
තොප්පිගල කී සැණින් අපේ මතකය පෙළගැසෙන්නේ සිතුවම් පටයක් ලෙසිනි. එහෙත් ඒ සිතුවම්පටයේ අතීත රජ දවස තොප්පිගල ජනාවාසය පිළිබඳ කිසිදු සටහනක් නැත. යට ගිය ඒ අතීතය නැවත ඉස්මතු කරමින් තොප්පිගල පුරාවිද්‍යාත්මක අගයෙන් යුත් මානව ජනාවාසයක් බවත් එහි පසු කාලීනව බෞද්ධ විහාරාරාම සංකීර්ණයක් පැවැති බවත් පාලි හා බෞද්ධ විශ්වවිද්‍යාලය මගින් හඳුනාගැනිණ. එසේ හඳුනාගැනීමේදී ප්‍රාග් ඓතිහාසික යුගයේ සිට වර්තමානය දක්වා මානව ක්‍රියාකාරකම් එම භූමියෙන් හඳුනා ගැනිණ.
ඓතිහාසික යුගයට අයත් මෙතෙක් නොකියවූ සෙල්ලිපි දෙකක් හා ක්‍රිපූ 3 - ක්‍රිව 7 කාලයට අයත් විහාර සංකීර්ණයක් හඳුනාගැනීමට ශ්‍රී ලංකා පාලි බෞද්ධ විශ්වවිද්‍යාලයේ පූරාවිද්‍යා අධ්‍යන අංශයේ ගවේෂණ කණ්ඩායම හඳුනාගෙන තිබේ. ප්‍රාග් ඓතිහාසික යුගයේ සිට ඓතිහාසික යුගය දක්වා මානව ජනාවාසයක සාධකද හමු වී ඇත.
ශ්‍රී ලංකාවේ ප්‍රාග් ඓතිහාසික, පූර්ව ඓතිහාසික හා ඓතිහාසික යන යුග තුනම නියෝජනය කරන සාධක තොප්පිගල නරකමුල්ල ප්‍රදේශයේදී හඳුනාගැනීමට ශ්‍රී ලංකා පාලි බෞද්ධ විශ්වවිද්‍යාලයේ පුරාවිද්‍යා අධ්‍යයන අංශයේ ගවේශන කණ්ඩායම සමත්ව ඇත. ඓතිහාසික යුගයට අයත් මෙතෙක් හඳුනා නොගත් සෙල්ලිපි දෙකක් හඳුනාගැනීම ඉන් ප්‍රධාන වේ. ඉන් එකක් වරහල ලිපියක් හෙවත් විහාරයේ වතාවත් හා ස්වාමීන් වහන්සේලාගේ පහසුව සඳහා ලබාදුන් වහලුන් නිදහස් කිරීම පිළිබඳ සඳහන් ලිපියක් වේ. එය ක්‍රිව 5 - 6 කාලයට අයත් බව හඳුනාගෙන ඇත. අනෙක් ලිපිය ගිරි ලිපියක් වන අතර විහාරස්ථානයට කරන ලද පූජා ආදීය පිළිබඳ කියැවෙන බව අනාවරණය වේ. එහෙත් ක්‍රිව 3-4 කාලයට අයත් යැයි සැලැකේ. මේ ලිපි දෙක තවමත් කියවා නැත. මීට අමතරව ලෙන් ලිපි ගණනාවක් ම හඳුනාගැනීමට හැකි වී තිබේ.
නරකමුල්ල මාදුරු ඔය දකුණු ඉවුරේ විහාර සංකීර්ණයක් හඳුනාගෙන ඇති අතර මෙහි දී ඓතිහාසික යුග තුනම නියෝජනය කරණ සාධක හඳුනාගැනීමට හැකි බව පාලි හා බෞද්ධ විශ්වවිද්‍යාලයේ පුරාවිද්‍යා අධ්‍යන අංශයේ ආචාර්ය සස්මි අමරසේකර මහත්මිය පවසයි. මේ විහාර සංකීර්ණයේ ස්තූප, බෝධිඝරය, ප්‍රතිමා ගෙවල් හඳුනාගත හැකිය. මේ ආරාම අංග විහාර සංකීර්ණයේ දකුණට බරව සරල රේඛීයව පිහිටුවා තිබේ. එය වැදගත් සාධකයක් ලෙස හැඳින්විය හැකිය.
