ෂිතයැයි සැලකෙන ගෘහස්ත පරිසරය මෙසේ දරුවන්ව ගිලගැනීම තරම් දරුවන්ට ඛේදනීය තත්ත්වයක් තවත් නැති තරම් ය. මේ අතර දරුවන්ට සිදුවන බරපතල ලිංගික අපයෝජනයන්ගේ ප්‍රතිශතය නොවෙනස් අගයක් ගනී.
විකෘති ලිංගිකත්වය
ලිංගිකත්වය පිළිබඳ පවත්නා උනන්දුව නිසා ගොදුර බවට පත්වන්නන්ගෙන් බහුතරයක් රටේ මල් කැකැළු වන් දරුවන් ය. අද ලිංගිකත්වය තුළ ඇත්තේ විකෘති නවීකරණයක ලක්ෂණ නිසා වයස අවුරුදු තුනේ දරුවාගේ සිට මල්වර වයස් දරුවා දක්වා මෙම විකෘති ලිංගික ආශාවන්හි ගොඳුරක් වේ. දරුවන්ගේ හොඳම ආරක්ෂිතයා ලෙසින් සලකන පියාත්, සුළුපියා මෙන්ම සීයා මාමා ආදී දරුවා හොඳින්ම හඳුනනා අයට මේ දරුවන් ගොදුර බවට පත්වීම විකෘති කාමාශාවන්ගේ භයානකම ප්‍රතිළුලයයි. මෙසේ ගොදුර බවට පත්ව ඝාතනයට ලක්වූ දරුවන් ගේ සංඛ්‍යා ලේඛණ ළමා රක්ෂක අධිකාරියට වාර්තා නොවුණද පොලිස් පැමිණිලි පොත් පිරෙන්නේ එවැනි අපරාධයන්ගෙන් වීම කණගාටුවකි. මේ වසරේ ලිංගික අපයෝජන පැමිණිලි 481 ක්ද, බරපතල ලිංගික අපයෝජන 284 ක්ද දූෂණ පැමිණිලි 322 ක්ද වාර්තා වී ඇත.
මෙහි තවත් ඛේදවාචකයක් වි ඇත්තේ මෙම වින්දිතයන්ට නීතියෙන් ලැබෙන්නාවූ සහනය ලබා ගන්නට බලා සිටින්නට සිදුවන කාල පරාසයයි. දකුණු ආසියාතික රටවල් අතරින් අපේ රටේ මෙවැනි නඩු විභාගයන්හිදි නීතියේ ප්‍රමාදය වැඩිම රට ලංකාව වන අතර අපචාරයට ලක්වූ දරුවාට නීතියෙන් පිළිසරණක් ලැබෙන විට ඇය තරුණ විය ඉක්මූ වූ කාන්තාවක්ද වේ. අවසානයේ ළමා වයසට නීතියෙන් උරුම වුණ යම් යම් සහනයන් තාරුණ්‍ය වියේ පසුවන ඇයට නොලැබීමෙන් දෙවැනි වරටත් ඇය නීතිය ඉදිරියේ හිංසාවන්ට ලක්වීමක් වෙයි. ලොව වැඩියෙන්ම ස්ත්‍රී දූෂණ සිදුවන රට ඉන්දියාව වුවත්, කොපමණ දරුණු දඩුවම් දුන්නත් අද ඉන්දියාවේ මෙම අපරාධ රුල්ල අඩුවී නොමැත. එසේනම් සිදුවිය යුත්තේ කුමක්ද? මෙම විකෘතිමය පසුබිම නිර්මාණය කරන සමාජ බලවේග විනාශ කර දැමීමයි. එසේම වරදක් අපයෝජනයක් අපචාරයක් සිදුවූවිට නීතියේ පිහිට බලාපොරොත්තු වනවාට වඩා කළ යුත්තේ එවැනි දෙයට ඉඩ නොදී තම දරුවන් ඇස් දෙක සේ බලා ගැනිමයි.
