බුද්ධාගම රකින වගන්තියෙන් රටේ නීතිය විනාශ නොකළ යුතුය | සිළුමිණ

බුද්ධාගම රකින වගන්තියෙන් රටේ නීතිය විනාශ නොකළ යුතුය

 බුදුරුවක් සිරුරේ පච්ච කොටාගෙන ශ්‍රී ලංකාවට පැමිණීම වරදක් ලෙස සලකා ලංකාවෙන් පිටුවහල් කරන ලද බ්‍රිතාන්‍ය ජාතික සංචාරක තරුණිය ශ්‍රී ලංකාවේ ශ්‍රේෂ්ඨාධිකරණයේ ගොනු කළ මූලික අයිතිවාසිකම් නඩුවේ තීන්දුව ප්‍රකාශයට පත් විය. නයෝමි මිචෙල් කෝල්මන් නම් ඇය 2014 අප්‍රේල් මස 05 දින කටුනායක ගුවන් තොටුපළෙන් මෙරටට පැමිණියාය. නයෝමි මිචෙල් කෝල්මන් බුදුදහම හදාළ තැනැත්තියකි. බෞද්ධ භාවනා වැඩසටහන්වලට සහභාගි වීමට කැමැත්තක් දැක්වූ ඇය මෙරටට පැමිණි අවස්ථාවේ පළමුව ඇයව දකින්නේ හයර් සොයමින් සංචාරකයන් පසුපස යමින් සිටි කැලුම් නම් කුලී රියැදුරෙකි. ඔහු වහා ඇයගේ එක් බාහුවක කොටා තිබුණු ගෞතම බුදුන් වහන්සේගේ රූපකාය සහිත පච්ච සලකුණක් නිරීක්‍ෂණය කළේය. තම වෘත්තිය අමතක කළ එකී රියැදුරා වහා ඇය අසල සිටි පොලිස් නිලධාරියකු වෙත යොමු කළේය. මෙයින් වික්‍ෂිප්ත වූ ඇය මේ ගැන දිගින් දිගට ප්‍රශ්න කළාය. කිසිවකු සිදු වන්නේ කුමක්දැයි ඇයට පැහැදිලි කළේ නැත. ගුවන් තොටුපළේ සිටි පොලිස් නිලධාරීහු ඇය කඩිනමින් කටුනායක පොලිස් ස්ථානය වෙතට යොමු කළහ.

කටුනායක පොලීසිය මීගමුව මහේස්ත්‍රාත් අධීකරණය වෙත ඉදිරිපත් කළ පසු, මිචෙල් මිරිහානේ රැඳවුම් කඳවුරට යොමු කර ඇත. නැවත අධීකරණයට ඉදිරිපත් කළ පසු, ඇය රටින් පිටුවහල් කරනු ලැබීය. එසේ ඉතා අකාරුණීක සහ නින්දාසහගත සැලකීමකට ලක් වූ ඇය සිය මූලික අයිතිවාසිකම් කඩ වූ බව විශ්වාස කරමින් ශ්‍රී ලංකා ශ්‍රේෂ්ඨාධිකරණයෙහි නඩුවක් ගොනු කළාය. මෙහි දී ඇය වෙනුවෙන් නොමිලේ පෙනී සිටීම ගැන ජනාධීපති නීතිඥ ජේසී වැලිඅමුණට විශේෂ ස්තුතිය හිමි වේ. ශ්‍රේෂ්ඨාධිකරණය නඩු තීන්දුව දෙමින්, පොලිස් නිලධාරීන්ගේ ක්‍රියාකලාපය හේතුවෙන් සංචාරය සඳහා දිවයිනට පැමිණි ඇයගේ මූලික අයිතිවාසිකම් කඩ වී ඇති බවට ඒකමතිකව තීරණය කළහ. නඩුව විභාග කළ අනිල් ගුණරත්න, ඊවා වනසුන්දර හා නලින් පෙරේරා යන ශ්‍රේෂ්ඨාධිකරණ විනිශ්චයකරුවෝ රජය විසින් රුපියල් ලක්‍ෂ 05ක වන්දියක් ද, ඊට අමතරව නඩු ගාස්තු පියවාගැනීමට රුපියල් ලක්‍ෂ 02ක වන්දියක්ද ඇයට ගෙවිය යුතු බවට නියම කළහ.