සංඝාරාමය වැව්, ගංගා, ඇළ-දොළ ආශ්‍රිතව නිර්මාණය වී තිබේ. පූර්ව ඓතිහාසික යුගයේ ප්‍රාග් මානවයන් විසු ලෙන්හි පූර්ව ඓතිහාසික යුගයේ භික්ෂූන් විසු බව අනාවරණය කරගත හැකිය. ප්‍රාග් මානවයාගේ ලෙන් සිතුවම් මේ ප්‍රදේශයේ ලෙන් තුළ දැකගත හැකි වී ඇත. එම ලෙන් පූර්ව ඓතිහාසික යුගයේ කටාරම් කොටා වරිච්චියෙන් බැඳ භික්ෂූන් වෙත පූජා කළ අයුරු ලෙන් ලිපි කියැවීමෙන් හඳුනාගත හැකිය. ඒවා කි.පූ.3-1සියවස් වලට අයත් වේ. යකඩ තාක්ෂණය දියුණු වීමත් සමඟ ඓතිහාසික යුගයේ සංවර්ධිත ලක්ෂණ දැකගත හැකි අතර කැටයම් රහිත ගල්කණු සඳකඩ පහන මෙන්ම කැටයම් සහිත ගල් කණු ද හඳුනාගත හැකිය. විහාර සංකීර්ණයේ දක්නට ඇති නාගරික සංවර්ධනීය ලක්ෂණ ක්‍රිව 1-7 සියවස්වලට අයත්යැයි හඳුනාගෙන ඇත.
මේ විහාර සංකීර්ණයට බටහිරින් පබ්බත විහාර සංකීර්ණය හඳුනාගෙන ඇති අතර මේ විහාර සංකීර්ණ දෙක එකිනෙක සම්බන්ධ කරනු ලබන බටහිර දෙසින් වූ පාලමක්ද හඳුනාගැනීමට හැකි වී තිබේ. පාලමෙහි කණුමුල් හා බැමිද ලී පාලම ඉදිකීරීම මගින් විහාර ආරාම සංකීර්ණ දෙක එකට යා කර තිබූ බවටද හඳුනාගත හැකිය. මේ පාලම අසලින් ස්තූප ගොඩනැගිල්ල දක්වා ඉදිවූ පඩි පෙළක්ද පිහිටා තිබූ බවට සාධක දක්නට තිබේ. මෙහි කටාරම් කෙටූ ලෙන් විහාරය තුළ වු අඩි විසිපහක් පමණ දිගු සැතැපෙන පිළිමය නිධන් සොරුන් විසින් විනාශයට පත් කර ඇත. විශේෂත්වය වන්නේ වසර 30ක යුද සමයේ පවා ආරක්ෂා වී තිබූ මේ බුද්ධ ප්‍රතිමාව හඳුනාගැනීමටවත් නොහැකි වන සේ මෑත කාලයේ විනාශ කරදැමීමයි. ඒ ලෙන හුනු බදාමයේන් කපරාරු කර වර්ණ ගන්වා සිතුවම් ඇඳ තිබූ බවට සාධක තිබේ. බුද්ධ ප්‍රතිමාව ගඩොළින් නිමවා හුනු බදාමයෙන් පිළියම් කොට තිබේ. මේ පිළිමය ක්‍රිව 4 - 5 සියවස්වලට අයත්වේ යැයි අනුමාන කෙරේ. මේ විහාර සංකීර්ණයට ඇතුලු වෙද්දී මත්ස්‍ය සංකේතයක් විශාල ගල් පර්වතයක කොටා ඇති අයුරු දැක ගත හැක. මෙය අතිත රෝහණ රාජ්‍යයේ රාජ්‍ය ලාංඡනය විය හැකි බව කථිකාචාර්ය බැරගම සද්ධානන්ද හිමියෝ පවසති. සැම සෙල්ලිපියක් අවසනම සටහන් කර ඇති ස්වස්තික ලකුණ මගින් 'තිශ' යන්න කියැවෙන බවද ඒ අනුව මේ විහාර ආරාම සංකීර්ණ දෙක රාජ්‍ය අනුග්‍රහය හෝ කුමාර වරුන්ගේ අනුග්‍රහය යටතේ පැවැති බව ද හඳුනාගෙන තිබේ. සෙල්ලිපියට අනුව මේ විහාර සංකීර්ණය කලක මහා විහාරය ලෙස හඳුන්වා තිබේ.
