සා/පෙළ ඇරැඹේ නීති තද කෙරේ | සිළුමිණ

සා/පෙළ ඇරැඹේ නීති තද කෙරේ

නව සහ පැරණි විෂය නිර්දේශයන් යටතේ අනිද්දා (12) සිට 21 දක්වා පැවැත්වීමට නියමිත අධ්‍යයන පොදු සහතික පත්‍ර (සාමාන්‍ය පෙළ) විභාගය පෙ.ව. 8.30ට ආරම්භ වන අතර, පෙ.ව. 8.00ට පෙර සියලු අයදුම්කරුවන් ප්‍රවේශ පත්‍රයේ සඳහන් නියමිත විභාග මධ්‍යස්ථානයට පැමිණිය යුතු බව විභාග දෙපාර්තමේන්තුව පවසයි. එසේ පැමිණෙන විට විභාග ප්‍රවේශපත්‍රය සමඟ ජාතික හැඳුනුම්පත හෝ වලංගු විදේශ ගමන් බලපත්‍රය අනිවාර්යයෙන් රැගෙන යා යුතුය. විභාගයට පැමිණීමට පෙර ප්‍රවේශ පත්‍රයේ තමා ඉල්ලුම් කරන විෂයන්, මාධ්‍යය සහ අත්සන සහතික කිරීම ආදි වැදගත් කරුණු හොඳින් පරීක්ෂා කළ යුතුය. යම් වෙනසක් ඇත් නම් ඒ බව වහාම විභාග දෙපාර්තමේන්තු ක්ෂණික ඇමතුම් අංකය 1911 සහ පාසල් විභාග සංවිධාන ශාඛාව 0112784208, 2784537, 3188350, 3140314 යන දුරකථන අංකවලට දැනුම් දිය යුතු වේ. එමෙන්ම විභාගයේ දී අයදුම්කරුවන් විසින් ස්මාට් අත් ඔරලෝසු, ජංගම දුරකථන සහ විද්යුත් උපකරණ මඟින් විභාග වංචා සිදු කරන්නේද යන්න පිළිබඳ විශේෂ අවධානයක් යොමු කරන ලෙස විභාග ශාලාධිපතිවරුන් දැනුවත් කොට ඇත. එවැනි වංචා සිදු කරන අයදුම්කරුවන්ට වසර 5කට විභාග දෙපාර්තමේන්තුවෙන් පවත්වනු ලබන සියලු විභාග සඳහා පෙනී සිටීමට තහනමක් පනවනු ලබන අතර, මෙවර විභාගයේ ප්‍රතිඵලද අවලංගු කිරීමට කටයුතු කරනු ලැබේ. 

Comments