
ජීවිතය යනු පැරණි කර්මයෙන් හටගත් දෙයකි. ඇස යනු පැරණි කර්මයකි (චක්ඛුං භික්ඛවෙ පුරාණං කම්මං). කන, නාසය, දිව, කය, මනස යන සියල්ල පැරණි කර්ම විපාකයකි. අට්ඨකථාවන්හි ද මෙය මේ ආකාරයෙන් ම විග්‍රහ කොට ඇත. ඇස යනු කුමක් ද යන්න මෙසේ විග්‍රහ කර යි. (දට්ඨුකාමතා නිදාන කම්මජ භූතප්පසාද ලක්ඛණා චක්ඛු) දකිනු කැමති බව නිදාන කොට කර්මයෙන් නිපන් ප්‍රසාද වස්තුව ඇස නමි. දැකීමේ ආසාව සියලු සත්ත්වයින් තුළ ම පවතී. සත්ත්වයින්ට භවයේ ප්‍රතිසන්ධියට හේතු වන කර්ම එම ආශාවල් හා බැඳී පවතී. එම ආශාවල් තෘප්තිමත් කර ගැනීමට අවශ්‍ය වන ඉන්ද්‍රියයන් එම කර්මයේ උපනිශ්‍රය ලැබ ශරීරයේ හට ගනි යි. චක්ඛු ප්‍රසාදය යනු එවැන්නකි. මේ අයුරින් ම අනෙකුත් ඉන්ද්‍රියයන් පිළිබඳව දත යුතු ය. ඇස කොටස් දෙකකට බෙදේ. සසම්භාර චක්ඛු සහ ප්‍රසාද චක්ඛු වශයෙනි. අපට පෙනෙන මාංසමය ඇස සසම්භාර චක්ඛු නම් වේ. කර්මයෙන් හටගත් ප්‍රසාද වස්තුව ප්‍රසාද චක්ඛු වේ. සතර මහා භූත ධර්මයන් හා ඒ හා සම්බන්ධ වර්ණ, ගන්ධ, රස, ඔජා යනුවෙන් දැක්වෙන ශුද්ධාෂ්ටක කලාපය සහ චක්ඛු ප්‍රසාදය, ජීවිතින්ද්‍රිය යන රූප දසය චක්ඛු දසක කලාප නම් වේ. අනෙකුත් ඉන්ද්‍රියයන් ද මේ අයුරින් ම සංග්‍රහ වන බව දත යුතු ය. (රූපය පිළිබඳ විග්‍රහයන් පසුව ඉදිරි ලිපි මගින් දක්වනු ලැබේ). ජීවිතයේ හට ගැනීම සඳහා පූර්ව හේතු කෙතරම් සියුම් අයුරින් බලපවත්නේ ද යන්න මෙයින් තේරුම් ගත හැක.
විපාක සිත්
සමස්ත ජීවිතයේ ස්වභාවය ම පූර්ව කර්මයන් පදක කොට පවත්නා අයුරු අංගුත්තර නිකායේ තික නිපාතයෙන් ද දත හැකි ය. කම්මං කෙත්තං, විඤ්ඤාණං බීජං, තණ්හා සිනෙහො වශයෙන් දක්වන තැන්හි කර්මය ක්ෂෙත්‍රය වශයෙන් විග්‍රහ කොට ඇත. එනම් ප්‍රධාන භූමිය යි. එය උපකාර කොටගෙන විඤ්ඤාණ නමැති බීජයන් රෝපණය වේ. ප්‍රතිසන්ධි විඤ්ඤාණය එවැන්නකි. එයට තණ්හාවෙන් මහත් උපකාර ලැබේ. බීජ රෝපණයට අවැසි තෙත් ගතිය මෙනි. අභිධර්මයේ චිත්ත විග්‍රහයෙහි දී අහේතුක සිත්හි චක්ඛු විඤ්ඤාණා දී සිත් දහයක් කුසල විපාක සහ අකුසල විපාක වශයෙන් දක්වා ඇත. එම සිත් විපාක සිත් ය. රූප දැකීම්, ශබ්ද ඇසීම් ආදී වශයෙන් දස්සන කෘත්‍ය, සවන කෘත්‍ය ආදිය සිදු කරමින් පහළ වන සිත් කොටස් ය. ඒවා පූර්ව කර්ම විපාක වශයෙන් ජනිත වන සිත් ය. පූර්ව කර්මයන්ගේ බලපෑම ජීවිතයට කෙතරම් බලපවත්නේ ද යන්න මෙම කරුණු අනුසාරයෙන් දත යුතු ය.