නයෝමි මිචෙල් කෝල්මන් මුහුණ දුන් සිද්ධියට ඍජුව බලපා ඇත්තේ යටිබිම්ගත දේශපාලනය විසින් වීදි බස්වා ඇති සිංහල-බෞදධ වියරුවය. එය හරියටම මහනුවර ශ්‍රී දළදා මාලිගාව අසලින් විහිදෙන ඒ 26 මාර්ගය වසා දැමීමට සමාන පිළිකුල් නීතිවිරෝධි ක්‍රියාවකි. එකී ක්‍රියාවෙන් නගරයට කෙටි ප්‍රවේශයක් සහිත මාර්ගයක් අවහිර වේ. එකී පාර වැසීම ආගමික වියරුවක් ලෙස දකින්නේ බොහෝ බෞද්ධයන් මෙන්ම මල්වතු මහ නා හිමියන් පවා මේ මාර්ගය වැසීමට විරුද්ධ නිසා පමණක් නොවේ. මේ මාර්ගය අවහිර කිරීමෙන් මරණාසන්න රෝගීන්ට කෙටි දුරකින් රෝහල් වෙත ළඟා වීමේ මානව හිමිකමද අවහිර කර ඇති නිසාය.

ශ්‍රී ලංකා පොලීසිය නයෝමි මිචෙල් කෝල්මන් අත්අඩංගුවට ගත්තේ සමහර විට නීතිය නොදැන නොවේ; මූලධර්මවාදි බෞද්ධ වියරුව කෙරෙහි පවත්නා ළෙන්ගතුභාවය හෝ බිය නිසා විය හැකිය. ඇය රටින් පිටුවහල් කිරීමට දුන් අධිකරණ නියෝගය කෙරෙහි ශ්‍රේෂ්ඨාධිකරණයේ අවධානය ලක් විය. එක්නැලිගොඩ කාරණාවේ දී භික්ෂුවක් අධීකරණයට පැන කෑගැසුවේ නීතිය නො දැන නොවේ; මූලධර්මවාදි ජාතිවාදි වියරුවෙනි. එකී සිද්ධියද අධිකරණයට කළ අපහාසයක් ලෙස මේ වන විට විමසමින් පවත්නා නඩුවකි.

මේ තරුණිය එදා ඇන්ජීඕකාරියක ලෙස හංවඩු ගැසිණි. ඇය මිෂනාරි කුමන්ත්‍රණයක් හෝ ඩයස්පෝරා ඔත්තුකාරියක ලෙස හැඳීන්විණි. බුද්ධාගම වැරදි ලෙස අර්ථකථනය කිරීමක ප්‍රතිඵලයක් වූ ඒ 26 මාර්ගය වැසීමට එරෙහිවද මූලික අයිතිවාසිකම් නඩුවක් ශ්‍රේෂ්ඨාධිකරණයෙහි ගොනු කර ඇත. ශ්‍රී දළදා මාලිගාවේ භාරකරු එකී නඩුවට මැදිහත්ව පාර වසා තැබීම වෙනුවෙන් කරුණු දක්වා ඇත. භක්තිය නිසා බාහුවේ බුදු රුව දැක්වෙන පච්චයක් කොටාගැනීම මේ රටේ නිතිය අනුව, වරදක් නොවන බව ශ්‍රේෂ්ඨාධිකරණය නයෝමි මිචෙල් කෝල්මන් නඩුවේ දී තීරණය කර ඇත. එසේ නම් වසර සිය ගණනක් පුරා ජනතාවට විවෘතව පැවැති ඒ-26 පාර කිසිදු නෛතික පදනමක් නැතිව වසා-දැමීමද වරදකි. රටේ නීතිය අනුව, නයෝමි මිචෙල් කෝල්මන් පිටුවහල් කිරීමට අධීකරණක් නිකුත් කළ නියෝගය යුක්තිසහගත නොවන බව ඉහත කී ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුව සහතික කරයි. එසේ නම් ජනතාව ආ-ගිය පාරක් වැසීමද මානව හිමිකම් කඩවීමක් බව පැහැදිලිය.

