නිදා සිටින සිංහයන් අවදිකරවා ගැනීම? | සිළුමිණ

නිදා සිටින සිංහයන් අවදිකරවා ගැනීම?

 ශ්‍රී ලංකාවේ එක්දින තරග ඉඩෝරයට සිහින් වර්ෂාවක් ඇදහැළුණේය. ඒ පසුගියදා ඉන්දියාවේ හිමාචල්හි ධරම්ශාලා ක්‍රීඩාංගණයේදීය. කාසිය වාසිය හිමිවූයේ අපටය. තණතීරුවේ ස්වභාවය අනුව පළමුවෙන් පන්දුවට පහර දෙන්නැයි ආරාධනා කෙරුණේ ඉන්දියාවටය. එහි ප්‍රතිඵලය අප කවුරුත් දන්නේය. ඉන්දියාවට වැලේ වැල් නැතිවිය. නම සහිත ක්‍රීඩකයෝ නම නොතකාම ආ සැණින් ක්‍රීඩාගාරයට ගියෝය. ප්‍රේක්ෂකයෝ සිටියේ තුෂ්නිම්භූතවය. පුහුණුකරු රවී ශ්‍රාශ්ත්‍රී ගේ මුහුණ අමාවක රාත්‍රිය මෙනි. හිරු පායා තිබුණේ ශ්‍රී ලංකා ක්‍රීඩක කාමරයේය. ඉන්දියාව බිම වැටුණේය. ශ්‍රී ලංකාව පායා ආවේය. මෙම සිදුවීමත් සමඟ ශ්‍රී ලංකා කඳවුර තුළ අපේක්ෂා පොදි බැඳිණි. බදාදා තරගයට ගියේ වඩා හැඟීම්බරවය. තිසර කාසියේ වාසිය දිනුවේය.

පන්නන එක හොඳය. ඉන්දියාවට ගහන්නැයි තිසර කීවේය. ‘ඕර් රියලි?‘ හිත ඇතුළෙන් රෝහිත් ෂර්මාට කියවෙන්නට ඇත. ඒ මන්දයත් පිතිකරුවන්ට මෙතරම් යෝග්‍ය තණතීරුවක තමන්ට මුලින්ම පන්දුවට පහර දෙන්නැයි කියන තමන්ගැන විශ්වාසයක් නැති මේ හාදයන් ගැනය. තම පිතිකරුවන් බලා සිටින්නේ කෝලිගේ මංගල්‍යයට හිතේ හැටියට ගැලපෙන තෑග්ගක් දෙන්නය. ඒ සඳහා තිසරද සම්මාදන් වනවාදැයි ඔහුට සිතාගන්නට බැරිවෙන්නට ඇත. අවසානයේ ඔහු පිත්තත් රැගෙන ශිකර් ධවාන් සමඟ පිට්ටනියට බැස්සේය. ධවාන් මගදී හැරී ගියේය. ඒත් රෝහිත් සිය යුතුකම උපරිම වශයෙන් සම්පූර්ණ කරමින් කෝලි වෙනුවෙන් තනියම ත්‍යාගයක් වියමන් කළේය. ඒ එක්දින ද්විත්ව ශතකයකි. පළමු තරගය අමුඅමුවෙන් පරාජයවී නන්නත්තාරව සිටි ඉන්දීය පිලට ඔහු නොදැවී ලකුණු 208 කින් සම්මාදම් වූයේ ඒ අයුරිනි.

හතරේ පහර 13කි. හයේ පහර 12කි. ඒ දෙකේ එකතුවෙන් පමණක් තනි ශතකයකි. සමස්ත ඉන්දීය ඉනිමටම පන්දු 311කි. ඉන් 153කට මුහුණ දුන්නේ රෝහිත් ෂර්මාය. ඒ අවදිවූ සිංහයන් යළි නිදි ගැන්වීමේ පියවරක් වැනිය. හරියට කියනවානම් අයි.පී.එල්. කුමන්ත්‍රණයක් බඳුය. යන්තම් සේලයින් පාරක් ඇඟට වැටුණා විතරය. ඒ සේලයිමෙන් සලිත වී සිටි අපට රෝහිත් ශර්මා මොහාලිහිදී දුන්නේ අමතක නොවන උත්තරයකි. ඒ උත්තරයට අපේ පන්දු යවන්නන්ට කට උත්තර නැත. පන්දු රකින්නන්ට එකතැනක ඉන්නට නොහැක. ක්‍රිකට් ඒවාගේය. විටෙක ජීවිතය වගේය. සැමවිටම හොඳම පන්දු වැටෙන්නේ නැත. හොඳට ගුටි කන්න සිදුවෙන අවස්ථා එමටය. ඒත් එක දෙයක් කිවයුතුව ඇත. එදා ශ්‍රී ලංකා පිල ධරම්ශාලාහි නැගී සිටීමේ කතාව ගැනය. අප මේ ආකාරයෙන්ම ඕස්ට්‍රේලියාවේද නැගිට්ටේය.

එසේ නැගිට නිකං හිටියේ නැත. එයින් අනතුරුව එය තවදුරටත් වර්ධනය කරනු ලැබිණි. එහි අවසන් ප්‍රතිඵලය වූයේ 1996 ලෝක ක්‍රිකට් සිළුමිණට හිමිකම් කීමය. එය නිකංම නිකං ජයග්‍රහණයක් පමණක් නොවේ. මුළු ලෝකයේම අවධානය තම කණ්ඩායම වෙත ආකාර්ශනය කරගැනීමකි. ඉන්පසු බිහිවන ක්‍රීඩකයන්ගේ සාක්කු පුරවන ජයග්‍රහණයකි. පසුගියදා දිල්ලියේ දුමත් සමඟ පීඩනයට පත් ශ්‍රී ලංකා ක්‍රීඩකයන්ගෙන් කළමනාකාරිත්වය ලබාගන්නට උත්සුක වුණේ එවැනි අත්දැකීමකි. එහෙත් ලැබුණේ එවැනි අත්දැකීමක්මද? එසේත් නැතහාත් අවිනිශ්චිත ක්‍රිකට් ක්‍රීඩාවේ තවත් එක් නිමේෂයක් පමණක්ද? එය තේරුම් ගැන්වීමට අවසරය ඇත්තේ තිසර හා ඔහුගේ කොළු නඩයටමය. 

Comments