අලින්ට පෙර රැකගත යුතු වනජීවිය | සිළුමිණ

අලින්ට පෙර රැකගත යුතු වනජීවිය

 තිරසර සංවර්ධන හා වනජීවී අමාත්‍යාංශයේ හා වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුවේ සංඛ්‍යාලේඛනවලට අනුව පසුගිය දෙවසර පුරා වාර්තා වූ අලි මරණ මෙන්ම මිනිස් මරණ සංඛ්‍යාවද පෙර වසරවලට වඩා අඩු මට්ටමක පැවතී ඇත. අධ්‍යක්ෂ වනජීවී සෞඛ්‍ය වෛද්‍ය තාරක ප්‍රසාද් මහතා පවසන පරිදි ඒ කාලය පුරා සතියකට වාර්තා වූ අලි මරණ සංඛ්‍යාව 3ක් බැගින් වූ අතර, මිනිස් මරණ සිදු වී ඇත්තේ එක බැගිනි. ඒ අනුව වසරකට අලි 150කගේ පමණද මිනිසුන් 60කගේ පමණද ජීවිත අලි-මිනිස් ගැටුමට බිලි වී තිබේ. එය සාපේක්ෂව අඩු සංඛ්‍යාවක් කීම සතුටු විය යුතු කරුණක් නොවේ. හේතුව සංඛ්‍යාව කුමක් වුවත් මේ බිලි වන්නේ කාගේ හෝ ජීවිතයක් බැවිනි. අපට සැබවින්ම සතුටු විය හැකි වන්නේ එකදු මිනිස් හෝ අලි ජීවිතයක් මේ හේතුව නිසා අහිමි නොවන දිනෙක පමණි.

කරුණු එසේ තිබියදී අප අද පවත්නා යථාර්ථයට ආමන්ත්‍රණය කළ යුතුව ඇත. වසර තුනකට පෙර කළ සංගණනයට අනුව දිවයින පුරා විසිර පැතිර සිටින අලින් සංඛ්‍යාව 5,789ක් බව දෙපාර්තමේන්තුව පවසයි. ඉන් 3,300ට අධික අලි ගහණයක් වෙසෙන්නේ මහවැලි සහ නැ‍ඟෙනහිර වනජීවී කලාපවලය. වයඹ සහ දකුණු කලාපවල 2,200කට ආසන්න අලි ඇත්තු සංඛ්‍යාවක් වෙසෙති. පසුගිය වසර දෙක පුරා අඩු අගයක්ව පැවැතුණු බව පවසන අලි-මිනිස් මරණ සංඛ්‍යාව පසුගිය සති 2 ඇතුළත වේගයෙන් වැඩි වීමේ ප්‍රවණතාවක් දක්වා ඇත්තේ ඇත්තේ අලින්ට අවාසිදායක වන අයුරිනි. ඒ් දෙසතිය තුළ දවසට අලියකු බැගින් ඝාතනය වීම් වාර්තා වීමත් සමඟය. මෙයට ප්‍රධාන හේතුව ලෙස වෛද්‍ය තාරක ප්‍රසාද් පෙන්වා දෙන්නේ ඉඩම් භාවිතයේ වැරදි රටාවයි.

එපමණක් නොව වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුවේ පවතින දැඩි නිලධාරී පුරප්පාඩු තත්ත්වයද මේ ගැටලු පාලනය කිරීමේ අපොහොසත්කමට බලපා ඇති බව ඔහු පවසයි.

“අපේ ජ්‍යේෂ්ඨ මට්ටමේ පුරප්පාඩු 34ක්, ද්විතීයික මට්ටමේ 2ක්, තෘතීයික 417ක් සහ ප්‍රාථමික 85ක් වශයෙන් පුරප්පාඩු 543ක් පවතිනවා. සමහර බීට්ටුවල නිලධාරීන්ට හුස්ම ගන්න මොහොතක් නෑ. මෙයට හේතුව සේවකයන් හිඟකම වගේම සේවකයන් නිසි ලෙස නොයෙදවීම. ඇතැම් නිලධාරීන්ට උසස්වීම් ලැබෙන්නේ නෑ විද්‍යාත්මක සේවයට එන්න බැරි නිසා. සමහර 'රේන්ජර්ස්ලා' අවුරුදු විසි දෙකකට වඩා එක තැන හිර වෙලා. මේ හේතුවෙන් ඉහළ තනතුරු සහ පහළ තනතුරු අතර විශාල රික්තයක් මතු වෙලා. සමහර නිලධාරීන් තමන්ට අදාළ නැති තනතුරුවල රාජකාරිවල පවා යෙදෙන නිසා ක්ෂේත්‍රයේ යන වෙලාව සීමා වෙනවා. සහකාර අධ්‍යක්ෂ කෙනෙක් වෙලා අවුරුදු දහයක් සම්පූර්ණ වන තුරු නියෝජ්‍ය අධ්‍යක්ෂ කෙනෙක් වෙන්න බෑ. ඒ වෙනකොට විශ්‍රාම යන වයසට නිලධාරීන් ඇවිත්. මේවා ඇත්තෙන්ම සේවක ඵලදායීතාවටත් බලපානවා.”

