
කොළඹ පදනම් ආයතනය අසල පිටියේ ක්‍රීඩා කරමින් සිටි විදේශීය අයකු පුහුණුව නිමවා එතැනින් නික්ම යෑමට ගොස් නැවත එම ස්ථානයට පැමිණ යමක් සොයනු පෙනුණි. සිනාමුසු මුහුණින් ක්‍රීඩාව නිමවා යමින් සිටි පාසල් සිසුන් දෙස බැලූ ඔහු තමන් සෙවූ දෙය ලැබුණු බව මුහුණෙන් පෙන්නුම් කෙළේය.
ඔහු අත වූයේ මදුරු කොයිල් පෙට්ටියකි. ක්‍රීඩා කරන්න පැමිණි මේ විදේශීය ජාතිකයන් අඩු මුදලක් ගෙවා කුඩා නවාතැන් පොළවල නැවතී සිටින්නේ ඇයිදැයි යන්න මටම ප්‍රහේලිකාවක් විය.
ඔහු සමග සිනාසී ගිය පාසල් දැරියකගෙන් මම ඔහු ගැන විමසුවෙමි.
‘ඒ අපේ කෝචර්, චීනෙන් ඇවිත් ඉන්නෙ, ඉන්නවත් හරියට තැනක් දීල නැහැ. ඒකයි ඔය මදුරු කොයිල් එහෙම අරගෙන යන්නෙ‘ සිසුවිය දුක් මුසු කතාවක් කියාගෙනම ගියාය.
මම ඔහු හමු වී විස්තර දැන ගන්නට උත්සාහ කළත් ඔහුට ඉංග්‍රීසි භාෂාව පවා නිසි අයුරින් හසුරවා ගැනීමට නොහැකි බව දැනගත් මම මඳ දුරක් ගොස් ඔහු සිටිනා ස්ථානය බලා ගතිමි. ඒ පදනම් ආයතනයට නුදුරු ක්‍රීඩා නේවාසිකාගාරයයි.
ඔහු සමග කෙසේ විස්තර හුවමාරු කර ගන්නේදැයි සිතමින් සිටිනා විට මෝටර් රථයකින් පැමිණි පුද්ගලයකු ඔහුට චීන බසින් කතා කරනු මම දුටුවෙමි. එසේම ඔහු සිංහල අයකු බවද මම දැන ගතිමි. මම වහා ඔහු පසු පස ගියෙමි.
මම ඔහුට විස්තරය කීවෙමි. ඔහු නමින් බණ්ඩාර දිසානායකයි. චීනයේ වසර 21ක පදිංචිකරුවෙකි. චීන බස කතා කරන්නට මෙන්ම ලියන්නටද ඔහුට මනා හැකියාවක් ඇත.
‘මේ කට්ටිය ගැන මම කියන්න කැමැති නෑ. ඔයාම අහල බලන්න. මම පරිවර්තනය කරල දෙන්නම්.‘
ඒ සමගම කාන්තාවක්ද පැමිණියාය. ඇයත් චීන ජාතික අයෙකි.
මම පළමුව ඇයගෙන් විස්තර විමසුවෙමි. ඇය ‘ෂියැ ලී පින්ග්‘ ය. චීන රජයෙන් ඇයට ශ්‍රී ලංකාවේ බැඩ්මින්ටන් පුහුණු කිරීම පිණිස යන ලෙස දැන්වූ බවත් ඒ අනුව පසුගිය අගෝස්තු මාසයේදී මෙරටට පැමිණි බවත් ඇය පැවසුවාය. ඇය පවසන්නේ අපේ දරු දැරියන් සුළු වේලාවක් ක්‍රීඩා කිරීම නිසා බැඩ්මින්ටන් ක්‍රීඩාව මෙරට ප්‍රචලිත කිරීම අපහසු වී ඇති බවයි. සෞඛ්‍ය සම්පන්නව ඔවුන් ක්‍රීඩා කරන නමුත් පුහුණු ක්රමයේ වෙනසක් අවශ්‍ය බවත් ඇය පෙන්වා දුන්නා. පිරිමි දරුවන් හොඳ ක්‍රීඩා කෞශල්‍යයන් පෙන්නුම් කළත් කාන්තා ක්‍රීඩිකාවන් බැඩ්මින්ටන් ක්‍රීඩාවට ආධුනික තත්ත්වයක් පෙන්වන බවත් ඇය පෙන්වා දුන්නා.
එසේම ටේබල් ටෙනිස් හෙවත් මේස පන්දු පුහුණුකරුවකු ලෙස මෙරටට පැමිණි ‘ටු ජියැන් ලින්ග්‘ මහතාද පවසන්නේ තමන් රත්නපුර, නුවරඑළිය, අම්බලන්ගොඩ, කෑගල්ල, ගල්කිස්සේ පාසල්වලට ගොස් මේස පන්දු පුහුණු කළ බවයි. එයින් ගල්කිස්ස ශාන්ත තෝමස් විදුහලේ සිටිනා සිසුන් මනා කැපවීමෙන් දස්කම් පෙන්වන බවත් තවත් පහසුකම් ලබා දෙන්නේ නම් ලංකාවෙන් හොඳ ක්‍රීඩක ක්‍රීඩිකාවන් බිහි කළ හැකි බවත් ඔහු පෙන්වා දෙයි. වයස අවුරුදු 10ත් 12ත් අතර දූ දරුවන් ඉතා හොඳින් ක්‍රීඩා කටයුතු කරනු ලබන බවත් ඔහු පෙන්වා දෙනවා.
