සංහිඳියාව සඳහා සංස්කෘතික නාට්‍ය වැඩමුළු | සිළුමිණ

සංහිඳියාව සඳහා සංස්කෘතික නාට්‍ය වැඩමුළු

 ශ්‍රී ලංකා රජය සියලු ජනවර්ග හා එක්ව යහපාලනය පදනම් කරගත් සමාජයක් නැවත ගොඩනැගීමේ පැහැදිලි අරමුණින්, සාමයත්, සංහිඳියාවත් තුළින් එක්සත් ශ්‍රීලංකාවක් ගොඩනැඟීමේ කර්තව්‍ය සාර්ථකව ක්‍රියාවට නඟා ඇත. ඒ වෙනුවෙන් විවිධ ක්‍ෂේත්‍ර ගණනාවක් ඔස්සේ කෙටි, මධ්‍යම හා දිගුකාලීන ක්‍රියාමාර්ග රාශියක් මේ වනවිටත් දියත් වෙමින් පවතී. බහුවාර්ගික, බහුආගමික රටක් ලෙස අප එකිනෙකා අතර පවතින වෙනස්කම් පිළිගනිමින් සෑම පුරවැසියෙකුගේම අයිතිවාසිකම් භුක්ති විඳීම සඳහා සමානාත්මතාව සහ අන්‍යෝන්‍ය ගෞරවය ආරක්ෂාවන ආකාරයෙන් කටයුතු කළ යුතුවේ.

එම කර්තව්‍ය සාර්ථක කරගැනීමේ පරම අභිලාෂයෙන් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා යටතේ ස්ථාපිත කර ඇති ජාතික සමඟිය හා සංහිඳියා කාර්යාංශය , හිටපු ජනාධිපතිනී චන්ද්‍රිකා බන්ඩාරණායක කුමාරතුංග මහත්මියගේ සභාපතිත්වය යටතේ ක්‍රියාත්මක ‍වෙමින් පවතී.

ජාතික සමඟිය හා සංහිඳියා වැඩසටහන් විවිධ ක්ෂේත්‍ර ගණනාවක් ඔස්සේ විහිඳී පවතින අතර සමඟිය හා සංහිඳියාව ළඟාකර ගැනීමේ ප්‍රධාන දිගු කාලීන ප්‍රයත්නයක් ලෙස , කලාව හා සංස්කෘතිය යොදාගැනීමේ අරමුණ පෙරදැරිව, කලාව හා සංස්කෘති‍ක කේෂ්ත්‍රවලට අයත් කලාකරුවන් සහභාගිකරවා ගනිමින්, වැඩසටහන් රැසක් ක්‍රයාත්මක වෙමින් පවතී.

ඒ අනුව ජාතික සමඟිය හා සංහිඳියාව පිළිබඳ පණිවිඩය සිනමාව හරහා සන්නිවේදනය කිරීමේ අරමුණින් ජාතික සමඟිය හා සංහිඳියාව තේමාකරගත් වෘතාන්ත චිත්‍රපටයක් නිෂ්පාදනය කිරීමට සංහිඳියා කාර්යාංශයේ කලා හා සංස්කෘතික අංශය කටයුතු කර ඇත. එම සුවිශේෂී සිනමාපටය ශ්‍රී ලාංකික ප්‍රේක්ෂකයන්ට නැවුම් අත්දැකීමක් එක්වනු ඇත. ශ්‍රී ලංකා ඉතිහාසයේ පළමු වරට ප්‍රවීන චිත්‍රපට අධ්‍යක්ෂවරුන් තිදෙනෙකු එක්ව එකම තේමා පාඨයක් ඔස්සේ කතාන්තර තුනක් නියෝජනය වන පරිදි අධ්‍යක්ෂණය කර ඇති සිනමාපටයක් ලෙස ඉතිහාසගත වනු ඇත. 2018 වසරේදී මහජනතාවට නැරඹීමේ අවස්ථාව ලබාදීමේ අරමුණින් සිනමා ශාලාවල ප්‍රදර්ශනය කිරීමට නියමිතව පවතින අතර එය අන්තර්ජාතික චිත්‍රපට උලෙළ සදහා ඉදිරිපත් කිරීමටද බලාපොරොත්තු වේ. අවසාන වශයෙන් රූපවාහිණී නාලිකා තුළද විකාශනය කරන අතර සංයුක්ත තැටි මාර්ගයෙන් මහජනතාව අතර බෙදාහැරීමට ද කටයුතු සංවිධානය වෙමින් පවතී.

