ක්‍රිකට් මුඛවාඩමෙන් මතුවන සමාජ අවගමනයේ පාඩම | සිළුමිණ

ක්‍රිකට් මුඛවාඩමෙන් මතුවන සමාජ අවගමනයේ පාඩම

මෙම ලිපිය මගින් අප සංවාදයට බඳුන් කරන්නේ ඉන්දියාවේ ෆෙරෝෂා කොට්ලා ක්‍රීඩාංගණය හා දිල්ලි නගරය ආශ්‍රිතව වායු දූෂණය සමඟින් මතුවන ශ්‍රී ලාංකික ක්‍රීඩකයන්ගේ නිහඩ විරෝධය සම්බන්ධවය. එය නිර්මාණය වන්නේ කෙසේද ? එකී විරෝධය කොතෙක් දුරට සාධාරණද යන්නත‍්, රටක් නියෝජනය කරන නිලනොලත් තානාපතිවරැන් ලෙස සැලකෙන ක්‍රීඩකයන්ගේ මෙම හැසිරීම තුළින් නිමැවෙන ප්‍රබල සංඥාර්ථය සම්බන්ධයෙන් ඉන්දීය මධ්‍යම රජය එනම් එරට ප්‍රතිපත්ති සම්පාදකයන් මතු නොව සමස්ත ලෝක ප්‍රතිපත්ති සම්පාදකයන්ගේ දෙනෙත් විවර කරනු ලබන්නේ කෙසේද යන්න පිළිබඳවත් මෙම ලිපියේදී සංවාදයට ලක්කෙරෙනු ඇත.

ඉන්දියාවේ විශාලත්වය වර්ග කිලෝ මීටර් 3287363 කි. එරට ජනගහනය සැලකෙන්නේ දළ වශයෙන් 1,32,417,1453 ක් වශයෙනි. මේ අතරින් වැඩි පිරිසක් ක්‍රිකට් උන්මාදයෙන් පෙළෙන්නෝය. එය කොතරම් විශාලද යත් එම ක්‍රීඩාවේ නියැලිය හැකි ජාත්‍යන්තර ක්‍රීඩාංගණ පනහක් ඉන්දියාව තුළ නිර්මාණය කර තිබීමෙන්ම එය පැහැදිලිවේ. ඒ අතරින් තවමත් ටෙස්ට් වර්ණ දිනාගෙන නොමැති ක්‍රීඩාංගණ ප්‍රමාණය 23කි. අනෙක් සියල්ලේම එක් ටෙස්ට් තරගයක් හෝ පවත්වා තිබේ. කෙසේ වෙතත් එක්දින තරගයක් හෝ පන්දුවාර විස්සයි විස්ස තරගයක් සඳහා හෝ සත්කාරකත්වය ලබාදීමට මෙම ක්‍රීඩාංගණයක් යොදා ගැනීමට ඔවුන් අමතක කර නැත. ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණ පනහක සාඩම්බර හිමිකරැවන් වශයෙන් එවැනි ගෞරවයක් හිමිකරගෙන ඇති ඉන්දීය ක්‍රීඩා බලධාරීන් පසුගියදා ජාත්‍යන්තරය අභිමුව දැඩි අසිරැතාවයකට පත්විය. ඒ එරට 13 වැනි විශාලතම ක්‍රීඩාංගණය සේ සැලකෙන එමෙන්ම ටෙස්ට් හා එක්දින තරග සත්කාරකත්වය දෙවැනියට වැඩිම වාර ගණනක් පවත්වා ඇති ෆෙරෝෂා කොට්ලාවේ ක්‍රීඩා කිරීමේ අපහසුතාවක් ඇතැයි ප්‍රකාශ වීමත් සමඟිනි. එය ප්‍රකාශකර සිටියානම් වෙනම කතාවකි. ඒත් ඒ වෙනුවට ශ්‍රී ලංකා ක්‍රීඩකයෝ මුව වැස්මවල් සහිතව පිටියට පිවිසෙමින් හා තෙවැනි ටෙස්ට් තරගය මිනිත්තු පහළොවකින් නවතාලමින් ජාත්‍යන්තර අවධානය තීව්‍ර කළෝය. එම සිදුවීමත් සමඟ ඔවුන් නොකියා ප්‍රකාශකළේ ෆෙරෝෂා කොට්ලාවේ තවදුරටත් ක්‍රිකට් තරග පැවැත්වීම ගැන සිතා බලන ලෙසය. එය අන්තර් ජාතික ක්‍රිකට් සම්මේලනයට ලබාදුන් දැවැන්ත පණිවුඩයක් බඳුවිය.

