මඩිහේ මහ නාහිමි පාසලේ අඩ සියවසට පුස්තකාලයක් | සිළුමිණ

මඩිහේ මහ නාහිමි පාසලේ අඩ සියවසට පුස්තකාලයක්

 රට හැදීමට පළමුව මිනිසා හැදිය යුතු බව මඩිහේ පඤ්ඤාසීහ මහ නාහිමියන්ගේ ප්‍රකට ප්‍රකාශයකි. උන් වහන්සේ නිරතුරුවම ක්‍රියා කළේත් ඒ අනුවමය. හැදීමට අවශ්‍ය මිනිසා සිංහලද දෙමළද මුස්ලිම්ද බුද්ධාගමේද කතෝලිකද හින්දු ආගමේද යන්න හෝ උන් වහන්සේට අවශ්‍ය නොවීය. උන් වහන්සේ ජීවිත කාලයම කැප කෙළේ 'මිනිසා හැදීම' යන සංකල්පය මතමය.

එය බෝඩ් ලෑලි සමරු ඵලක වලින් පෙන්නුම් කළ සේවාවක් නොවීය. උන් වහන්සේ අදින් වසර 50කට පෙර යාපනය දිස්ත්‍රික්කයේ ඉතා දුෂ්කර ගම්මානයක් වන පුතූර් ප්‍රදේශයේ පිහිටි ද්‍රවිඩ දරුවන් වෙනුවෙන් පාසලක් ආරම්භ කරන ලද්දේ ඒ ප්‍රදේශයේ දූ දරුවන් අධ්‍යාපනය සොයා විඳින ලද දුක් කරදර දැකීමෙනි. එවකට පාවහන් පවා ‍නොමැතිව කටු ලැහැබ් අතුරින් මේ දරු දැරියන් ගමන් ගත් මඟ මෙන්ම ඔවුන්ගේ දිවියද කටු අකුලින් බර වූ බව උන් වහන්සේ එදා හැඳින ගත්හ.

තිස් අවුරුද්දකට පෙර ආරම්භ වූ ත්‍රස්තවාදී යුද්ධය නිසා මේ පාසල යම් අයුරකින් ජනතාවගේ ඇසින් දුරස් වුවද එයින් වූ සේවාව අඩපණ නොවීය.

මේ පාසල එදා සිට අද දක්වාම මඩිහේ මහ නාහිමි පාසල නමින් ඒ ප්‍රදේශයේ සියලු ජනතාව අතර ප්‍රසිද්ධය. දකුණේ භික්ෂූන් වහන්සේ නමක විසින් උතුරේ දූ දරුවන් වෙනුවෙන් තනන ලද එකම පාසල එයයි.

මඩිහේ පඤ්ඤාසීහ මහ නා හිමියන් විසින් ද්‍රවිඩ දරුවන් වෙනුවෙන් පුතූර්හි පාසලක් ආරම්භ කළ බව දකුණේ බොහෝ දෙනකු දන්නේ නැත. ඒ විද්‍යාලයේ 50 වන සංවත්සරයට සමගාමීව දූ දරුවන් උදෙසා පුස්තකාලයක් ඉඳි කිරීමට කටයුතු කරන කටයුතු කරන ලද්දේ උන් වහන්සේ විසින් කරන ලද සේවාව වැඩි දියුණු කිරීම පිණිසය. ඒ අනුව 'අග්ගමහා පණ්ඩිත අති පූජ්‍ය මඩිහේ පඤ්ඤාසීහ මහා නායක අනුස්මරණ පුස්තකාලය' පසුගියදා සිසු අයිතියට පත් කරන ලදී.

යාපනය ආරක්ෂක සේනා ආඥාපති මේජර් ජෙනරාල් දර්ශන හෙට්ටිආරච්චි මහතාගේ උපදෙස් මත 52 වන සේනාංකයේ සේනාංකාධිපති මේජර් ජෙනරාල් අරුණ වන්නිආරච්චි මහතාගේ අධීක්ෂණය යටතේ එම සේනාංකයේ භට පිරිස්හි කාර්මික දැනුම සහ තාක්ෂණය යොදාගනිමින් කොළඹ ධර්මවිජය පදනමේ අනුග්‍රහයෙන් යුද්ධ හමුදාවේ ශ්‍රමදායකත්වයෙන් මහ නා හිමි අනුස්මරණ පුස්තකාල ගොඩනැගිල්ල ඉදි කරන ලදි.

