
නාස්තිය, දූෂණය පිටුදැක නීතිය හා සාමය රජයන යහපාලන මූලධර්ම මත ප්රබුද්ධ රාජ්‍යයක් ගොඩනැඟුමට ඇති කළ අධිකරණ, රාජ්‍ය සේවා, පොලිස්, මැතිවරණ, ප්‍රසම්පාදන, මානව හිමිකම්, අල්ලස් ඇතුළු කොමිසන් සභා සියල්ලට වැඩිම මුදලක් මෙවර අයවැයෙන් වෙන් කොට තිබේ. රාජ්‍ය පාලනයේ විනිවිදභාවය ඉහළ නංවා, ප්රජාතන්ත්රවාදය හා මානව හිමිකම් සුරැකීම මඟින් යහපත් රටක් ජාතියක් බිහි කිරීම එම මුදල් වෙන් කිරීමේ අරමුණ බව මුදල් හා ජනමාධ්‍ය ඇමැති මංගල සමරවීර මහතා පවසයි.
රාජ්‍ය සේවා කොමිසන් සභාවට වසර 2016දී ලබාදුන් මුදල රුපියල් කෝටි 283කි. එය වසර 2017දී රුපියල් කෝටි 451ක් දක්වා වැඩි කොට ලබාදී ඇත. අධිකරණ සේවා කොමිසමට රුපියල් කෝටි 45ක් වසර 2016දී ලබාදී තිබූ අතර, 2017දී රුපියල් කෝටි 68ක් ද වසර 2018ට රුපියල් කෝටි 73ක්ද ලෙස රුපියල් කෝටි 52ක් වැඩිපුර ලබාදී තිබේ. ජාතික පොලිස් කොමිසමට වසර 2016දී රුපියල් කෝටි 85ක මුදලක් වෙන් කළ අතර, එය වසර 2018දී රුපියල් කෝටි 97 දක්වා රුපියල් කෝටි 12ක් දක්වා වැඩි කොට ඇත. පරිපාලන අභියාචනා විනිශ්චය අධිකාරියට වසර 2016දී රුපියල් කෝටි 21ක මුදලක් ලබාදුන් අතර, වසර 2017දී රුපියල් කෝටි 24ක්ද ලබන වසරට රුපියල් කෝටි 25ක්ද ලෙස මෙවර වැඩි කොට ඇත. අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිසන් සභාව වෙත වසර 2016දී රුපියල් කෝටි 317ක් ලබාදී තිබිණි. එය 2018දී රුපියල් කෝටි 470 දක්වා රුපියල් කෝටි 153කින් වැඩි වී ඇත. වසර 2016දී රුපියල් කෝටි 114ක මුදල් කොමිසන් සභාව වෙත ලබාදී තිබිණි. ඒ මුදල වසර 2018 සඳහා රුපියල් කෝටි 268 දක්වා කෝටි 154කින් වැඩි කොට තිබේ.
ජාතික අධ්‍යාපන කොමිසමට රුපියල් කෝටි 49ක් වසර 2018ට වෙන් කොට ඇත. ඒ සඳහා මේ වසරේදී වෙන් කොට තිබුණේ රුපියල් කෝටි 39කි. ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිසන් සභාවට රුපියල් කෝටි 183ක් වසර 2016දී වෙන් කොට තිබූ අතර, මේ වසරේදී රුපියල් කෝටි 207ක්ද, වසර 2018දී රුපියල් කෝටි 249ක්ද වෙන් කොට ඇත.
මැතිවරණ කොමිසමට රුපියල් කෝටි 456ක් 2017දී වෙන් කොට තිබිණි. එම මුදල වසර 2018 සඳහා රුපියල් කෝටි 632ක් ලෙස රුපියල් කෝටි 176කින් වැඩි කොට ඇත. විගණකාධිපති දෙපාර්තමේන්තුවට රුපියල් කෝටි 1928ක් ලබන වසරට වෙන් කොට තිබේ. වසර 2017දී මෙයට වෙන් කොට තිබුණේ කෝටි 1593කි. පරිපාලන කටයුතු පිළිබඳ පාර්ලිමේන්තු කොමසාරිස්තුමාගේ කාර්යාලයට රුපියල් කෝටි 15ක් වසර 2016දීද, 2017 වසරේ රුපියල් කෝටි 25ක්ද ලබාදී තිබේ. විගණන සේවා කොමිසන් සභාවට වසර 2017දී ලබාදුන් රුපියල් කෝටි 46 වෙනුවට වසර 2018දී රුපියල් කෝටි 50ක් ලබාදී ඇත. රාජ්‍ය ආයතන විසින් භාණ්ඩ හා සේවා ලබාගැනීමේදී සාධාරණ, යුක්තිසහගත විනිවිද පෙනෙනසුලු හා තරගකාරී ලෙස ලබාගැනීමට මඟ පෑදීම රජයේ අරමුණකි. ඒ අනුව ජාතික ප්‍රසම්පාදන කොමිසන් සභාව ශක්තිමත් කිරීමට වසර 2018දී රුපියල් කෝටි 71ක මුදලක් ලබාදී ඇත. මේ කටයුතුවලට වසර 2016දී ලබා දී තිබුණේ රුපියල් කෝටි 50ක් තරම් වූ මුදලකි. පුරවැසියන්, දේශපාලන පක්ෂ හා සිවිල් සමාජයේ සහභාගිත්වය ඇතිව අවංක ආචාරශීලීව හා විනිවිදභාවයකින් යුතුව ඡන්ද කොට්ඨාස හා අනෙකුත් පරිපාලන සීමාවන් නැවත පරීක්ෂා කිරීම හා සිතුවම් කිරීම කළ යුතුම කාර්යයකි. ඒ සඳහා රුපියල් කෝටි 11ක් ලබන වසරට වෙන් කොට තිබේ. තොරතුරු දැනගැනීමේ අයිතිවාසිකම් පිළිබඳ කොමිසන් සභාව හා පනත බලාත්මක කිරීමට වසර 2018දී රුපියල් කෝටි 49ක් වෙන් කොට ඇත. කළමනාකරණ විගණන දෙපාර්තමේන්තුවට රුපියල් කෝටි 51ක් වෙන් කොට ඇත. වසර 2016දී ඊට වෙන් කළේ කෝටි 43කි. මේ අන්දමට විශාල ලෙස කොමිසන් සභාවලට රජය මුදල් වෙන් කොට තිබේ.