ඔහුගේ ප්‍රකාශය විෂය භාර ඇමැති ගාමිණී ජයවික්‍රම පෙරේරා මහතාද අනුමත කළේය.

“කියන්න කනගාටුයි: සමහර අය අවුරුදු 35ක සේවකට පසු විශ්‍රාම යන්නේ රුපියල් 35,000/- වගේ අඩු වැටුප් තලයකින්. ඔවුන් දැඩි මානසික පීඩනයක ඉන්නේ. වනජීවි කලාප 27න් 22කම ඉන්නේ මේ වගේ පරණ සේවකයන්. මේ අයට නියෝජ්‍ය අධ්‍යක්ෂකම දෙන්නේ නෑ විද්‍යාත්මක සේවයේ අය දාපු නඩු නිසා. පසුගිය වසර පහළොවක් පුරාත් මේ ප්‍රශ්නය විසඳී නැහැ. යුද්ධයේදී හමුදාවයි මේ විදිහට දිවා-රෑ නැතිව වැඩ කළේ. අගෝස්තු මාසයේ පැවැති සාකච්ඡාවෙන් පසු අගමැතිතුමාගේ නියෝගය අනුව අපි කැබිනට් පත්‍රිකාවක් දානවා මේ අය දෙපාර්තමේන්තුවට අනුයුක්ත කරලා විශ්‍රාම යවන්නත් ඉදිරියේ බඳවාගැනීම් විද්‍යාත්මක සේවය ලෙස ගන්නත්.”

ඉන් පසු ඇමැතිවරයා අලි ප්‍රශ්නයට ඇති තවත් හේතු පැහැදිලි කළේය.

“වනජීවී දෙපාර්තමේන්තුවට අයිති වනාන්තරවලින් 14%යි. වන සංරක්ෂණයට13%කුත් , මහවැලියට තව කොටසකුත් තිබෙනවා. ඒත් වනජීවියට තමයි ප්‍රශ්න. මම ජනාධිපතිතුමාටත් කීවා නිලධාරී ටික දෙනා එක්ක මේ වංචාවන් වළක්වන්න බැරි තත්ත්වය. දළ ඇත්තු හතර දෙනෙක් මාසයක් ඇතුළත අස්වාභාවිකව මැරුවා. මෙය සංවිධානාත්මක වැඩක්. කැලේ අලින්ට ආරක්ෂාවක් නෑ, මිනිසුන්ට හදාගන්න දිය යුතුයි කියා ඔප්පු කර වාසි ගන්න හදනවා. මට තනිවම මේව සියල්ල ආරක්ෂා කරන්න බෑ.”

එසේ පැවසූ ඔහු එයට රජය ගන්නා විසඳුම් පිළිබඳවද කියා සිටියේය.

“හැම කැලයක් අවසානයේම තිබෙන ආරක්ෂක හමුදා, එස්ටීඑෆ් වැනි ඒකක සමඟ ඒකාබද්ධව ආරක්ෂා කටයුතු මෙහෙයුම් වගේම වැටලීම් ඇල්ලීම් ගස් කැපීම් දඩයම් අලි ඝාතන අල්ලන්න. මෙයින් අපට දැඩි ආරක්ෂක වැඩපිළිවෙළකට එන්න පුළුවන්. මේ සතියේ ඒ පිළිබඳ කැබිනට් පත්‍රිකාවක් දානවා. දෙවනුව තවත් කැබිනට් පත්‍රිකාවකින් ඉන්දියාව, නේපාලය, දකුණු අප්‍රිකාව වැනි රටවල වගේ වෙනනම හමුදාවක් වැනි ඒකකයක් ජ්‍යෙෂ්ඨ විශ්‍රාමික නිලධාරියකු යටතේ පුහුණු කර මෙහෙයුම්වලට පුරුදු කරන්න යොදවනවා. සේවකයන් 500ක් බඳවාගැනීමට කටයුතු කළත් මැතිවරණ නිසා මාස දෙකකට එය කල් ගියා. මිලියන 500ක මුුදලක් අනුමත වෙලා තිබෙනවා අවශ්‍ය වාහන, උපකරණ ආදිය ගන්න.”