521 වන බලසේනාවේ බලසේනාධිපති කර්නල් සංජිව හෙට්ටිආරච්චි ගේ අධීක්ෂණය යටතේ 1 වන විජයබාහු පාබල රෙජිමේන්තුවේ අණදෙන නිලධාරි ලුතිනන් කර්නල් ධම්මික ජයරත්න ගේ සම්බන්ධිකරණයෙන් විවෘත කිරීමේ උත්සව කටයුතු සංවිධානය කරන ලද අතර මේ අවස්ථාවට කොළඹ සිට අමරපුර ධර්මරක්ෂිත නිකායේ මහා නායක සහ බම්බලපිටිය ශ්‍රී වජිරාරාම විහාරස්ථානයේ විහාරාධිපති ත්‍රිකුණාමලයේ ආනන්ද නාහිමියෝ වැඩම කළහ. උන් වහන්සේ සමඟින් මහා සංඝරත්නය වැඩම කරන ලදහ. අඬ බෙර නොගහමින් සිදු කරන ලද මේ කාර්යය සඳහා උතුරු පළාත් ආණ්ඩුකාර රෙජිනෝල්ඩ් කුරේ මැතිතුමා ප්‍රධාන ආරාධිතයා ලෙසින් මෙම අවස්ථාවට සහභාගි විය. ‘සෙත් පිරිත්’ සඡ්ඣායනා මධ්‍යයේ මේ පුස්තකාල ගොඩනැගිල්ල දූ දරුවන්ද සමඟින් විවෘත කරනු ලැබීය.

උතුර දකුණ සංහිඳියාව ඇති කරනු වස් උතුරේ දරු දැරියන් විසින් දකුණේ සංස්කෘතික ප්‍රසංගද මෙහිදී ඉදිරිපත් කරන ලදී.

එහිදි මහරගම ශ්‍රී වජිරාරාම දහම් පාසලේ අනුග්‍රහයෙන් පාසල් පොත්, ලිපි ද්‍රව්‍ය සහ කියවීමේ පොත් ඇතුළත් ත්‍යාග පාර්සල් ද සිසුන් වෙත ප්‍රදානය කරන ලදි අතර, එසේම ගුරුවරුන් වෙතද ත්‍යාග ද පිරිනමන ලදි.

අපවත් වී වදාළ මඩිහේ පඤ්ඤාසීහ මහා නායක ස්වාමින් වහන්සේ ගේ සිතුවමක් නිරාවරණය කිරීමද මෙහිදි සිදු වූ අතර පාසල් දරු දැරියන්ට ශිෂ්‍යත්ව ආධාර බෙදාදීමක් ද නාහිමියන්ට පිං පිණිස සිදු කරන ලදී.

උතුරේ දේශපාලන නායකයන්ට වඩා දකුණේ ආගමික නායකයන් හා යුද හමුදාවත් බෞද්ධ සංවිධානත් එක්ව සිදු කරනු ලබන මෙවන් කාර්යයන් මහත් සේ අගය කරනු ලබන බව මේ අවස්ථාවට සහභාගි වූ ද්‍රවිඩ වැසියන් බොහෝ දෙනකුම පැවසූහ.

වසර 50ක් පැරැණි මෙම පාසලෙන් අධ්‍යාපනය ලබා අද තම දරු මුනුපුරන් එම පාසලට යොමු කරවන ලබන අත්තලාද මේ ගමෙහි වෙසෙති. රට හැදිමට පෙර මිනිසා හැදිය යුතු බවට මඩිහේ මහ නාහිමියන් විසින් ගෙන හැර දැක් වූ සංකල්පය එදාට වඩා අදට කෙතරම් අගනේද යන්න අපට අමුතුවෙන් කිව යුතු නැත. ඒ බව අප අද දැනගෙන තිබුණත් මඩිහේ මහ නාහිමියෝ අඩ සිය වසකට පෙර සිටහ ඒ බව දැනගෙන සිටියහ. අප කළ යුත් වන්නේ උන් වහන්සේ පෙන්වා දුන් ඒ මඟ තවත් හෙළි පෙෙහළි කිරීම ය.

තාරක වික්‍රමසේකර 

 

Comments