මෙම අතුල් පහර වැදුණේ කාටද?

අපගේ අදහසට අනුව නම් මෙම අතුල් පහර එල්ල වුණේ සමස්ත ලෝක බලවන්තයින් මෙන්ම, ආර්ථික සමුද්‍රිය කරා ලෝකය පදවන ප්‍රතිපත්ති සම්පාදකයන් සියලු දෙනාටමය. ලෝකය වඩා හොඳ ස්ථානයක් බවට පත්කරවීම සඳහා මානව සමාජය ශික්ෂණයට, දරාගැනීම් හැකියා වර්ධනයට බිහිවුණු ක්‍රීඩාව සඳහා අලුත්ම ප්‍රතිරෝධය පරිසර දූෂණයද යන්න පිළිබඳ විමසීමක් කිරීමට මෙම සිදුවීම හේතුවුණේය. දිනේෂ් චන්දිමාල් ගේ නායකත්වයෙන් යුත් ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම මුව වසාගත්තේ හුදෙක් තරගයට සහභාගිවීමේදී හටගත් ශ්වසන අපහසුතා සමනය කරගැනීමට පමණකැයි මතුපිිටින් බලද්දී හැඟුණද මෙම මුව වැස්ම පිටුපස ඊට එහා ගිය ජාත්‍යන්තර දේශපාලනයක් ඇති බව ඉන් ගම්‍ය වන්නේය. ඒ දේශපාලනය මගින් සිදුකළේ සමස්ත ලෝකයාගේම දෙනෙත් යළිත් වරක් යතාර්ථය ඉදිරිපිට නිරැවත් කිරීමය. එසේ නැතහොත් විවර කිරීමය. ඒ අප සිටින්නේ කොහිද ? අපි නිරතව සිටින්නේ කුමක් තුළද? අපි බලාපොරොත්තුවන නිශ්ඨාවන් සම්පූර්ණ කරගැනීම සඳහා මෙවැනි ගමනක නිරතවීම යෝග්‍ය වන්නේද? යන්න සම්බන්ධවය.

ක්‍රීඩාව ඇරඹුණ දා සිට මානව සමාජයීය ප්‍රගමනය සිදුවනදා සිට මෙම සිදුවීම නව සංකල්පයක් ජනනය කිරීම සඳහා ඉවහල් වූ බව අපගේ විශ්වාසයය. ලාභ නොලබන හුදු සහයෝගය නිර්මාණය කරවන ලෙස ඇරඹි ග්‍රීක කීඩා සංකල්පය ජයග්‍රහණය මූලික කරගත් රෝමන් සංකල්පයක් බවට පත්වූයේ එකී අනවරත ගමනේ ප්‍රතිඵලයක් වශයෙනි. ප්‍රේක්ෂකයන් ක්‍රීඩාව වටා එක් රොක්වීම, වානිජ්‍ය අරමුණු ආරෝපණය වීමද එවැනිය. රාජ්‍යයකට වගකියන, රාජ්‍යයක් නියෝජනය කරන ක්‍රීඩකයන්, ක්‍රීඩා කණ්ඩායම් බිහිවූයේ ලෝකය තුළ ප්‍රජාතන්ත්‍රවාදය වර්ධනයේ ප්‍රතිඵලයක් වශයෙනි. එය දැන් දැන් යළිත් වෘත්තීය තලයේ උපරිමත්වය ඔස්සේ වානිජ්‍යකරණය වීමෙන් වහල් ගති ලක්ෂණ කරා ළඟාවෙමින් ඇති බව වෙනම කතාවකි.

