උතුරට ආ දකුණේ නෑයෝ 'විද්‍යා' පදනම අරඹති | සිළුමිණ

උතුරට ආ දකුණේ නෑයෝ 'විද්‍යා' පදනම අරඹති

 යාපනයේ විද්‍යා දැරිය යන නම අප අතරින් කාලයකට මැකී නොයන නමක්. දැරිය යන නමින් හඳුන්වා දුන්නත් ඇය ජීවත්ව සිටියා නම් මේ වන විට ඇය 21 හැවිරිදි තරුණියක්. ඇයට අත් වූ අවාසනාවන්ත ඉරණම ගැන ශෝක වූයේ උතුරේ ජනතාව පමණක් නොවේ. එසේම ඇයට ඒ ඉරණම අත් වූයේද උතුරේම සිටි නරුමයන් කිහිප දෙනකුගේ තිරශ්චීන ක්‍රියාවක් හේතුවෙන්. මේ වන විට ඒ සම්බන්ධව නඩු විභාගය අවසන්.

විද්‍යා පාසල් ගිය කයිට්ස්, පුන්කුඩුතිව් විද්‍යාලයේ දරු දැරියන් පවා මේ වෙන විට සිටින්නේ දැඩි පීඩනයකින්. තමන්ගේ පාසලේ සිටි වැඩිමල් සොයුරියකට, අක්කා කෙනෙකුට අත් වූ එම ඉරණම සම්බන්ධයෙන් දැඩි කනගාටුවෙන් මෙන්ම බියකින් කාලයක් පසු වූ මේ දරු දැරියන්ට පසුගියදා විශේෂිත දිනයක් උදාවුණා.

ඒ පුන්ගුඩුතිව් විද්‍යාලයට තෑගි අරන් අමුත්තන් රැසක් ආපු නිසයි. ඒ අමුත්තන් ආවේ පුන්ගුඩුතිව් දරු දැරියන්ගේ දුක සැප බෙදා ගෙන යන්නයි.

විද්‍යා සිසුවියට අත් වූ ඉරණම වෙනත් අයකුට අත් නොවන්නට මේ වන විට ඒ ප්‍රදේශයේ ආරක්ෂාව තර කර තිබීමත් මෙහිදී බෙහෙවින් වැදගත් වනවා. ඒ විතරක් නෙමෙයි විද්‍යා සිසුවිය වෙනුවෙන් තෑගි අරන් ආපු මේ අමුත්තන් පිරිස පාසලේ දිළිඳු දරු දැරියන් පිරිසකට අලුත්ම පාපැදි ලබා දුන්නා. උතුරේ පළාත් සභාවෙන්වත් මේ වගේ කාර්යයක් මේ දක්වා සිදු කරලා නැහැ.

ඒ විතරක් නෙමෙයි පාසලේ අනෙක් දරු දැරියන්ටත් පොත් පත් රැසක් තෑගි ලැබුණා. ඒ සියලුම දෙනා හරිම සතුටින් තමයි එදා දවස ගත කෙළේ. ඒ වුණත් විද්‍යා අක්කා මතක් කරල පදනමක් හදපු වෙලාවෙ නම් ගොඩක් අයට කදුළු ඉනුවා. විද්‍යා වෙනුවෙන් පුන්ගුඩුතිව් පාසලේ පදනමක් ආරම්භ කරල ඒ පදනම ලංකාවෙ පාසල් පුරාම ගෙන යන්නත් මෙහිදි තීරණය කෙරුණා. පාසලේ තිබූ විද්‍යා දැරියගේ සේයාරුවකට මල් මාලයක් දමා ඇය වෙනුවෙන් ගෞරව දැක්වීමට මෙහිදී කටයුතු කළා. තම දියණියට ගෞරව දැක්වීමට පැමිණි විද්‍යාගේ මව කදුළු සලමින් ඇයට මල් දම පැළඳුවා. ඇය දෙවියන්ගෙන් ඉල්ලා සිටියේ තම දියණියට අත් වූ ඉරණම වෙනත් කිසිවකුට අත් නොවන ලෙසයි. එමෙන්ම ඇය ආරක්ෂක අංශවලින් පවා ඉල්ලා සිටියේ දරු දැරියන්ගේ ආරක්ෂාව වැඩි කරන ලෙසින්.

විද්‍යා සමරමින් සිදු කරන ලද මේ සද්කාර්යයට දායක වුණේ යාපනය ආරක්ෂක සේනා ආඥාපති මේජර් ජෙනරාල් දර්ශන හෙට්ටිආරච්චි මහතායි. ඒ මහතාට මේ කාර්යය සිදු කරන්නට සහයෝගය ලබා දුන්නේ ප්‍රවීණ සිනමා නිළි සුවිනීතා වීරසිංහ මහත්මියත් ඇයගේ ස්වාමිපුරුෂයා වන කැලණිය විශ්වවිද්‍යාලයෙ කථිකාචාර්ය නන්දන මාලගොඩ මහතා විසින්. ඔවුන් විසින් ඕෂන් ලංකා පුද්ගලික සමාගමේ මොහාන් ශංකර් මැතිතුමා සහ එම මැතිනියගේ දායකත්වය ලබා ගෙන මේ කාර්යය සිදු කළා.

මෙහිදි ආරම්භ කළ විද්‍යා පදනමෙන් පුන්ගුඩුතිව් පාසලේ දරු දැරියන් 10‍ දෙනකුට ශිෂ්‍යත්ව ප්‍රදානය කළා. ඉදිරියේදී සෑම මසකම සිසු දරු දැරියන් 10 දෙනකු වෙනුවෙන් මේ ශිෂ්‍යත්වය පිරිනමන්නට විද්‍යා පදනම කටයුතු කරනවා.

මේ උතුම් කාර්යයට දායකත්වය ලබා දුන්නේ දකුණේ අය වීමයි මෙහි විශේෂත්වය වන්නේ. විද්‍යා පදනම මින් ඉදිරියට රට පුරාම දරු දැරියන් වෙනුවෙන් පාසල් කරා ගොස් මේ පදනම පිහිටුවන්නයි කටයුතු කර ඇත්තේ‍. තමන්ගේම පාසලට ඇවිත් තෑගි දීපු නැන්දල මාමල ගැන මේ දරු දැරියන්ට තිබුණේ කියන්න බැරි තරම් සතුටක්‍.

වචනයෙන් කියා ගන්න බැරි නිසා ඒ අය ඒ ගැන තම සින‍හවෙන් කියා පෑවා. ඒ සිනහ හැමදාම දරු දැරියන්‍ වෙනුවෙන් තියා ගන්න අපට පුළුවන් හැම දෙයක්ම කරනවානම් එතැනයි සාමය සමඟිය රැදී පවතින්නේ.

තාරක වික්‍රමසේකර

Comments