
මහනුවර මැණික්හින්නේ පදිංචි චමින්ද හා හිමාලි පසුගිය 23වැනිදා මහියංගනය චෛත්‍යය වැඳ පුදා ගැනීමට පැමිණියේ සිය පුතුන් දෙදෙනා ද සමඟිනි. වයස අවුරුදු 17ක් වූ නෙත්මිණ හා මෙත්මිණ පුතුන් දෙදෙනා නිවුන් දරුවෝය. චමින්ද ව්‍යාපාරිකයෙකි. මහියංගන චෛත්‍යය වැඳ පුදා ගැනීමෙන් පසු ඔවුන් මහියංගනය කැන්දකැටිය බලා පිටත් වූයේ ව්‍යාපාරික කටයුත්තක් සඳහාය. එම කටයුත්ත නිමවී ඔවුන් ආපසු මැණික්හින්න බලා යෑමට පිටත් වූයේ සවස තුනට පමණය. එහෙත් ඒ යන ගමන ඔවුන් සිවු දෙනා එක්ව යන අවසන් ගමන බව ඒ කිසිවෙක්වත් නොසිතූහ.
මේ වෙද්දී මෝටර් රථය ගමන් ගනිමින් තිබුණේ මාපාකඩවල මහවැලි වියානා ඇළ වංගුව අසලිනි. වියානා ඇළ හා සමාන්තරව මාර්ගය ඇදී තිබුණු අතර එක්වරම මෝටර් රථය ඇළට පෙරළුණේ ඔවුන් කිසිවකුට කිසිවක් සිතා ගැනීමට හෝ ඉඩක් නොතබිමිණි. අලින් පොව්වන තරමට ජලය තිබෙන වියානා ඇළ වාහනයත් සමඟ ඒ දරු පවුල බිලි ගත්තේ එක් පුතකු පමණක් ඉතිරි කරමිනි. මෝටර් රථය ඇළට පෙරැළෙද්දී පුතුන් දෙදෙනාගෙන් එක් පුතකු වන මෙත්මිණ රියේ බිඳුණු කවුළුවකින් එළියට පැන ගත්තේ දිය රකුසා සමඟ සටනක යෙදෙමිනි.
මෙත්මිණ රියෙන් පිටතට පැන පිහිනා දිවි බේරා ගැනීමට වෙර දරද්දී ඔහු දුටුවේ රුදුරු දිය පහරේ ගසා ගෙන යන එක බඩවැල කඩා ගෙන එකට මෙලොව දුටු සිය සොහොයුරු නෙත්මිණය. ඔහුට දියේ ගසාගෙන යන සිය සොහොයුරා බේරා ගත නොහැකි වූයේ ඔහු ද ඒ වෙද්දී දිය කඳත් සමඟ පොර බදමින් සිටි නිසාය.
සිද්දිය සැලවී එතැනට පැමිණි ප්‍රදේශවාසීන් හා පොලිසිය මැදහත්වී මෝටර් රථය ඇළෙන් ගොඩ ගැනීමට කටයුතු යොදනු ලැබීය. ඒ වනවිටත් රියේ ආසන පටිවලට හිරවී සිටි චමින්ද හා හිමාලි මිය ගොස් සිටියහ. දියේ ගසා ගෙන ගොස් සිටි නෙත්මිණ ගේ සිරුර පසුව සොයා ගන්නා ලදී.
“මේ ඇළ පහළ කොටසේ වරින් වර අලිත් ගහ ගෙන යනවා. මේ අවුරුද්දටම ඇළට වාහන වැටිලා මේ වෙද්දි හය දෙනෙක් විතර මැරිලා තියෙනවා ” යැයි සිද්දිය ආරංචි වී එතැනට පැමිණි ප්රදේශවාසියෙක් පැවසීය.
“මේ ඇළේ ජලය මේ විදිහට උඩින් බලද්දි හෙමිහිට ගලා ගෙන ගියත් දිය යට ජල පහර ගලාගෙල යන වේගය වැඩියි. අලින් වැටුණත් උන්ට පීනලා උඩට එන්න අමාරු ඒකයි. නිතර මේ ඇළට මිනිසුන් සතුන් හා වාහන වැටෙන නිසා මේ ඇළ දෙපැත්තට ආරක්ෂිත වැටක් සවි කර දෙන ලෙස අප කීප වරක්ම බලධාරීන්ගෙන් ඉල්ලා තියෙනවා. ඒත් තවම ඒ ඉල්ලීම ඉටු වුණේ නැහැ. එය පමා වෙන්න වෙන්න මේ වගේ අනතුරු ඉදිරියටත් සිදුවීම වළක්වන්න බැහැ.” යනුවෙන් පවසන ප්‍රදේශවාසීහු වියානා ඇළ කිලෝ මීටර් හතරක් පහක් පමණ එක දිගට විත් දියබානාවැවට වැටී පොලොන්නරුවට යනකම් යන බවත් මේ ඇළට වැටෙන අලින් පවා පොව්වන්නේ නැති තරමට මෙහි ජලය ඇති බවත් අප හා පැවසූහ.
මහනුවර මැණික්හින්න, කෙන්ගල්ල ප්‍රදේශයේ තාවකාලික පදිංචි පවුලක් ව්‍යාපාරික කටයුත්තක් සදහා මහියංගන කන්ද කැටිය ප්‍රදේශයට පැමිණ ආපසු යමින් සිටියදී මෙම අනතුරට ලක්ව ඇති බව මහියංගනය පොලිසිය පවසයි. මාපාකඩවැව ප්‍රදේශයේදී, මහවැලි වියානා ඇළට මෝටර් රථය පෙරැළීමට හේතුව මෙතෙක් සොයාගෙන නොමැත. මියගොස් ඇත්තේ හිමාලි ගමගේ (41) සහ චමින්ද හේමරත්න (43) යන අඹුසැමි යුවළ හා ඔවුන්ගේ පුතකු වන නෙත්මින හේමරත්න(17) ය. අනතුර සම්බන්ධයෙන් මහියංගන පොලිසියේ නියෝජ්‍ය ස්ථානාධිපති පොලිස් පරික්ෂ රුවන් වීරකෝන් මහතාගේ අධීක්ෂණය යටතේ මහියංගන රථවාහන අංයේ ස්ථානාධිපති නුවන් රණවීර මහතා ඇතුළු නිලධාරීහූ මේ පිළිබඳ වැඩිපුර පරීක්ෂණ පවත්වති.
සුභද්‍රා දේශප්‍රිය
විස්තර හා සේයාරූ - මාපාකඩවැව සමුහ එච්. එම්. රංජිත් කරුණාවීර