වීර්යය
ධර්මාවබෝධය සඳහා මෙම පූර්ව හේතු සහ වර්තමාන හේතු අතර කෙතරම් සම්බන්ධයක් තිබේද යන්න විමසිය යුතු ය. ධර්මාවබෝධය සඳහා පූර්ව ජීවිතයන්හි පුරුදු කරන ලද සමථ විදර්ශනාවන් තිබිය යුතු ය. එසේ නොවන කල්හි මේ ජීවිතයේ ධර්මාවබෝධය කළ නොහැකිය. එම පූර්ව හේතු සේ ම වර්තමානයේ එකතු විය යුතු කරුණු ද ඒ සමඟ ගැළපිය යුතු ය. යමෙක් පූර්ව හේතු සම්පාදනය කොට මේ භවයේ ඒකාන්තයෙන් ම නිවන් දක්නේ නම් එම පුද්ගලයින් පශ්චිම භවික පුද්ගලයින් නමින් හඳුන්වයි. කිනම් උපක්‍රමයකින් හෝ එම ජීවිත කිසිවෙකුට ද විනාශ කළ නොහැකිය. මේ භවයේ ඒකාන්තයෙන් ම බුද්ධත්වයට පත්වන බෝසතාණන් වහන්සේගේ ජීවිතය කවර හේතුවක් නිසා හෝ විනාශයට පත් නොවේ. බක්කුල තෙරුන් වහන්සේගේ සහ සංකිච්ච තෙරුන් වහන්සේගේ ජීවිත කථා ද මේ සඳහා නිදර්ශන වශයෙන් දැක්විය හැකිය. එසේ නොවන අනෙක් පිරිස් වීර්යයෙන් එම කටයුතු සම්පාදනය කොටගත යුතු ය. සප්ප්‍රාය සෘතු, භෝජන, භූමිය නොලද හොත් එම අවස්ථාවේ ද මාර්ගඵල ලැබීම ප්‍රමාද වන බව දැක්විය හැකිය. මාතිකා මාතා උපාසිකාවගේ කථාව මේ සඳහා නිදසුන් වශයෙන් දැක්විය හැකිය. එක් වස් කාලයක කර්මස්ථාන ගෙන භාවනා කිරීම සඳහා ගිය භික්‍ෂු පිරිසක් අනුසාරයෙන් කමටහන් ඉගෙනගත් මෙම උපාසිකාව එම තෙරුන් වහන්සේලාට ප්‍රථම ව අනාගාමී ඵලයට පත් වූවා ය. තෙරුන් වහන්සේලා මාර්ගඵල අවබෝධයට ප්‍රමාද වන කල්හි ඒ පිළිබඳ සොයා බැලූ ඇය උන්වහන්සේලාට සුදුසු ආහාර පාන නොලැබෙන බව දැන එම අවශ්‍ය දේ සම්පාදනය කොට දීමෙන් අනතුරුව එම භික්‍ෂූහු ඉක්මනින් ම මාර්ගඵල අවබෝධයට පත් වූහ. ධර්මාවබෝධයට කර්මස්ථානය සහ පූර්ව හේතු සේ ම මේ ජීවිතයේ දී ලැබිය යුතු සප්ප්‍රාය දේ ලැබීම අත්‍යාවශ්‍ය බව මේ අනුව තේරුම් ගත යුතු ය.
