පොල්ගස්ඕවිට සමූහ එස්. පන්නිල
“බුදුසරණ කර්තෘ ලෙස වසර 18ක් හා සිංහල බෞද්ධයා පුවත්පතේ කර්තෘ ලෙස වසර 3ක් සේවය කළ අභාවප්‍රාප්ත ආචාර්ය ප්‍රේමසිරි අබේසිංහ මහතා ඒ පුවත්පත් මඟින් එතෙර මෙතෙර බුදුදහම ව්‍යාප්ත කිරීමට හා ධර්ම සන්නිවේදනයට කළ සේවාව අතිවිශාල බවත් එය සදානුස්මරණීය සේවයක් බවත් බෞද්ධ හා පාලි විශ්ව විද්‍යාලයේ හිටපු මහෝපාධ්‍යය කොටුව සම්බුද්ධාලෝක විහාරස්ථානයේ විහාරාධිපති මහාචාර්ය ඉත්තදෙමලියේ ඉන්ද්‍රසර මාහිමිපාණෝ පැවසූහ.
උන්වහන්සේ එසේ පැවසුවේ අභාවප්‍රාප්ත ආචාර්ය ප්‍රේමසිරි අබේසිංහ මහතාගේ දේහය පිළිබඳව කහතුඩුවේදී පැවැති ආගමික කටයුතුවලදී අනුශාසනාවක් සිදු කරමිනි.
ශ්‍රී ලංකා අමරපුර මහ නිකායේ උත්තරීතර මහානායක කොටුගොඩ ධම්මාවාස නාහිමි ද, ශ්‍රී ජයවර්ධනපුර සරසවියේ කුලපති මහාචාර්ය බෙල්ලන්විල විමලරතන හිමිපාණෝ ද, ඉඩම් ඇමැති ගයන්ත කරුණාතිලක යන මහත්වරු ද අබේසිංහ මහතාගේ දේහයට අවසන් ගෞරව දැක්වූහ.
එදා ලේක් හවුස් ආදී කර්තෘ ඩී.ආර්. විජයවර්ධන ශ්‍රීමතාණන් ලේක්හවුස් ආයතනය ආරම්භ කළේ අපේ රටේ බොදු හැඟීම්, භාෂා ඥානය, සංස්කෘතිය, සභ්‍යත්වය යන කරුණු ආරක්ෂා කරලා ඔප නංවලා මේ රටේ ස්ථාපිත කිරීමේ අරමුණ ඇතිවයි. ඒ වගේ ම ජාතික අභිමානය රට තුළ ඇති කිරීමට සියලු දෙනාගේ ජීවිත ආගමානුකූලව ගොඩනගන්නට තමයි විජයවර්ධන මැතිතුමා ලේක්හවුස් පුවත්පත් ව්‍යාපාරය ආරම්භ කළේ.
ඒ පරිසරය යටතේ අපේ ප්‍රේමසිරි අබේසිංහ මැතිතුමා තම ආයතනයේ ආදි කර්තෘවරයාණන්ගේ අදහස අනුව ඒ මඟ යමින් බුදුසරණ පුවත්පත මඟින් බුදුදහමට සුවිශාල සේවයක් සිදු කළා.
බුදුසරණ පත්‍රය ලංකාවේ සැමට සරිලන පරිදි මහා විශ්වකෝෂයක් ලෙස පළ කිරීමට අබේසිංහ මහතා කටයුතු කළා.
විහාරස්ථානයට ලැබෙන වැදගත්ම ධර්ම සංග්‍රහයක් ලෙසට එතුමා බුදුසරණ පුවත්පත පරිවර්තනය කළා. එපමණක් නොවේ එතුමා ආයතනය මඟින් සිදුකරනු ලබන ආගමික කටයුතු පිළිබඳව නායකත්වය ගෙන කටයුතු කළා. ලේක්හවුස් බෞද්ධ සංගමයේ ආරම්භක ලේකම් ලෙසත් වසර 18 ක් මිහින්තලා ආලෝක පූජාවේ සංවිධායක ලෙසත් එතුමා කැපවීමෙන් කටයුතු කළ බව අපි දන්නවා.
ශ්‍රී මහා බෝධියට කොටි ප්‍රහාර එල්ල කළ වසරේත් එතුමා ජීවිත කැප වීමෙන් මිහින්තලා ආලෝක පූජාව සිදුකළ බව මම අසා දැනගෙන තිබෙනවා යැයි ද මහාචාර්ය ඉත්තදෙමලියේ ඉන්ද්‍රසාර හිමිපාණෝ පැවසූහ. වෑතර ඥානෝදය පදනමේ සභාපති, මීපාගම මවුපිය සෙවණ නිර්මාතෘ කලවානේ ධම්මානන්ද හිමි හා කහතුඩුවේ ශ්‍රී නන්දනාරාමාධිපති කහතුඩුවේ විමලතිස්ස හිමිපාණෝ ද මෙහිදී අනුශාසනා කළහ.