ඒ නයින් බලන කල මෙම මුවවැස්මේ ආන්දෝලනය ඉන්දීය ක්‍රිකට් ප්‍රේක්ෂකයන් කියැවූ ආකාරයට පරාජයේ ලජ්ජාවෙන් ගැලවීම සඳහා දුම් සේලයක එතීමක් නම් නොවේ. එවැනි බාල සිතිවිලි ක්‍රීඩාවේ නාමයෙන් ශ්‍රී ලංකා ක්‍රීඩකයන් තුළ නොතිබුණු බව අවිවාදයෙන්ම පැවසිය හැකිය. ඒ මන්දයත් ලෝකයේ වඩාත් ක්‍රීඩාශීලී ජාතියක් වශයෙන් ශ්‍රී ලංකාව හිමිකරගෙන ඇති අතීත ගෞරවයය. 1996 ඊඩ්න් ගාර්ඩ්න් පිටියේ ක්‍රීඩා ප්‍රේක්ෂකත්වය අමතක කරගත් ජාතියක් වන ඉන්දීය ප්‍රේක්ෂකයන්ට අපේ අතීතය අමතක වීමද එක අතකින් පුදුමයක් නොවේ. එය ඉන්දීය ප්‍රේක්ෂකත්වයේ ප්‍රශ්නයකි.

අප යළිත් අපගේ අනුමාතෘකාවට පිවිසෙන්නේ නම් ෆෙරෝෂා කොට්ලාවේදී මුව වැස්මේ අතුල් පහරට පළමුවෙන්ම ප්‍රතිචාර දැක්වුණේ ක්‍රිකට් ප්‍රේක්ෂකයන් බව සැබෑවකි. අප පෙරකීවාක් මෙන් ඔවුන් කීවේ මේ පරාජය වසා ගැනීමේ උත්සහයක් බවය. එහෙත් ජය පරාජය කෙසේ වෙතත් මෙම වායු දූෂණ කතාව වැඩිම බලපෑමක් කරන්නේ ඉන්දීය ක්‍රිකට් බලධාරීත්වයටය. ඒ නුසුදුසු ක්‍රීඩාංගණයක තරගය පැවැත්වූ බවට එල්ලවීමට ඉඩ තිබෙන චෝදනාව සමඟිනි. මෙලෙස බලන කල පළමුවෙන්ම මෙම සිද්ධිය පිළිබඳ කලබල විය යුත්තේ එරට ක්‍රිකට් බලධාරීත්වය. දෙවැනුව එම මුඛ වාඩම් අතුල් පහර දිල්ලි ප්‍රාන්ත බලධාරීන්ටය. අරවින්ද කෙජ්රිවාල් මහ ඇමැතිවරයාට පමණක් නොව සමස්ත ඉන්දීය මධ්‍යම රජයටද මෙම සිදුවීම කදිම අතුල් පහරකි. පොහොසත් ඉන්දීය මධ්‍යම රජය හා දුප්පත් ඉන්දීය ජනතාව එක්ව මෙම වායු දූෂණයට පිළියම් සෙවිය යුත්තේ කෙසේද යන්න පිළිබඳ මෙම සිදුවීම ගැඹුරැ පණිවුඩයකි. කෙසේ නමුත් දිල්ලි මහ ඇමැතිවරයා මීට පෙර ප්‍රකාශකර තිබුණේ දිල්ලි ජීවිතය යනු හරියටම කියන්නේ නම් ගෑස් කාමරයක සිටින්නාක් බඳු බවය. එයට විසඳුම් වශයෙන් නවීන තාක්ෂණික ඇප් හඳුන්වාදීමට, දිල්ලියට ඇතුළුවන වාහන සීමා කිරීමට, පැරණි වාහන වලට නගරය හරහා යාම තහනම් කිරීමට ඇතුළු කරැණු රැසක් ක්‍රියාවට නංවා ඇත. මෙම වායු දූෂණය උපරිම තලයකට පත්වන්නේ එසේ විවිධ විකල්ප ක්‍රමවේද හඳුන්වාදී තිබියදීය. කෙසේ නමුත් මෙම අතුල් පහර ඉන්දියාවෙන් අවසන් නොවේ. අප එසේ කියන්නේ දැනට ලෝකයේ වඩාත් වායු දූෂණයට ලක්වූ නගර විස්ස අතරට ඉන්දියානු නගර 13ක් එක්ව ඇති නමුත් එයින් කියැවෙන්නේ සෙසු රාජ්‍යන්ගේද මේ ආකාරයෙන් වායු දූෂණය පවතින බව හැඟවෙන බැවිනි. ඒ අනුව වායු දූෂණය සඳහා එනම් පරිසර දූෂණය වැලැක්වීම සඳහා මූලිකව ලෝක බලධාරීන් ක්‍රියා කළ යුතු බවය. ඒ අනුව මෙම අතුල් පහර දරැණු ලෙස එල්ලවී ඇත්තේ සමස්ත වශයෙන් ලෝකයේ සියලු ප්‍රතිපත්ති සම්පාදකයන්ටය.

