රට හදන අය-වැයක් | සිළුමිණ

රට හදන අය-වැයක්

 2018 අයවැය, රටේ සියලු දෙනා සංවර්ධනයට හවුල් කර ගන්නා සංවේදී මෙන්ම අනාගතවාදී අයවැයක් බවත්, රට ගොඩ නඟන ප්‍රායෝගික වැඩපිළිවෙළක් සතු මෙම අයවැය ජාතික උරුමයන් මෙන්ම ලෝක ප්‍රවණතා හොඳින් සැලකිල්ලට ගෙන සකස් කර ඇති බවත් ව්‍යවසායකයන් අලුතින් බිහිකිරීමට හා පරිසර හිතකාමී සංවර්ධනයක් ඉලක්ක කිරීම මෙහි ඇති වැදගත් ලක්ෂණ බවත් ආර්ථික විශේෂඥයෝ පවසති.

පේරාදෙණිය විශ්ව විද්‍යලාය් ආර්ථික අධ්‍යන අංශයේ මහාචාර්ය මිල්ටන් රාජරත්න මහතා මෙසේ සඳහන් කරයි.

මේ අයවැය ඉතාම පැහැදිලිව ඍජුව ඉදිරිපත් කළ, ජනතාවට කරදර නොකළ අය වැයක් ලෙස හැඳින්විම සාධාරණයි. ඒවගේම ඉතාම ආකර්ෂණීය තේමාවක් සහිත ඒත් එක්කම අලුත් සංකල්ප රාශියක් ගොනු වුණු අයවැයක් ලෙසයි මම දකින්නේ. මේක බැලුවම දියගොඩ දෙකටම සරිලන ආර්ථික ප්‍රතිපත්තියක්. මෙමගින් ලොකු වපසරියක් ආවරණය කර තිබෙනවා. එන්ටප්‍රයිසස් ශ්‍රී ලංකා වැඩ පිළිවෙල ඉතාම කාලෝචිත ඒවගේම වැදගත් බොහෝ දෙනකුට සෙත සැලසෙන ප්‍රයෝජනවත් වැඩසටහක් කියන්න පුළුවන්. මොකද මේ මගින් රජයට ලොකු බරක් පැටවෙන්නේ නැහැ. අනෙක් අතට ලංකාවේ තිබෙන විශාල ප්‍රශනයක් ව්‍යවසායකයින් හිඟ කම. ව්‍යවසායකයින් හිඟවෙන්න හේතු කාරණා කිහිපයක් තිබෙනවා. ඒ හිඟකම ජයගන්නට විශාල මුදල් ප්‍රමාණයක් වෙන් කර ඇති නිසා පවතින අපහසුතා මඟහැරී යනවා. ඒක ඉතාම වැදගත් ආර්ථික වර්ධනය කරා යන ගමනකට. දීර්ඝ කාලීනව ඉතාම අඩු පොලියක් යටතේ ණය මුදල් ලබා ගැනීමට හැකි වීම ඔවුන් දිරිමත් කිරීමට හේතුවක් වෙනවා.

ආර්ථික විශේෂඥ මහාචාර්ය රොහාන් සමරජීව ,

අයවැයේ මූලික හරය වන්නේ අය සහ වැය අතර පරතරයක් ඇති නොවන සේ පවත්වාගෙන යාමයි. එනම් වැය පමණට සරිලන ආකාරයට අය තිබිය යුතුයි. එය අය වැය පිළිබඳව නිරීක්ෂණය කිරීමේදී බොහෝදෙනා නොසලකා හරින එහෙත් සැලකිය යුතුම කාරණාවක්. මේ අය වැය ඒ කාරණාව ඉතා හොඳින් තේරුම්ගෙන සකස් කළ අයවැයක් ලෙස සැලකිය හැකියි. එනිසා 3.5 ප්‍රතිශතයක මෙම අය වැය තුළනය පවත්වාගෙන යා හැකියැයි විශ්වාසය තැබිය හැකියි. එමෙන්ම මෙතෙක් පවත්වාගෙන ආ මූල්‍ය කළමණාකරණය තවදුරටත් ශක්තිමත් කරමින් ඉදිරියටත් පවත්වාගෙන යාමට කල්පනා කිරීම අගේ කළ යුතුයි. ඒවගේම මේ අය වැය ඉතාම කෙටි වුවත් ඉතාම වැදගත් දේ සඳහා ප්‍රමුඛතාවය ලබාදෙමින් සකස් කළ අයවැයක්.