ෆේස්බුක් අපරාධ
දිනෙන් දින වාර්තා වන ළමා අපයෝජයන්ට තවත් හේතුවක් වි ඇත්තේ දියුණු තාක්ෂණික මෙවලම් ය. දැලි පිහිය අතට පත්වූ වඳුරකු සේ දරුවන් අතට පත්වන තාක්ෂණික මෙවලම්වලින් දරුවා වඩත් අසරණ වන්නේ යැයි පැවසුවොත් එහි ඇඟිල්ල කෙලින්ම දිගු වන්නේ ඔවුන්ගේ ආරක්ෂකයන්ටය. ළමා ආරක්ෂක අධිකාරිය පවසන අන්දමට ළමා අපයෝජනයන්හි බහුතරයක් වාර්තා වන්නේ අන්තර්ජාලය මෙන්ම නවීන තාක්ෂණික මෙවලම් ආශ්‍රයෙන් සිදුවන අපයෝජනයන්ටය. ළමා අපයෝජනයන්හි දෙවැනි ස්ථානයට පත්වන්නේ උපදේශන සේවා මෙන්ම ෆේස්බුක් අශ්‍රයෙන් සිදුවන අපරාධයන්ය. 2012 හා 2013 වසරේ සිට වැඩිවන මෙම පැමිණිලි අතර ඡායාරූප හුවමාරු කිරීම් මෙන්ම ඉන්ටෝ ග්රූම් යන ක්‍රම දෙක හරහා වන ළමා අපයෝජන සිදුවීම් වැඩිවී ඇත. දරුවන් නොදැනුවත්කමින් නොදන්නා පුද්ගලයින්ට ඡායාරූප හුවමාරු කිරිම් හරහා දරුවන්ගේ පෞද්ගලික ජීවිතටය එල්ල වන්නාවූ බලපෑම් ඔවුන්ගේ ජීවිත වලට බලපාන්නේ අනිසි භයානක ප්‍රතිඵලය. යමක් වූ පසු එය නිවැරදි කිරිම අපහසු වන්නා සේ මෙවැනි දේ වලින් සිදුවන අපයෝජන නැවත සකස් කර ගැනීම අසීරුය.
ළමා මෙහෙකාර ක්‍රමය
හිසරදයට කොට්ටා මාරු කරන්නා සේ දරුවන් රැක බලාගත නොහැක. පුන පුනා දරුවන් රැක බලා ගන්නයැයි හඬගා පවසන්නටද නොහැකි ය. තමන්ගේ ඇස් මානයෙන් දරුවකු දුරස්වන ඕනෑම අවස්ථාවක ළමා අපයෝජනයක් වීමේ ඉඩකඩ බහුල බව වැඩිහිටියන් අවධානයට ගත යුතුය. දරුවාට ප්‍රාණය දෙවැනි කොට සැලකුවද දරුවන් යනු කුඩා අතපසුවීමකින් විශාල හානියක් සිදුවිය හැකි පිරිසක් බව දෙමවුපියන් තේරුම් ගත යුතුය. එය තම නිවසේදි පාසලේදි හෝ ඥාති නිවසක වීමේ ඉඩකඩ බහුලය. කලකට පෙර පිළිගැනීම වූයේ මෙවන් අපරධ බහුලව ඇත්තේ ග්‍රාමීය පරිසරයේ බවයි. නමුත් හැම විටම එය එසේ වන්නේ නැත. එයට හොඳම උදාහරණය වී ඇත්තේ මේ වසරේ සංඛයා දත්ත විශ්ලේශණයයි. මේ වසරේ ළමා අපයෝජන බහුලවම වාර්තා වී ඇත්තේ කොළඹ දිස්ත්‍රීක්කයෙනි. ඒ පැමිණිලි 1232 කි. ගම්පහ දිස්ත්‍රීක්කයෙන් පැමිණිලි 925 ක්ද, කළුතරින් පැමිණිලි 550 ක්ද, කුරුණෑගලින් පැමිණිලි 647 ක්ද, රත්නපුරයෙන් පැමිණිලි 490 ක්ද, ගාල්ලෙන් පැමිණිලි 