නිෂ්පාදනය දෙගුණ නොකළොත් බඩගින්නේ තමයි | Page 4 | සිළුමිණ

නිෂ්පාදනය දෙගුණ නොකළොත් බඩගින්නේ තමයි

නුදුරු අනාගතයේදී දැඩි ආහාර හිඟයක් ඇති විය හැකි බව විද්‍යාඥයෝ පෙන්වා දෙති. එවැනි තත්ත්වයක් මතුවන්නේ කරුණු රාශියක් හේතුවෙන් බව ඔවුන් නිගමනය කර ඇත. එහිලා ප්‍රධාන වන්නේ ගෝලීය කාලගුණ විපර්යාස බැව් සඳහන් වේ. මේ නිසා ඇතිවන නියං කාලගුණ තත්ත්ව එහිලා අමතක කරන්නට බැරි කාරණයක් බව විද්‍යාඥයෝ පවසති.

අද වනවිට පෘථිවි භූමි ප්‍රමාණයෙන් හතරෙන් එකකට අඩු ප්‍රමාණයක් ආහාර බෝග වගා කටයුතු සඳහා යොදාගෙන ඇත. එකී භූමි ප්‍රමාණය යොදා ගැනීමෙන් නිෂ්පාදනය කෙරෙන ආහාර, ලෝක ජනගහනයෙන් හතරෙන් තුනකට සැපයෙන බව කියැවේ. විශේෂයෙන්ම තිරිඟු, වී, ඉරිඟු වැනි ප්‍රධාන බෝග වර්ග එම වගා භූමි තුළ වැඩි වශයෙන් වගා කෙරේ. කිසියම් හේතුවක් නිසා මේ ප්‍රධාන බෝගවල අස්වැන්න අඩු වුවහොත් ආහාර හිඟයක් මතුවී අහාරවල මිල ගණන් ඉහළ යෑම සිදුවනු ඇති බව විශේෂඥයෝ පෙන්වා දෙති.

ගෝලීය කාලගුණ විපර්යාස හේතුවෙන් පසුගිය දශක කිහිපයක කාලය තුළ ලෝක ආහාර නිෂ්පාදන ක්‍රියාවලිය පහළ වැටුණු බව පෙනෙන්නට තිබේ. 2007 වසරේදී ඇතිවුණු නියං තත්ත්වයෙන් රුසියාවේ සහ යුක්‍රේනයේ තිරිඟු වගාවන්වලට හානි පැමිණියේය. තිරිඟු වගා බිම් විනාශ වී යෑමත් සමඟම ලෝක වෙළෙඳපොලේ තිරිඟු මිල ඉහළ යෑමක් පෙන්නුම් කළේය. 2009 වසරේදීද රුසියාවට සහ යුක්‍රේනයට එබඳුම නියං කාලගුණ තත්ත්වයක් මතුවිණ. එනිසා නැවත වරක් තිරිඟු නිෂ්පාදනය අඩුවුණු බව වාර්තාවල දැක්වේ. 2012 වසරේදී අමෙරිකා එක්සත් ජනපදයට බලපෑ නියං සහිත කාලගුණ තත්ත්වය නිසා ඉරිඟු, සෝයා බෝංචි සහ අනෙකුත් වගාවන්ට හානි පැමිණියේය.

ගෝලීය කාලගුණ විපර්යාස හේතුවෙන් සිදුවන අස්වැන්න අඩුවීම්වලට අමතරව හරියාකාරව ගොවිතැන් කටයුතු නොකිරීමත් අස්වැන්න අඩුවීමට හේතුවක් වී ඇත. බෝග වගාවන්ට ඇතිවන ලෙඩ රෝග, පසෙහි ගුණාත්මකභාවය නිසියාකාරව පවත්වාගන යෑමට අපොහොසත්වීම, වගාවන් හරිහැටි නඩත්තු නොකිරීම, වායු දූෂණය නිසා ඇතිවන බලපෑම් ඒ අතර තිබේ.

මේ කුමන ආකාරයේ බාධකයක් නිසා ආහාර නිෂ්පාදනය අඩු වුවත් 2050 වසර වනවිට ලෝක ජනගහනය බෙහෙවින් ඉහළ මට්ටමකට පැමිණෙනු ඇත. ඔවුන්ගේ කුසගිනි නිවන්නට වත්මන් ආහාර නිෂ්පාදනය නොසෑහෙනු නිසැකය. විද්‍යාඥයන් පෙන්වා දෙන අන්දමට අද කෙරෙන ආහාර නිෂ්පාදනය දෙගුණ කරන්නට එදාට අපට සිදුවනු ඇත. යටකී හේතු නිසා, එම ඉල්ලුම සපයන්නට අපොහොසත් වුවහොත් අප උග්‍ර ආහාර අර්බුදයකට මුහුණදෙනවාට සැකයක් නැති බවත් විද්‍යාඥයෝ පෙන්වා දෙති.

මංජුලා විජයරත්න

Comments