හිටපු ජනසවිය කොමසාරිස් සුසිල් සිරිවර්දන මහතා,

ජනතාවගේ සැබෑ අවශ්‍යතා හසුකරගත් මුළු රටේ සෑම දෙනාම සංවර්ධනය වෙනුවෙන් එකට ගැටගසන අයවැයක්. මෙය ක්‍රියාවට නැංවීම ඉතාම වැදගත්. මෙහි ප්‍රථිඵල රටට හිමිවන්නේ ක්‍රියාත්මක කිරීම අනුවයි. මෙය ඉදිරිපත් කළ මුදල් අමාත්‍යවරයා හා ඔහුගේ කණ්ඩායම මෙහි බර කරට ගෙන ක්‍රියාත්මක කළහොත් මෙය ඉතා හොඳින් සාර්ථකව ක්‍රියාත්මක වේවි.

සුළු හා මධ්‍යපරිමාණ ව්‍යවසායකයින්ගේ සංගමයේ ආචාර්ය අමිල කංකානම්ගේ පවසන්නේ 'එන්ටර්ප්‍රයිසස් ශ්‍රී ලංකා යන්න මූලික කර ගනිමින් කිසිදු අයවැයකින් මිට ප්‍රථම වැඩි සැලකිල්ලක් නොදක්වපු ක්ෂේත්‍රයකට මේ අය වැය ආමන්ත්‍රණය කර තිබෙන බවයි. ඕනම රටක සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යවසායකයින් ඒ රටවල්වල ආර්ථිකයේ කොඳු නාරටිය බවත් ඔහු පවසයි. එම නිසා ඔවුන් කෙරෙහි සැලකිල්ලක් දක්වමින් රටක අයවැයක් සකස් විය යුතු බවද එහු පැවසීය. එසේම මේ අය වැයේ ඒ සාධනීය ලක්ෂණය දැකිය හැකි බවත් විශේෂයෙන්ම මිලියන 10,000 වැය කර ආනයන හා අපනයන සඳහා බැංකුවක් ඉදිකිරීමට පියවර ගැනීම හා ණය පහසුකම් සැපයීම. ලෝකයේ දියුණු රටවල්වන චීනය, මලයාසියාව, ඇමරිකාව වැනි රටවල් සිදු කරන කාර්යයක් බවද කීය. එහෙත් මේ යෝජනා ක්‍රියාත්මක වීමේදී එය යථාර්ථයක් නොවීම බවත් ඔහු පෙන්වා දෙයි.

කොළඹ විශ්ව විද්‍යාලය ආර්ථික විද්‍යා අධ්‍යයන අංශයේ මහාචාර්ය සිරිමල් අබේරත්න පවසන්නේ රටේ තිබෙන වැදගත් සහ මූලික ප්‍රශ්න කිහිපයක් මේ අය වැයෙන් හඳුනාගෙන ඇති බවයි.

ආර්ථික වර්ධනය වේගවත් කිරීම, අපනයන වර්ධනය ඵලදායීතාව හා කාර්යක්ෂමතාව ඉහළ නැංවීම, විදේශ ආයෝජන දිරිගැන් විම හා පාරිසරික වැදගත්කමකින් යුතු ආර්ථිකයක් ගොඩනැගීම වැනි කරුණු පිළිබඳව බලාපොරොත්තු රාශියක් තිබීම ඉතා හොඳ ආරම්භයක් බවත් එය යථාර්ථයක් කර ගැනීමට අවශ්‍ය ප්‍රතිසංස්කරණ ඇත්තේ අයවැය තුළම නොවන බවත් ඔහු පෙන්වා දෙයි .

Comments

2017 BUDGET was Predicted by RAVI. and by himself PROPOSED he is the the best MINISTER OF FINANCE in ASIA. So, how about Mangala. Any body going to FORECAST his COMMENTS ABOUT 2018 BUDGET.

පිටු