කර්මාන්ත ව්‍යාප්තියේ අතුරැ ඵල

මෙතැනදී අප තේරැම්ගත යුතු සත්‍යය වන්නේ මෙම අතුල් පහර පෞද්ගලිකව රාජ්‍යයන් දෙකක රාජතාන්ත්‍රික භාවයට එල්ල කළ පහරක් ලෙස නොව සමස්ත ලෝකයටම එකවර ලබාදුන් ප්‍රබල පණිවුඩයක් හා අප සමාජයීය ගමන් මගේ අවලෝකයක් එඑය තුළ සැඟව ඇති බවය.

අධිරාජ්‍යවාදීන්ගේ නිදහස ලබාගැනීමෙන් පසු හරියටම කියන්නේ නම් 1948 නොවැම්බර් 10 වැනිදා පළමු ටෙස්ට් ක්‍රිකට් තරගය පවත්වා ජාත්‍යන්තර වර්ණ දිනාගත් එරට පැරණිම ක්‍රීඩාංගණ අතර සිව්වැනි ස්ථානය දිනාගත් ක්‍රීඩාංගණයේ අනාගතය සම්බන්ධව මේ මොහොත වනවිට අර්බුදයක් නිර්මාණයවී තිබේ. සැබෑ ලෙසම පවසන්නේ නම් එය ෆෙරෝෂා කොට්ලාවට පමණක් බලපාන්නක් නොවේයැයි ද පැවසිය හැකිය. අප එසේ කියන්නේ ජාත්‍යන්තර ක්‍රිකට් බලධාරීන් මෙන්ම, එහි නිරත ක්‍රීඩකයන් වෙනුවෙන් කටයුතු කරනු ලබන ක්‍රීඩකයන්ගේ සංගම් හා ක්‍රීඩකයන්ගේ පෞද්ගලික කළමනාකරැවන් ඉදිරි කාල සීමාව තුළ අවි අමෝරාගැනීමට නියමිතව ඇති හෙයිනි. නිසැක වශයෙන්ම එලෙස අමෝරාගන්නා අවි ඔවුන් ඔසවනු ඇත්තේ නව නීති සම්පාදනය කිරීම පිළිඹඳවය. ඒ අනුව ඔවුන් යෝජනා කරනු ඇත්තේ තරගයක් පැවැත්වීමට පෙර වායුගෝලයේ තත්ත්වය සම්බන්ධ වාර්තාවක් තරගයට පෙර ලබාදීම අනිවාර්ය කරන යෝජනාවක් සම්බන්ධයෙනි. වේග මාපක, ආලෝක මාපක ක්‍රීඩාංගණය සමඟ බැදුණා සේ විනිසුරැවාගේ හා තීරකවරයාගේ අඩුවැඩිය අතරට වායු දූෂණ මාපාංක එක්වන දිනයද මේ අනුව වැඩි ඈතක නොවේ. ඒ අනුව බලන කල ලෝකය පුරා ක්‍රිකට් ක්‍රීඩාංගණ මතුනොව සමස්ත ක්‍රීඩාංගණවල හා ඒ ආසන්නයේ ක්‍රීඩා තරග පැවැත්වීමට යෝග්‍ය භාවය අනාගතයේදී ප්‍රශ්න කෙරෙනු ඇත. තරගාවලියක් පැවැත්වීමට පෙර ප්‍රදේශයේ වායු දූෂණය අවම කිරීමට, කර්මාන්තශාලා ඉවත්කිරීම, යම් නිශ්චිත කාල සීමාවක් වසා තැබීම ආදී රෙගුලාසි නිකුත්වීමේ අනාගත අවකාශ ඇත. පරිසර හිතකාමී හා පිටවන අප වායු කළමනාකරණය කිරීමේ හැකියාව සහිත ව්‍යාපෘති සම්බන්ධයෙන් නිර්නායක, බදු සහන, දිරි ගැන්වීම් ලෝකය පුරා ඇතිවීමේ ප්‍රවනතාවක් මේ අනුව නිර්මාණය වනු ඇත. මේ දිනේෂ් චන්දිමාල්ගේ නායකත්වය යටතේ තැබූවේ එවැනි දැවැන්ත කාර්යාවලියක මුල් ගඩොලය. මාළිගාව එසේත් නැතහොත් ප්‍රාකාරය තැනෙන්නේ අනාගතයේය. එයද වැඩි ඈතක නොවන බවනම් නිසැකවම කිවහැකිය.