භූමිය
මාර්ගඵල ලැබීම සඳහා භූමියේ උපනිශ්‍රය කවර අයුරින් ලැබිය යුතු ද යන්න ද විමසිය යුතු ය. කරණීය මෙත්ත සූත්‍රය දේශනා කිරීම සඳහා පසුබිම් වූ හේතු පරීක්‍ෂා කිරීමෙන් මේ බව වටහාගත හැකි ය. බුදුරදුන්ගෙන් කර්මස්ථාන ගෙන බවුන් වැඩීම සඳහා එක් වනයකට පිවිසි භික්‍ෂුන්ට සිදු වූ අපහසුතාවයන් හේතුවෙන් නැවත බුදුරදුන් සොයා පැමිණීයේ තමන්ට භාවනා සිදු කිරීම සඳහා එම ස්ථානය නුසුදුසු යැයි පවසමිනි. එහි දී බුදුරදුන් මෙම භික්‍ෂූන්ට භාවනා කිරීම සඳහා යෝග්‍ය භූමිය කවරේද යන්න බුදු නුවණින් විමසන කල්හි විශ්වයේ එම භික්‍ෂූන්ට සප්ප්‍රාය වන වෙනත් සුදුසු භූමියක් නොවන බව දැන කරණීය මෙත්ත සූත්‍රය උගන්වා එය භාවිත කිරීම සඳහා උපදෙස් ලබා දී නැවත එම ස්ථානයට ම යොමු කරන ලදි. එයින් පසුව එම භික්‍ෂූන් සුවසේ කර්මස්ථාන වඩා මාර්ගඵල උපදවා ගන්නා ලදි. මේ අයුරින් ම මහබෝසතාණන් වහන්සේ බුද්ධත්වයට පත් වීම සඳහා බෝධිමණ්ඩලයට ම එළඹිය යුතු ය. පාරමී ධර්ම සියල්ල පූරණය කළ සිටිය ද වෙනත් ස්ථානයක සිට කොතෙක් භාවනා කළ ද බුද්ධත්වයට පත් විය නොහැක. මෙම කරුණු ඔස්සේ නුවණින් විමසන කල්හි ඒ ඒ පුද්ගලයින්ට චිත්ත දියුණුවක් ලැබීමට නම් සුදුසු භූමිය ද සම්මුඛ විය යුතුය යන නිගමනයට එළඹිය හැකිය.
මාර්ගඵල
මේ කරුණු නුවණින් විමසමින් ම අවබෝධ කළ යුතු ය. ඇතමුන් කල්පනා කරනුයේ ධර්මයේ සඳහන් කුමක් හෝ භාවනාවක් කිරීමෙන් මාර්ගඵල අවබෝධ කළ හැකි ය යනුවෙනි. එය එසේ නොවන බව දත යුතු ය. එය ඉතා සියුම් කරුණක් බව අවබෝධ කළ යුතු ය. සාංසාරික ජීවිතය තුළ අප විසින් ඒ ඒ භූමින් ඇසුරු කොට සිදු කළ අප්‍රමාණ ක්‍රියාවන් මේ ජීවිතය හා බැඳී පවතී. අප කෙතරම් අපට නුසුදුසු භූමියක සිට භාවනා කර්මස්ථානයන් වැඩුව ද දියුණු විය නොහැකිය. නුතනයේ බොහෝ පිරිස් නිතර විශාල පිරිස් වශයෙන් හෝ තනි තනි වශයෙන් ධර්මය උගෙනිමින් භාවනා කළ ද උසස් චිත්ත දියුණුවක් ලැබූ පිරිස් අල්ප ය. මාර්ගඵල ලැබූවකු සොයාගත නොහැක. එයට හේතු කවරේද යන්න විමසීමට ඔවුන් තුළ පවත්නා ඥානය සහ ජීවිතය සහ සසරේ ස්වභාවය දක්නා පරාසය ඉතා සීමිත වීම පෙන්වා දිය හැකිය. ත්‍රිපිටකය තුළ මෙම කරුණු එක් කොට මෙසේ වන්නේ යැයි එක් ස්ථානයක දක්වා නැත. අප විසින් බොහෝ කාලයක් ධර්මය හදාරමින් භාවනා කර්මස්ථාන වඩමින් නුවණින් යුක්තව කරුණු පරීක්‍ෂා කිරීමෙන් පමණක් මෙවන් ස්වභාවයක් ජීවිතය හා බැඳී පවතී යන කරුණ අවබෝධ කළ හැකි ය. විවිධ කරුණු එකතු කොට තර්ක කිරීමෙන් ජීවිතය හා බැඳි පවත්නා මෙවැනි සියුම් කරුණු පිළිබඳ දත නොහැකි වේ. විවේක බුද්ධියෙන්, ගැඹුරු ධර්ම ඥානයකින් හා විචක්ෂණ බවකින් යුක්ත පුද්ගලයින් පමණක් මෙම කරුණු අවබෝධ කිරීම සඳහා සමත් බවක් දක්වයි. නුවණ මද පුද්ගලයින්ට මෙම කරුණු අවිෂය බව දත යුතු ය.
කර්මස්ථානයන් වඩා චිත්ත දියුණුවක් ලැබීම සඳහා තමා ඇසුරු කරන භූමිය කෙතරම් බලපවත්නේ ද යන්න අංගුත්තර නිකාය 5, නවක නිපාතය, මෙඝිය සූත්‍රය, ඇසුරින් කරුණු අවබෝධ කළ හැකි ය. මෙඝිය තෙරුන් බුදුරදුන්ට උපස්ථාන කරමින් සිටින කාලයෙහි පිණ්ඩපාතයේ වඩින විට දර්ශනය වූ දර්ශනීය වනයක් දැක එහි භාවනා කිරීමට සුදුසු යැයි සලකා එහි යෑම සඳහා බුදුරදුන්ගෙන් අවසර ඉල්ලා සිටිය හ. එහෙත් බුදුරදුන් එයට අවසර නොදෙන ලදි.
