විදේශ ශ්‍රමිකයන් 225කට කෝටි 9ක් වන්දි | සිළුමිණ

විදේශ ශ්‍රමිකයන් 225කට කෝටි 9ක් වන්දි

පසුගිය වසර දෙක ඇතුළත විදේශගත වූ ශ්‍රමිකයන් 225ක් වෙනුවෙන් රුපියල් කෝටි 7ක හිඟ වැටුප් හා කෝටි 2ක වන්දි ලබාදී ඇතැයි අධිකරණ හා විදේශ සේවා ඇමැති තලතා අතුකෝරළ මහත්මිය පවසන්නීය.

2018 වසරේ අප්‍රේල් මාසය වන විට විදෙස් ශ්‍රමිකයින් සඳහා යෝජනා වී තිබෙන විශ්‍රාම වැටුප ලබාදිය හැකිවන බවත්, 2017 වර්ෂයේ රැකියා සඳහා ගොස් විවිධ කරදරයට ලක්වූ ශ්‍රමිකයින් සඳහා කෝටි දෙකකට අධික වන්දි මුදලක් ලබාදීමට හැකිවුණු බවත් අධිකරණ හා විදේශ රැකියා අමාත්‍ය නීතිඥ තලතා අතුකෝරළ මහත්මිය ප්‍රකාශ කළාය. අමාත්‍යතුමිය මේ අදහස් පළකළේ, විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ ලියාපදිංචි වී විදෙස් රැකියා සඳහා ගොස් එරටදී විවිධ කරදරවලට ලක්වූ ශ්‍රමිකයින් 38 දෙනෙකු වෙනුවෙන් විදේශ සේවා නියුක්ති කාර්යාංශය මඟින් රු. 10,600,000 (එක්කෝටි හය ලක්ෂයක්) වන්දි මුදල් ප්‍රමාණයක් පිරිනැමීමේ අවස්ථාවට එක්වෙමිනි.

මේ වන්දි මුදල් අතරට විදේශ රැකියාව අතරතුරදී හා මෙරටට පැමිණීමෙන් පසු සිදුවූ මරණ 15 ක් සඳහා රු. 4,200,000.00 ද, වෛද්‍යාධාර සඳහා ශ්‍රමිකයින් 13 දෙනෙකු වෙනුවෙන් රු. 1,850,000 හා යැපෙන්නන් සඳහා එක් ශ්‍රමිකයෙකු වෙනුවෙන් රු. 50,000.00 ද මුදලක් ද පිරිනමන ලදී. විදේශ රැකියා සඳහා ලියාපදිංචි ශ්‍රමිකයින්ට වන්දි ලබාදෙන රක්ෂණ ක්‍රමයට ඇතුළත් නොවූ මියගිය හා ආබාධිත වූ වන්දි ලාභීන් වෙනුවෙන්, විගමනික සේවක සුභසාධන අරමුදල මඟින් මෙසේ වන්දි මුදල් ලබාදේ.

Comments