කාර්මීකරණයට ලක්ව සමාජ පෙරළියක් සිදුවූ දා පටන් මෙන්ම මිනිසාගේ ජීවිතයට වානිජ්‍යය වටිනාකම් එක්වූ දා පටන් පරිසර දූෂණය යන වදන වාග් කෝෂයට පිළිපන්නේය. විසි වැනි සියවස මුල් භාගයේ මෙම තත්ත්වය වැඩි වශයෙන් දක්නට ලැබුණු අතර ජනගහන සාධකයද මේ සඳහා ප්‍රමුඛ ලෙස ඉවහල් විය. කාර්මීකරණය ඔස්සේ ලෝකය තුළ විවිධ නිෂ්පාදන සිදුකිරීම සඳහා කර්මාන්තශාලා බිහිවිණි. එම කර්මාන්තශාලාවලින් වැඩි නිෂ්පාදයන් ප්‍රමාණයක් සිදුකර ගැනීම සඳහා අවශ්‍ය මානව සම්පත ප්‍රවර්ධනය සමග ජනගහනය ඉහළ ගියේය. එහි ප්‍රතිඵලය වූයේ සීමා සහිත සම්පත් සමඟ අසීමිත පරිභෝජන සමාජ රටාවක් නිර්මාණය වීමය. නිෂ්පාදන ආර්ථිකය මත පමණක් බොහෝවිට සංවර්ධනය අර්ථ ගැන්වූ සමාජයට සේවා ආර්ථිකයක්ද වේගවත් ලෙස එක්වුණේය. එම සේවා ආර්ථිකය පවත්වා ගෙන යාම සඳහා බිහිවන විවිධ කර්මාන්තශාලා ද සිය අපද්‍රව්‍ය එක් කළේ පරිසරයටමය. කාර්මික අපද්‍රව්‍යවයන්ට අමතරව එක්වන සේවා ආර්ථිකයේ අපද්‍රව්‍ය සමඟ සොබා දහම වේගයෙන් දූෂණය වන්නට විය. ජල මූලාශ්‍ර සිඳී යමින්, වායු කලාප දූෂණය වමින් ලෝකය වඩාත් ජීවත්වීමට නුසුදුසු තැනක් බවට පත්වෙමින් ඇත. ෆෙරෝෂා කොට්ලාවෙන් අපට කියන මෙම වායු දූෂණය කියන්නේ එම පාඩමය. එහෙයින් ප්‍රතිපත්ති සම්පාදකයන් මතුනොව සියලු ලෝක පුරවැසියන් ක්‍රීඩා පිටියෙන් උගන්වන පණිවුඩයේ සැබෑ යටි අර්ථය තේරැම්ගත යුතුව ඇත.

 කසුන් ඉරුගල්බණ්ඩාර

Comments