අවස්ථා කීපයකදීම අවසර ඉල්ලා සිටි කල්හි බුදුරදුන් එහි යෑමට අවසර දෙන ලදි. බුදුරදුන් එම තෙරුන්ට අවසර නොදෙන ලද්දේ එම භූමිය එම තෙරුන්ට භාවනා කිරීම සඳහා යෝග්‍ය භූමිය නොවන හෙයිනි. එනමුදු තම මතය ම නිවැරදි යැයි සලකා එහි භාවනා කිරීමට ගිය මෙඝිය තෙරුන්ට කිසි ලෙසකින්වත් සිත එකඟ කිරීමට නොහැකි විය.
පෙර භවය
ෙතරුන් පූර්වයේ එහි සිට සිදු කළේ කර්මස්ථාන වැඩීම නොවේ. කාමයන් ඇසුරු කරමින් වැරදි කළවුන්ට දඬුවම් පැමිණවීමයි. ඒ් අවස්ථාවේ සිත තුළ පහළ වූයේ කාම, ව්‍යාපාද, විහිංසා යන විතර්කයන් ය. එම ස්ථානයට මේ භවයේ ගිය කල්හි ද පූර්වයේ සිත ඇසුරු කළ අරමුණු ම වේගයෙන් පැමිණෙන්නට විය. මෙම කරුණ පට්ඨානයේ උපනිස්සය පච්චය විග්‍රහ වන තැන මනාව පෙන්වා දී ඇත. පුරිමා පුරිමා අකුසලානං ධම්මානං පච්ඡුමානං පච්ඡුමානං අකුසලානං ධම්මානං උපනිස්සය පච්චයෙන පච්චයො. පූර්වයෙන් කරන ලද අකුසල ධර්මය පසුව පසුව සිදු කරන අකුසල ධර්මයන් හට උපනිස්සය ප්‍රත්‍යයෙන් ප්‍රත්‍ය වේ ය යනුවෙනි.
මෙවන් සියුම් කරුණු පිළිබඳ අවබෝධයකින් තොරව කටයුතු කරන්නට යෑමෙන් සිදු වනුයේ මෙඝිය තෙරුන්ට සිදු වූ කරුණම ය. බොහෝ පිරිස් තම සිත ඇලුණු ස්ථානයට භාවනා කිරීමට ගිය ද එවැනි ආකාරයෙන් එම ස්ථානයට තම සිත බැඳී ගියේ කවර හේතුවක් නිසාද යන්න බොහෝ දෙනාට අවබෝධයක් නොමැත.
පසුව එම ස්ථානයට ගිය විට සිත එකඟ නොවේ යැයි වෙනත් පිරිසකගේ හෝ එහි සිටින අයගේ දෝෂයක් පවසමින් කිසිවක් සිදු කිරීමට නොහැකිව ලතැ වේ. ඇතැම් විට දෝෂය පැවතියේ තමා තුළම ය. කරුණු මෙසේ හෙයින් පූර්ව භවයන්හි සහ වර්තමාන භවයේ පවත්නා හේතු අතර සම්බන්ධය කොතෙක් දුරට චිත්ත දියුණුවට හෝ පරිහානියට බලපවත්නේ ද යන්න නුවණින් විමසිය යුතු ය. මේ පිළිබඳ ඉදිරි ලිපියෙහි දී ද ගැඹුරින් කරුණු දක්වනු ලැබේ. මෙම කරුණු වටහා ගැනීමට උසස් ධර්ම ඥානයක් සහ චිත්ත දියුණුවක් ලබා ගැනීමට උත්සහ කළ යුතු ය. එවිට ජීවිතයේ තමාට අතපසු වූයේ කවර කරුණු ද යන්න මනාව අවබෝධ කර ගැනීමේ මාර්ගය තමා තුළින් ම උපදවා ගත හැකි ය.
ලබන සතියේ... ධර්මාවබෝධය සඳහා උපනිශ්‍රය හේතු සැකසෙන අයුරු
ජී.ජී.ජී. පුෂ්පකුමාර්
බෞද්ධ දර්ශනය (විශේෂවේදී) බුද්ධ ධර්ම ඩිප්ලෝමාධාරී