අර ආවේගශීලි රියැදුරාගේ ආගමික වියරුව නිසා ආරම්භව පිටුවහල් කිරිමට හේතුවූ අධිකරණ නියෝගය තෙක් ඇය මුහුණ දුන් සියලු අත්දැකීම් නීතිවිරෝධි ඒවා විය. එකී ක්‍රියා ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදි ජනරජයේ බුදුදහමට ප්‍රමුඛත්වය දෙන වගන්තියෙන් ආරක්‍ෂා නොවීය. එසේම, රටේ වලංගු ආගමන විගමන නීතිය සහ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙන් සහතික කළ මූලික අයිතිවාසිකම් නීතිය ශ්‍රී ලාංකික පුරවැසියකු නොවූ නයෝමි මිචෙල් කෝල්මන්ගේ අයිතිවාසිකම් වෙනුවෙන් සක්‍රිය විය. නයෝමි මිචෙල් කෝල්මන් අත් කරගත් ජයග්‍රහණය හෝ අපේ අධීකරණයේ ස්වාධීන භාවය නොවේ. අපේ අධිකරණය ඒ සිද්ධියට පසුබිම් වූ සමාජ බලවේග මැනවින් තක්සේරු කර තිබීම මෙහි දී වැදගත් වේ.

බුද්ධාගම, බුද්ධ දර්ශනය, බුද්ධ චීවරය පමණක් නොව, බුදුන් අනුදැන වදාළ පිණ්ඩපාතික පාත්‍රය පවා සාසනික හෝ හෝ ආගමික නොවන හේතු-කාරණ සඳහා පාවිච්චි කිරීමෙන් බුදුසසුනට සිදු වන අගෞරවය බරපතළය.

එහෙත් ඊට එරෙහිව ක්‍රියා කිරීමට රටේ නීතියක් නැත. එය අයහපත්ය. ගෝඨාභය රාජපක්‍ෂ අල්ලස් කොමිසම වෙත කැඳවූ දවසේ එහි පැමිණ රංචු ගැසීම වළකන අධිකරණ නියෝගය නොතකා බෞද්ධ භික්‍ෂූන්යැයි කියාගන්නා පිරිසක් එහි දී මහා කලබැගෑනියක් කළහ. ඔවුන් අධිකරණ නියෝගය පාච්චල් කරමින් කීවේ තමන් පිරිත් කීමට පැමිණි බවය. එකී සිද්ධිය මේ වන විට අධිකරණ නියෝගය කඩ කිරීම පිළිබඳ නඩුවකි. අධිකරණයේ දී භික්‍ෂූන් ඇමතූ මහේස්ත්‍රාත්වරයා ප්‍රකාශ කළේ බෞද්ධයකු වන තමා පිරිත් කියන නොකියන තැන් මැනැවින් දන්නා බවය. වර්තමාන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙන් බුද්ධාගම ආරක්‍ෂා කර ඇත.

එහෙත් බුද්ධාගම දඩමීමා කර දේශපාලනඥයන් හොරුන් ආරක්‍ෂා කිරීමක් එයින් සහතික කර නැත. ශ්‍රී දළදා මාලිගාවේ භාරකරු වන නිලංග දෑලට එරෙහි අපරාධ පරීක්‍ෂණ අස්ගිරි මහා විහාරයේ බලපෑම් නිසා යටපත් වී ඇත. එහි දී නැඟුණු තර්කය නිලංග දෑලට එරෙහි නෛතික කටයුතු නිසා ශ්‍රී දළදා වහන්සේට අගෞරවයක් සිදු වන බවය. නිලංග දෑල රටේ නීතිය කැඩූ බවට චෝදනා ඇත් නම් කළ යුත්තේ ඔහු දියවඩන නිලමේ තනතුරෙන් ඉවත් කර නඩු ඇසීමය. මිනී මැරූ බවට සැක කරන පුද්ගලයන් හමුදා සෙබළුන් වීම නිසා නිදහස් කරන ලෙස පාරේ නිඳාගැනීමද මෙවැනි ආගමික වියරුවකි.

නීතිඥ කීර්ති බණ්ඩාර කිරිදෙන 

Comments