564 ක්ද, යාපනයෙන් පැමිණිලි 177 ක්ද, වවුනියාවෙන් පැමිණිලි 122 ක්ද, වාර්තා වි ඇති බව එහි දැක්වේ. ‘‘කොළඹ ළමා අපචාර වාර්තා වීම් වැඩි වන්නට හේතු වි ඇත්තේ වාර්තා කිරීම් වැඩි විම නිසයි. නගරබද දරුවන්ට ඒ සඳහා පැමිණිලි කිරිමේ ක්‍රමවේද පහසුකම් තියෙනවා. සමහර නගරබද දරුවන් සෘජුවම තමන්ට වුණු අපයෝජන අපේ සෘජු ඇමැතුම් අංකය හරහා අපිව දැනුම්වත් කරනවා. මේ වගේම ළමා මෙහෙකාර සේවය තවමත් අප රටේ ක්‍රියාත්මක වෙනවා. වයස අවුරුදු 14 ට අඩු දරුවන්ව මෙහෙකාර සේවයේ යොදවා ගන්න බැහැ. විශේෂයෙන් තමන්ගේ නිවසේවත් වැඩට ගන්න අයිතියක් නැහැ. අනිවාර්ය අධ්‍යාපන අයිතීන් යටතේ මේ දරුවන් පාසල් ගත කළ යුතුයි. වයස අවුරුදු 14 ත් 16 ත් අතර දරුවන්ව අන්තරායකාරි රැකියා වල යොදවන්න බැහැ. මේ වන විට රජයෙන් අනිවාර්ය අධ්‍යාපන අයිතීන්හි සීමාව අවුරුදු 16 දක්වා වෙනස් කර තියෙන නිසා ඉදිරියට මේ වයස් සිමාවේ අයත් රැකියාවේ යොදවා ගන්න බැහැ...ඒ වගේම පාසල් යායුතු වයසේ දරුවකු පාසල් නොයැවිමත් අපයෝජනයක් වෙනවා.“ එසේ පැවැසූවේ නීතීඥ යෂාලි මහත්මියයි.
“අපේ අරමුණ ළමා අපයෝජන හේතුවෙන් වරදකරුවන් වූ පුද්ගලයින්ට දඩුවම් දී ඊට ගොදුරු වූ වින්දිත දරුවන් සුරක්ෂිත කිරිමය. ඒ සඳහා මහජනතාවගේ සහය අවශ්‍යයයි. අපිට ලැබෙන පැමිණිලි සම්බන්ධයෙන් අපි විශේෂ දත්ත පද්ධතියක් ඔස්සේ විමර්ෂණ කඩිනම් කරනවා. එසේම මෙම ළමා අපයෝජන පැමිණිලි කඩිනමින් විභාග කර අවසන් කිරිම හා පීඩාවට පත් පාර්ෂවයන්ට සහන සැපයීමේ කටයුතු කඩිනම්න් සිදුකිරිම සඳහා මේ වන විට ජාතික ළමා රක්ෂක අධිකාරියේ විශේෂ පොලිස් විමර්ෂන ඒකකය, නීති අංශය, නීතිය බලාත්මක කිරිමේ අංශය හා මනෝ සාමාජයීය අංශය ශක්තිමත් කර තියෙනවා....“ ඒ ජාතික ළමා රක්ෂක අධිකාරියේ සභාපති නීතිඥ මරිනිද ලිවේරා මහත්මියයි.
රටේ දරුවන් ඔබේ දරුවන් දරුවන් ලෙස දකින්නට පුරුදු වන්නේ නම් එයම දරුවන්ගේ ආරක්ෂාවට හේතුවක් වන්නේ ය. දරුවා තමන්ගේම ලෙයින් වදන්නට ඇවැසි නැත. සියලු දරුවෝ රටේ සම්පතක් විනා පටු මානසික ආතතීන් සංසිදුවා ගන්නට එය කෙළි බඩුවක් නොවිය යුතු ය.
සුභාෂිණි ජයරත්න