පරාක්‍රම නිරිඇල්ල මහතා සහ ජනකරලිය නාට්‍ය කණ්ඩායම විසින් නිර්මාණය කරන ලද සංහිඳියාව තේමාකරගත් ජනකරළිය වීදි නාට්‍ය ගම්දනවු සිසාරා ප්‍රදර්ශනය කරමින් එය නරඹන පිරිස සමඟ සංවාදයක් ගොඩනැඟීමට කාර්යාංශයේ සංස්කෘතික හා කලා අංශය කටයුතු සූදානම් කරමින් සිටී.ඉදිරියේදී එම වීදි නාට්‍ය ලංකාව පුරාම ප්‍රදර්ශනය කිරීමට කටයුතු සූදානම් වෙමින් පවතී.

1981 මැයි මස 31 දින යාපනය පුස්තකාලයේ සිදුවූ ඛේදවාචකය හා

බැඳුණු තොරතුරු කැටිකර දැවෙන මතකයන් (buring memories) යනුවෙන් නිෂ්පාදනය කරන ලද චිත්‍රපටය ජාතික චිත්‍රපට සංස්ථාවේ දී දර්ශනය කර ඇත. සංහිඳියා කාර්යාංශයේ සංස්කෘතික හා කලා අංශයත්, ත්‍රිකෝණි සංස්කෘතික පදනමත්, එය සංවිධානය කර තිබිණි.

ශ්‍රී ලංකාවට නිදහස ලැබීම සහ රටේ නූතන සහ මෑත කාලීන ඉතිහාසය දෑසින් දුටු , 1930 දශකයෙහි උපත ලද මෙරට වැඩිහිටි පරපුරේ කතා සහ අත්දැකීම් වර්තමාන යොවුන් පරපුර වෙත සම්ප්‍රේෂණය කිරීමේ අරමුණ පෙරදැරිව ආදරණීය දරුවනේ (dear children sincerely) නම් වේදිකා නාට්‍ය රුවන්ති ඩී . චිකේරා සහ ‍ට්‍රෙසි හෝල්සිංගර් අධ්‍යක්ෂණය කර ඇත. එම වේදිකා නාට්‍ය ජාතික සමඟිය හා සංහිඳියා කාර්යාංශයේ නිෂ්පාදනයක් වශයෙන් එළිදක්වා ඇත. ඉදිරියේදී එම නාට්‍ය දිවයින පුරා වේදිකා ගත කිරීමට නියමිතය.

අහිමි වූ බලය සහ ආදරය සොයන්නට උත්සාහ කරන පිරිසකගේ ඉරණම සහ විවිධ ජනවාර්ගික හා ආගමික පසුබිම් සහිත පොදු මනුෂ්‍ය වර්ගයා එකම සමාජ පරිසරයක ජීවත්වීමේ දී මුහුණ පෑමට සිදුවන ගැටුම් පාදක කර ගනිමින් ප්‍රවීණ නාට්‍ය අධ්‍යක්ෂකවරයෙකු වූ රාජිත දිසානායක මහතා නැතුව බැරි මිනිහෙක් නාට්‍ය නිර්මාණයකර ඇත. රට තුළ පවත්නා සංහිඳියා ක්‍රියාවලියට ප්‍රබල දායකත්වයක් ලබාදීමේ අරමුණින් දිවයිනේ තෝරාගත් ප්‍රදේශ කිහිපයක නැතුව බැරි මිනිහෙක් නාට්‍යයේ දර්ශන වාර ගණනාවක් වේදිකාගත කෙරිණි . දර්ශන වාරයන්ට සමගාමීව සෑම වේදිකාගත කිරීමක් අවසානයේදීම එම නාට්‍ය ඇසුරින් සංහිඳියා ක්‍රියාවලිය පිළිබඳ ප්‍රවීන දේශකයන්ගේ හා කලාකරුවන්ගේ සහභාගිත්වයෙන් සංවාදයක් පවත්වා ඇත. 2017 වසරේ දී පවත්වනු ලැබු රාජ්‍ය නාට්‍ය උලෙළේ දී නැතුව බැරි මිනිහෙක් නාට්‍ය සඳහා වසරේ හොඳම නාට්‍ය නිෂ්පාදනය හොඳම අධ්‍යක්ෂණය හොඳම ස්වතන්ත්‍ර නාට්‍ය පිටපත ,හොඳම නළුවා ඇතුලු සම්මාන අටක් දිනාගන්නා ලදී.

