
ඉදිරි වසර තුන ඇතුළත ශ්‍රී ලංකාවේ සැමට ජලය ලබාදීම පිණිස ඉදිරි වසර දෙක ඇතුළත රජය රුපියල් බිලියන 300 ක් වෙන් කර ඇතැයි නගර සැලසුම් හා ජල සම්පාදන ඇමැති රවුෆ් හකීම් මහතා පවසයි.
මේ අනුව ඉදිරි වසර තුන ඇතුළත මෙරට පවුල් 750000 කට අලුත් ජල සම්බන්ධතා ලැබෙනු ඇති බවත් ඒ අනුව රටේ හැමටම 2020 දී ජලය ලැබෙනු ඇති බවත් ඇමැතිවරයා කීය.
දැනට අපේ රටේ ජල සම්බන්ධතා 11267999 තිබේ. ඒ ප්‍රමාණය 2020 වනවිට ජල සම්බන්ධතා 13310865 ක් දක්වා වැඩි කිරීමට අපේක්ෂා කෙරේ.
පසුගිය වකවානුවෙහි මෙරට ක්‍රියාත්මක වූ විශාලම ජල යෝජනා ක්‍රමය කළුතර කළුගඟ ජල සම්පාදන (ප්‍රථම අදියර) ව්‍යාපෘතියයි. ඒ මඟින් අලුත් ජල සම්බන්ධතා ලක්ෂ 3 ක් ලබාදී තිබේ. ඊට අමතරව රත්නපුර, මහියංගනය, මන්නාරම, බළන්ගොඩ, යාපනය, කිලිනොච්චි ජල ව්‍යාපෘති මඟින් අලුත් ජල සම්බන්ධතා ලක්ෂ 5 ක් පමණ ලබාදෙමින් තිබෙන බවත් ඇමැතිවරයා කීය.
2020 දී අවසන් වීමට නියමිත යාපනය කිලිනොච්චි ජල සම්පාදන ව්‍යාපෘතිය අනුව ලක්ෂ 3 කට සෙත සැලසේ. යාපනය කිලිනොච්චි දිස්ත්‍රික්කවල සැමට ඉන් පිරිසුදු පානීය ජලය ලැබෙන බවත් ජල සම්පාදන හා ජලාපවාහන මණ්ඩලය පවසයි.