මේ විහාර සංකීරණයට ආසන්නයේ තොප්පිගල ප්‍රදේශයේන් අතීතයේ ගල් ඉවත් කරගත් ගල් කොරියක් හමු වී ඇත. නෙළුගල ප්‍රදේශයේ දී යකඩ උණු කිරීම පිළිබඳ සාධක හා යකඩ තාක්ෂණය පිළිබඳ සාධක හඳුනා ගත හැකිය. මේ ප්‍රදේශයෙන් වර්ග කිලෝ මීටර් එකක් පමණ වූ ප්‍රදේශයක පැතිර ගිය වළංකටු නිධියක් හමුවී ඇති අතර එහි සකපෝරුවෙහි නිෂ්පාදිත බ්ලැක් ඇන්ඩ් රෙඩ් වෙයා, බ්ලැක් වෙයා, හඳුනාගත හැකිය.
මේ ප්‍රදේශයේ හඳුනගත් ජනාවාසයේ වැදගත් ලක්ෂණය වන්නේ දඩයක්කාර යුගයේ සිට ඓතිහාසික යුගය දක්වා මානව සාධක දක්නට ලැබීමයි.
තොප්පිගල, නරකමුල්ල, නෙළුගල ප්‍රදේශයෙන් හමු වී ඇති අක්කර පහක් පමණ පුරා පැතිර-ගිය මහා ශිලා යුගයට අයත් සුසාන හමු වී තිබේ. මේ සුසාන හඳුනාගැනීමෙන් ගම්‍ය වන්නේ ඈත අතීයේ සිට මේ ජනයා අභිචාර විධි අනුගමනය කර ඇති බවයි. ඉන් සුසාන දෙකක් නිධන් සොරුන් විසින් විනාශ ඇති අයුරු දැක ගත හැකි වේ. තෝප්පිගල පුරාවිද්‍යාස්ථාන හා ස්මාරකයක් ශ්‍රී ලංකා පාලි හා බෞද්ධ විශ්වවිද්‍යාලයේ උපකුලපති මහාචාර්ය ගල්ලෑල්ලේ සුමනසිරි ස්වාමීන් වහන්සේ ගේ අනුශාසකත්වයෙන්, ආචාර්ය සස්මි අමරසේකර, ආචාර්ය ප්‍රියන්ත ජයසිංහ, කථිකාචාර්ය බැරගම සද්ධානන්ද හිමි, බාහිර කථිකාචාර්ය අසංක තිලකසිරී, පරිගණක උපදේශක සාලිය සම්පත් යන පිරිස ගවේශෂණය සඳහා සහභාගී වූහ. මේ ප්‍රදේශයේ මෙතෙක් විධිමත් ගවේෂණයක් සිදු කර නැත. පුරාවිද්‍යා දෙපාර්තෙමේන්තුවේ අනුග්‍රහය යටතේ මේ ප්‍රදේශයේ කැණීම් සිදු කිරීමෙන් අතීත ශ්‍රී ලංකාවේ තොරතුරු රැසක් අනාවරණය කරගත හැකි වනු ඇත.
අතීත මානව ජනාවාසයක රහස් නිරාකරණය කරගැනීමේන් වත්මනෙහි මෙරට බලපවත්නා සංස්කෘතික සමාජීය ගැටලු රැසක් නිරාකරණය කරගැනීම පහසු වනු ඇත. එය අනාගත පරපුරේ සුභසිද්ධියට මෙන්ම රටේ ආර්ථික අභිවෘද්ධියටද උපකාරි වේ.
ටෙක්ලා පද්මිණී කාරියවසම්
සේයාරූ - සුදම් ගුණසිංහ, පාලි හා බෞද්ධ විශ්වවිද්‍යාලය