HCFC පරිසරයටත් විදුලි බිලටත් වින කරන ශීතකරණ-වායුසමන තහනම්! | සිළුමිණ

HCFC පරිසරයටත් විදුලි බිලටත් වින කරන ශීතකරණ-වායුසමන තහනම්!

ලබන වසරේ සිට හයි‍ඩ්‍රෝ ක්ලෝරෝ ෆ්ලූරෝ කාබන් අඩංගු ශීතකරණ සහ වායු සමීකරණ යන්ත්‍ර මෙරටට ගෙන්වීම තහනම් කිරීමට රජය සූදානම් වෙයි. ඒ සඳහා වූ ගැසට් නිවේදනය 2018 ජනවාරි පළමු වැනිදා නිකුත් කෙරෙනු ඇති බැව් පරිසර සහ මහවැලි අමාත්‍යාංශයේ වායු සම්පත් කළමනාකරණ ඒකකයේ අධ්‍යක්ෂ ජානක ගුණවර්ධන මහතා පවසයි.

එම ගැසට් නිවේදනය අනුව විදේශ රටවල භාවිත කරන ලද ශීතකරණ සහ වායුසමීකරණ යන්ත්‍ර මෙරටට රැගෙන ඒමද තහනම් කෙරෙන බැව් ඒ මහතා පෙන්වා දෙයි. මේ ශීතකරණ සහ වායු සමන යන්ත්‍රවලින් අධික විදුලි නාස්තියක් සිදු වන බවත් අනාවරණය වී තිබේ.

මීට පෙර ශීතකරණ සහ වායු සමීකරණ යන්ත්‍ර නිෂ්පාදනය කිරීම සඳහා ක්ලෝරො ෆ්ලූ‍රෝ කාබන් යොදාගත් අතර එය විෂ සහිත වීම නිසා භාවිතයෙන් ඉවත් කෙරුණු අතර, හයිඩ්‍රෝ ක්ලෝරෝ ෆ්ලූරෝ කාබන් (HCFC) යොදා ගනු ලැබුවේ ඊට විකල්පයක් වශයෙනි. එහෙත් එම HCFC වායුවද විෂ සහිත බැව් අනාවරණය වීම නිසා එකී වායුව සහිත ශීතකරණ සහ වායුසමීකරණ යන්ත්‍ර ආනයනය කිරීම වැළැක්වීමට රජය මේ පියවර ‍ගත් බවත් ගුණවර්ධන මහතා සඳහන් කළේය.

එමෙන් ම මේ විෂ සහිත ද්‍රව්‍යයන්ගෙන් තොර නවීන ශීතකරණ සහ වායු සමීකරණ යන්ත්‍ර ආනයනය කිරීම දිරිගැන්වීම සඳහා රජය විසින් බදු සහන ලබාදීමට වැඩපිළිවෙළක් සකස් කරන බවත් ප්‍රකාශ විය. විෂ සහිත බවින් තොර විදුලිය පිරිමැස්ම සහිත නවීන කාර්යක්ෂම ශීතකරණ සහ වායුසමීකරණ යන්ත්‍ර මෙරට ජනතාවට හඳුන්වාදීම සඳහා ආනයනකරුවන් දිරිගැන්වීමට තවත් සහන ගණනාවක් ලබාදීමට නියමිත බවත් අධ්‍යක්ෂවරයා වැඩිදුරටත් සඳහන් කළේය. මෙරට විදුලි පරිභෝජනයෙන් විදුලි ඒකක විශාල ප්‍රමාණයක් ශීතකරණ සහ වායු සමීකරණ යන්ත්‍ර භාවිතය වෙනුවෙන් වැය කෙරෙන බවත් මධ්‍යම පාන්තික පවුලක සමස්ත විදුලි පරිභෝජනයෙන් 50%ක් පමණ වැය වන්නේ ශීතකරණයට බවත් ඉහළ මධ්‍යම පාංතිකයන්ගේ සමස්ත විදුලි බිලෙන් 50%කට වැඩියෙන් වැය වන්නේ වායු සමීකරණ යන්ත්‍ර භාවිතය සඳහා බවත් පෙන්වා දෙන හෙතෙම අනාවරණය ‍කරන්නේ නොරච්චෝලේ බලාගාරයෙන් නිපදවන විදුලිබලය හා සමාන විදුලි ඒකක සංඛ්‍යාවක් ශීතකරණ සහ වායු සමීකරණ යන්ත්‍ර භාවිතය සඳහා දැනට වැය කෙරෙන බවයි. 

Comments