නාවික හමුදාවට 67යි | සිළුමිණ

නාවික හමුදාවට 67යි

1950දී 'රාජකීය ලංකා නාවික හමුදාව' ලෙස ශ්‍රී ලංකා ‍නාවික හමුදාවේ ආරම්භය සටහන් වූ අතර, අද වන විට නාවික හමුදාව වසර 67ක අභිමානය සමරමින් සිටී.

නාවික සේවයට එක් වන ඕනෑම නාවිකයකු හට ලබා දෙන මූලික නාවික පුහුණුවෙන් අනතුරුව ඔවුන්ගේ වෘත්තීය නිපුණත්වය වර්ධනය කරගැනීමට අවස්ථා සලසා දෙමින් ඔවුන් විවිධ අංශ යටතේ නාවික යාත්‍රා සඳහා අනුයුක්ත කරයි.

සෑම නාවික පුද්ගලයකුම තාක්‍ෂණික පසුබිමේ නිපුණත්වයක් ලැබීම අනිවාර්ය අවශ්‍යතාවක් වන අතර, මෙහිදී ඔවුන් ලබන නාවික සංග්‍රාම පුහුණුවද, නවීන නාවික අවි පද්ධති භාවිතය පිළිබඳ දැනුමද ඉතා සුවිශේෂ එකක්. ඒ වාගේම යාත්‍රික, ඉංජිනේරු, විදුලි ඉංජිනේරු, සැපයුම්, වෛද්‍ය සහයක, තොරතුරු තාක්ෂණ, නැව් බඳ ඉංජිනේරු සහ නාවික සෙබළ ආදි විවිධ අංශයන්ට අයත්ව නාවික සේවයට එක් වන නාවිකයකු හට තම අංශවලට අදාළ විෂයපථය කෙරෙහි ප්‍රායෝගික ක්‍රියාකාරකම්ද සහිත පරිපූර්ණ පුහුණුවක් ලබා දීමට 'මහ සයුර මැද සරසවිය' ලෙස විරුදාවලි ලත් නාවික හමුදාව සමත්ව සිටී.

නාවික හමුදාව සතුව පවතින විවිධ ප්‍රහාරක මෙන්ම භාණ්ඩ හා මගී ප්‍රවාහන බළගණවලට අමතරව විවිධ කාර්යයන් සඳහා ප්‍රවීණත්වය ලැබූ බළගණ කිහිපයක්ම සිටී.

ගොඩබිම, ගුවන මෙන්ම සාගරික සංග්‍රාම සඳහා පුරෝගාමී වූ විශේෂ යාත්‍රා බලගණය, වෙරළ ආශ්‍රිත නාවික සංග්‍රාම සඳහා පිහිටුවා ඇති ක්‍ෂණික ක්‍රියාකාරී යාත්‍රා බළගණය මෙන්ම සතුරු බිම් ආක්‍රමණය සඳහා පුහුණු කොට ඉතා මෑතකදී පිහිටුවන ලද නාවික හමුදා මැරීන් බළ ඇණිය මේ අතරින් සුවිශේෂ වේ.

රටේ ආරක්‍ෂිත මර්මස්ථාන වන කොළඹ, හම්බන්තොට සහ ත්‍රිකුණාමලය වැනි වරාය සඳහා අවශ්‍ය ආරක්‍ෂාව සලසා දීම, අපගේ මුහුදු සීමාව හරහා වැටී ඇති වෙළෙඳ නාවික ගමන් මාර්ගවලට අවශ්‍ය ආරක්ෂාව සලසා දීම මෙන්ම විවිධ වූ සංවර්ධන කටයුතු සඳහා අවශ්‍ය තාක්‍ෂණික දැනුම මෙන්ම අවශ්‍ය පිරිස් බලය සැපයීම සඳහා නාවික හමුදාව කැපවීමෙන් යුතුව ක්‍රියා කරයි.

මෑතකදී අප රට තුළ ඉතා බහුලව අසන්නට ලැබුණු තැලසීමියා රෝග තත්ත්වය පාලනයට අවශ්‍ය වන නික්ෂේපන යන්ත්‍ර නිෂ්පාදනයට නාවික හමුදාව සිය අපමණ දායකත්වය දුන් අතර, ආර්ථික දුෂ්කරතාවලින් පෙළෙන රෝගීන්ට මෙවන් යන්ත්‍ර 1527ක් පමණ නාවික හමුදාව විසින් නිෂ්පාදනය කොට නොමිලයේ බෙදා දී තිබේ.

මෙයට අමතරව විශේෂයෙන්ම අතිගරු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිඳුන්ගේ සංකල්පයට අනුව ක්‍රියාත්මක ජනාධිපති කාර්ය සාධක බළකායේ වකුගඩු රෝග නිවාරණ වැඩසටහන හා එක්ව උතුරු හා උතුරුමැද පළාත් ආශ්‍රිතව පවතින වකුගඩු ‍රෝග නිවාරණයටද නාවික හමුදාව ඍජුවම මැදිහත්ව සිටින අතර, නාවික හමුදා සංවර්ධන හා පර්යේෂණ ඒකකය මගින් මේ ප්‍රදේශවල ජනතාවට පිරිසුදු පානීය ජලය ලබාගැනීමට අවශ්‍ය වන ජල ප්‍රති-ආශ්‍රැත පද්ධති 307ක් පමණ මේ වන විට ඉදි කර තිබේ.

Comments