අලි සංරක්ෂණය ගැන උනන්දු වන්නන් සියලු අලින්ට 'කොලර' දැමීම ගැන පැවසුවද එහි ප්‍රායෝගික තත්ත්වය වෛදච්‍ය තාරක ප්‍රසාද් අනාවරණය කළේ මෙසේය:

“කොලර දැමීම කියන තරම් ප්‍රායෝගික නෑ. හේතුව අලි ඇල්ලීමෙන් උන්ගේ ජීවිත පිළිබඳ අවදානමක් තිබීම වගේම වටින එකකු මැරෙන්නත් පුළුවන්. තොරතුරු එන්නේ ඔන්ලයින් නෙවේ; දවස් දෙකක් විතර පරණ වෙලා. ජීපීඑස් ක්‍රමය තිබෙන්නේ අපට අලි මංකඩක් තහවුරු කරගන්න හෝ ගැවසෙන ප්‍රදේශ පිළිබඳ දැඩි අධ්‍යයනයකට. අනෙක මෙය වෙඩි නොවදින ඇඳුමක් නොවේ. මෙයින් කෙනකුට අප නොමඟ යවන්නත් පුළුවන්. කොලර් එක ඇති සතකුට වෙඩි තියලා කොලර් එක වැවක හෝ භූමියේ අඩි 3ක් පමණ යට සැඟවුවොත් සංඥා එන්නේ නෑ. අපි අලුත් කොලරයක් බලනවා. හැබැයි වියදම එකකට මිලියනයයි; පාවිච්චිය අවුරුදු දෙකයි.”

අපේ රටේ දළ ඇතුන් ඇත්තේ 5%ක් පමණ බව පවසන වෛද්‍ය තාරක තවත් අපූරු කතාවක් හෙළි කළේය:

“ලබන වසරේ තවත් සංගණනයක් කරනවා. ගියවර සංගණනයේ සිවේච්ඡා සේවකයන් අලියා දැක නැතුව දැක්කා කීම නිසා නිරවද්‍යතාව ප්‍රශ්නකාරියි. දළ ඇතුන්ගේ ජාන සම්ප්‍රේෂණය අම්මාගෙන් වැඩිපුර සිදු වන බවට තොරතුරු හෙළි වනවා. යාල 'මැණිකේ' ඇතින්නගේ 15 කණ්ඩායමේ ගෑනු සතෙක් දෙවරක්ම ප්‍රසූත කලේ ඇත් පැටව්. පින්නවලිනුත් ඒ බව තහවුරු වුණා.”

අලින්ට හිංසා කිරීම වෙනුවෙන් නීතිය ක්‍රියාත්මක කිරීම පිළිබඳවද ඔහු පැහැදිලි කළේ මෙසේය: “අලි මැරීමේ වරදට දඩුවම රුපියල් ලක්ෂ 5ක් හෝ අවුරුදු 5ක සිරදඬුවම හෝ දෙකමයි. ඒත් කහට ගෑවුණු කමිසයක් ඇඳගෙන ආවාම අනුකම්පාවට දඩය අඩු වෙනවා. අවරුදු 15කට විතර පෙරත් කලාවැව පැත්තේ දළ ඇතුන්ට වෙඩි තිබ්බා. අපට වාර්තා නොවූ ඒවාත් තිබුණා. නොදන්නා නගරවලත් අලි මැරුණා. කොහොම කළත් මෙය කවදාවත් නීත්‍යනුකූල කරන්න බෑ.”

ඇමැතිවරයා ඒ සඳහා ගන්නා පියවර පැහැදිලි කළේය:

“අලි මැරීමට එරෙහි නීතිය දුර්වලයි. පසුගිය බදාදා අපේ නීති නිලධාරීන්, නීතිපති දෙපාර්තමේන්තුව සමඟ සාකච්ඡා කරලා ඉදිරියේදී ශ්‍රේෂ්ඨාධිකරණයෙන් වත් ඇප නොදෙන වරදක් බවට මෙය පත් කිරීමට ඇති හැකියාව විමසුවා. විදුලිබල මණ්ඩලෙන් නීති විරෝධීව විදුලිය ලබා ත්තා හා සමානව සතුන්ට විදුලි රැහැන් තැබීමටත් දඬුවම් කිරීමට අප කටයුතු යොදනවා. හැබැයි විදුලි වැටේ බැටරි සහ සූර්ය පැනලය නැති වෙනවා. අපේ ප්‍රතිපත්තිය ගම විදුලි වැට ගහලා ආරක්ෂා කරගන්න ඕනෑ. ඒ අයටයි වගකීම දෙන්නේ. ඒ වගේම ඕනෑම වනජීවියකු නිසා මිනිසෙකු මිය ගියොත් හෝ සම්පූර්ණ දුබල වුණොත් ලක්ෂ 5ක වන්දියක් අනුමත කර තිබෙනවා. බෙහෙත් ගන්න, ගෙවල් හදාගන්න මුදල් දෙනවා. ඒ අය අසරණ නම් සමෘද්ධිය ලබා දෙන්න අදාළ අමාත්‍යාංශයේ අනුමැතිය ලැබී තිබෙනවා. කෘෂිරක්ෂණ ක්‍රමය යටතේ ගොඩ මඩ වගාහැනිවලට 25000ක උපරිමයට යටත්ව කටුතු කරනවා.”

එහෙත් ඇතැමුන් අලි වැට සඳහා මායිම් සකසද්දී තමන්ගේ ඉඩම් බේරාගැනීම සඳහා දේශපාලනික බලපෑම් කිරීම නිසා සමස්ත වියදම අපතේ යන බවද වෛද්‍ය තාරක අනාවරණය කළේය.

“රජයේ අලි සංරක්ෂණ වැඩපිළිවෙළ වුණත් මදි. කාටත් ඕන සංවර්ධනය මිස නිවැරැදි සතුන් සංරක්ෂණය නොවේ. මත්තලත් සමහර ස්ථාන තිබෙනවා එක ව්‍යාපෘතිවලට දීලා. අලි ඉන්න තැනක කෙසෙල් උක්ගස් වගා කරද්දි දෙවරක් හිතන්න ඕනා. හැමෝම සත්තු කොටු කළාම හරි කියලා හිතනවා. සත්තු එහෙම කොටු වෙන්න කැමති නෑ. අනෙක අවුරුදු දෙකක් තිස්සේ අලි නඩු 17ක් විතර රහස් පොලිසියෙන් ගොනු කළාට ඒවා පැහැදිලි නෑ. අපේ මෑන් පවර් අයත් වැඩි බරක් ඇතුව ඒකට යෙදෙව්වාම වනජීවි වැඩවලට උනන්දුවත් නැතිව යනවා. ඒ නිසාම දෝ සතුන් තුන් දෙනෙක් බැඳලා හම්බන්තොට අසල හමු වුණා. ඉස්සර වගේ මෙහෙ පර්මිට් දීලා නෙවේ, වැරදි ක්‍රමයට පිටරට පටවන්න යන බවයි කටකතාව. මේ හැමදේම බලන්න නිලධාරීන් අවශ්‍යයි. තව ටික දිනකින් අපි විශ්‍රාම ගියාම කවුද ඒ තැනට එන්නේ? දෙවැනි පෙළක් නෑ. අවුරුදු 5ක් යද්දි දෙපාර්තමේනතුව කඩාවැටිලා වන සංරක්ෂණයට හේත්තු වෙයි.” පශු වෛද්‍ය තාරක ප්‍රසාද් අනතුරු ඇඟවීය.

ප්‍රශ්න විසඳන ආකාරය ගාමිණී ජයවික්‍රම පෙරේරා ඇමතිවරයා මෙසේ ෙපන්වා දුන්නේය.

“හම්බන්තොට පැත්තේ පැටවුන් තුන්දෙනෙක් ගෙනියන්න ගිහින් අහු වුණා. දැන් එස්ටීඑෆ්-එකෙයි, ගුවන් හමුදාවෙයි 100කට වැඩි දෙනෙක් සහ අපේ අය ඒකාබද්ධව විශේෂ කැමරා එක්ක මෙහෙයුමක් යාල කලාප අංක දෙකේ සිදු කළා. මේ දේවවල් ගැන ජනතාව බලා ඉන්නෙ. ගිය අාණ්ඩුව කාලෙත් මැදපෙරදිගට පැටෙව්වා කියලයි ආරංචිය. අපි සීඅයිඩී පරීක්ෂණ කරනවා මට තවම වාර්තාව ගන්න බැරි වුණාා. ඒකාබද්ධව දැඩි වැඩපිළිවෙළකට බහිනවා ලංකාවම ඇතුළත් වන ‘මාස්ට ප්ලෑන්‘ එකකට. සේවක ප්‍රශ්න විසඳනවා. ඉදිරි හය මාසේදි වෙනස දැකගන්න පුළුවන්.”

අරුණි මුතුමලී

Comments