ගුවන් විදුලි නාට්‍ය කේෂ්ත්‍රයේ ප්‍රවීන කලාකරුවෙකු වන මාලක දේශප්‍රිය මහතා විසින් සංහිඳියාව තේමා කරගනිමින් අධ්‍යක්ෂණය කරනු ලැබූ ඒකාංගික ගුවන් විදුලි නාට්‍ය මාලාවේ පළමු අදියර ලෙස ඉන්ද්‍රජාලික මඟුල් සැණකෙළිය , කිඳාබැස සැරිසරන, අලුත්ම ආර්ටිකල් එක , මහ විදමන ,නාඩන් පටාචාරා යන නාට්‍ය ඉදිරියේදී ගුවන් විදුලියෙන් ප්‍රචාරය කිරීමට කටයුතු යොදා ඇත. එම නාට්‍ය පැය භාගයක් විකාශනය වන අතර ඒ හරහා පැය එකහමාරක කතිකාවතක් ගොඩනැඟීමට නියමිතව පවතී. නොමිලයේ ලබාදෙන සංයුක්ත තැටියක් ලෙස පාසල් හා විශ්ව විද්‍යාල මට්ටමින් ද සංස්කෘතික නිලධාරීන් සඳහාද බෙදාහැරීමට බලාපොරොත්තු වේ. එය සංහිඳියාව පිළිබඳ වූ තවත් සුවිශේෂී ව්‍යාපෘතියකි.

අන්තර් ආගම්ක හා සංස්කෘතික උත්සව සාමූහිකව සැමරීම යන ව්‍යාපෘතිය ඔස්සේ කාර්යාංශයේ මූලිකත්වයෙන් පාසල් සිසුන් සහභාගිකරවා ගනිමින් වසර දෙකක කාලයක් තුළ ආගමික සහ සංස්කෘතික සැමරුම් උත්සව ගණනාවක් සාර්ථකව පවත්වා ඇත.

එම වැඩසටහන චිරස්ථායීව ක්‍රියාත්මකවීම සඳහා දීර්ඝ කාලීන පියවරක් වශයෙන් ආගමික හා සංස්කෘතික උත්සව සාමූහිකව සැමරීම පිළිබඳව අත්දැකීම් ලබාගන්නා ආකාරය පිළිබඳ අත්දැකීමක් ශ්‍රී ලාංකේය අධ්‍යාපන කේෂ්ත්‍රයේ විද්වතුන් , මෙම උත්සව සංවිධානය කරන ලද අධ්‍යාපන ක්ෂේත්‍රයේ නිලධාරීන්, විදුහල්පතිවරුන්ගෙන් සහ ගුරුවරුන්ගෙන් සමන්විත කමිටුවක් මගින් දීප ව්‍යාප්ත ලෙස තොරතුරු හා අත්දැකීම් ලබාගැනීම සඳහා වැඩමුළු ගණනාවක් පවත්වා ඇත. එම කාර්ය ඉෂ්ටකරගැනීම සඳහා ඇමෙරිකානු තානාපති කාර්යාලයේ USAID අරමුදල මූල්‍ය අනුග්‍රහය ලබාදෙයි. එම වැඩසටහන යටතේ තෛපොංගල්, අවුරුදු ,පොසොන්, රාමසාන්, නත්තල් යන උත්සව හා එම උත්සවයන්හි වැදගත්කම ,සමරන ආකාරය, විශේෂිත අංග චිරිත්‍ර වරිත්‍ර වාරිත්‍ර

විධි ජාති ආගම් භේදයකින් තොරව සැමට එකතුවී සැමරිය හැක්කේ කෙසේද? යන කාරණාව පිළිබඳව සිසුන් දැනුවත් කිරීම මෙහි අරමුණ වේ. එම වැඩසටහන ඉදිරි වර්ෂයේදී ද ක්‍රියාත්මක වීමට නියමිතව ඇත.

අන්තර් ආගමික සහ සංස්කෘතික උත්සව සාමුහිකව සැමරීම යන මාතෘකා යටතේ පාසල් අත්පොතක් ලෙස සකස්කර පිටපත් ලක්ෂයක ප්‍රමාණයක් ඉදිරි වර්ෂයේදී පාසල් සඳහා බෙදා දීමට බලාපොරොත්තු වේ. එක්සත් ජාතීන්ගේ සංවිධානයෙන් කරන ලද පර්යේෂණයකට අනුව එය ඉතා පලදායි සාර්ථක ව්‍යාපෘතියක් ලෙස වාර්තා කර ඇත.

විවිධත්වය තුළ එකමුතුව ජාතියේ ශක්තියයි යන තේමාව ඔස්සේ දිවයිනේ සියලු පළාත් නියෝජනය වන ආකාරයෙන් 9000 කට අධික පාසල් සිසුන් සහභාගිකරවාගනිම්න් පවත්වන ලද සමස්ත ලංකා පාසල් චිත්‍ර හා රචනා තරගයේ සම්මාන ප්‍රධානෝත්සවය හිටපු ජනාධිපතිනී සහ ජාතික සමඟිය සහ සංහිඳියා කාර්යාංශයේ සභාපතිනී ගරු චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග මහත්මිය හා අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මහතා ඇතුළු සම්භාවනීය පිරිසකගේ ප්‍රධානත්වයෙන් බණ්ඩාරනායක අන්තර්ජාතික සම්මන්ත්‍රණ ශාලාවේදි පැවැත්විණි.

හේමමාලා රන්දුනු

Comments