මේ පුහුණුකරු හා පුහුණුකාරිය චීන ජාතික තලයේ පුහුණුකරුෙවා් දෙදෙනෙකි. බැඩ්මින්ටන් පුහුණුකාරිය 2008 වසරේ බීජිං ඔලිම්පික් උලෙළේ ටේබල් ටෙනිස් තරගාවලියේ ප්‍රථම ස්ථානය දිනූ ‘ටු ජින් හා යු යෑන්ග්‘ යුගල ක්‍රීඩිකාවන්ගේ පුහුණුකාරිය වූයේ ඇයයි. එසේම 2011 වසරේ ලෝක ටේබල් ටෙනිස් තරගාවලියේ දෙවන ස්ථානයට පත් වූ ‘ලින් ලින්‘ ගේ පුහුණුකරු වූයේද මෑ ය.
ඔහු චීනයේ ප්‍රාදේශීය කලාප 32කින් එක් පුහුණුකරුවකු ලෙස කටයුතු කරමින් සිටී. ඒ එක් කලාපයක මිලියන 20ක පමණ ජනතාවක් වෙසෙන බවද මෙහිදී පෙන්නුම් කළ යුතුය.
මේ තරම් වටිනා පුහුණුකරුවන් දෙදෙනකු මෙරටට එවා ඇත්තේ බණ්ඩාර දිසානායක මහතා චීන රජයෙන් කළ ඉල්ලීමකට අනුවය. එසේ වුවත් මේ චීන ජාතික තලයේ පුහුණුකරුවන් දෙදෙනාට අපේ රටේ ලබා දී ඇත්තේ තෙමහල් ගොඩනැගිල්ලක ඉහළ මාලයක අඩි 10x10 පමණ කුඩා කාමර දෙකකි. එහි ඇත්තේ කුඩා ඇදක් මේසයක් හා රූපවාහිනියක් පමණි. වායුසමනය කර තිබීම හැරෙන්නට අඩුම වශයෙන් ඔවුන්ට තම ඇඳුම් දමා ගැනීමට කබඩ් එකක් හෝ ලබා දී නැත.
ඔවුන්ට කෑම බීම කිසිවක් ලබා දෙන්නේ ද නැත. ඔවුහු කෑම උයාගෙන පියාගෙන කති. මේ දෙදෙනා පැමිණ සිටින්නේ අපේ රටේ ක්‍රීඩාව නංවාලීම පිණිස බව අපේ ක්‍රීඩාවට සම්බන්ධ බලධාරීන්ට අමතකව ඇත්තා සේය. පසුගිය අගෝස්තු මස 21 වැනිදා ලංකාවට පැමිණ සිටින මොවුන් අඩුම වශයෙන් ආසන්න ප්‍රධාන නගරයකට හෝ ගොස් නැත.
ඒ අපේ රටේ සැලකිල්ලය. මේ පුහුණුකරුට හා පුහුණුකාරියට තම තමන්ගේ ඇඳුම් වේලා ගන්නට හෝ තැනක් නැත. සෝදන ලද ඇඳුම් දමා තැන් තැන්වල එළියේ එල්ලා තබා වේළා ගන්නවා හැරෙන්නට ඔවුනට විසඳුමක් නැත.
අපේ රටේ ක්‍රීඩාවට සල්ලි පීනා යන යුගයක අවම වශයෙන් පෞද්ගලික අංශයේ සහායෙන් හෝ මේ දෙදෙනාට සලකන්නට අප ක්‍රීඩා බලධාරීන්ට හෝ ක්‍රීඩා සංගම්වලට නොහැකි වූයේ ඇයිද යන ප්රශ්නය ඇසිය යුත්තේ කාගෙන්ද යන්න අප ඉදිරියේ මතුව ඇත.
බණ්ඩාර දිසානයක මහතා පවසන්නේ මේ අයට මෙරටට පැමිණීමට වීසා සඳහා ඉල්ලුම් පත්‍රය අස්ස්න් කර ඇත්තේ ක්‍රීඩා අමාත්‍යාංශ ලේකම්වරයා විසින් බවයි. කවුරුන් මෙහි වගකීම දැරූවත් යළි මවු රටට යන ඔවුන් විසින් අපේ ආගන්තුක සත්කාර ගැන අනිවාර්යෙන්ම පවසනු ඇත. ඔවුන් තදබල ලෙස කලකිරී ඇති බව කතාවෙන් පැහැදිලිය. එහෙත් තමන් බාරගත් වගකීම ඔවුහු දේවකාරියටත් වඩා සලකන බව අපට පැහැදිලි විය.
කෙසේ වුවත් මේ පුහුණුකරුට හා පුහුණුකාරියට අදින් පසුව හෝ යම් සැලකිල්ලක් ලැබෙනු ඇතැයි අප බලාපොරොත්තු වන්නේ අපේ ක්‍රිඩාව ගැන පමණක් නොව රට ගැනද නරක ආරංචි අන්තර්ජාතික තලයට යාම වැළැක්විය යුතු හෙයිනි.
සේයාරූ - රුවන් ද සිල්වා
තාරක වික්‍රමසේකර