
ලෝකයේ සත්‍ය ස්වභාවය අවබෝධ කරගැනීමේ අභිලාශයෙන් පිළිවෙත් සම්පාදනය කරන පුද්ගල තෙමේ තම විමුක්ති මාර්ගය පිළිබඳ මනා අවබෝධයකින් යුක්ත විය යුතතේ ය. නිවන අවබෝධ කිරීම සඳහා සියලු දෙයින් ඉවත් විය යුතුය යන්න සමාජය තුළ බෙහෙවින් සාකච්ඡාවට බඳුන් කරන මාතෘකාවකි. තවත් වරෙක සියල්ල අතහැරීම නිවනට මාර්ගය බව දක්වමින් ඇතමුන් කරුණු විග්‍රහ කරන අයුරු දක්නට ලැබේ. මෙහි දී අප අවධානය යොමු කළ යුත්තේ විමුක්තිය සහ අතහැරීම අතර පවත්නා සබඳතාව කුමක්ද යන්න පිළිබඳව ය. එසේම අතහැරීම ධර්මය තුළ විග්‍රහ වන්නේ කවර සන්දර්භයක් ඔස්සේ ද යන්න පිළිබඳ කරුණු විමසිය යුතු ය. මේ පිළිබඳ ධර්මය තුළ දක්වන කරුණු උපයෝගී කොටගෙන නිවැරදි වූ විග්‍රහයන් ඉදිරිපත් කළ යුතු ය. අතහැරීම යන ක්‍රියාව අප සිදු කළ යුතු සීමාව කුමක්ද යන්න ප්‍රථමයෙන් ම අවබෝධ කොටගත යුතු ය. මෙයින් අදහස් කරනුයේ කවර වූ කරුණක් ද? අප අතහැරිය යුත්තේ කුමන වූ ධර්මයන් ද? එය ආරම්භ කළ යුත්තේ කෙසේ ද? ජීවිතයේ කවර වූ කාලයක අතහැරීම ආරම්භ කළ යුතු ද? මේ ආදී කරුණු පිළිබඳ අපගේ අවධානය යොමු විය යුතු ය.
අතහැරීම
ජීවිතයේ හා ලෝකයේ ස්වභාවය පිළිබඳ සංක්‍ෂිප්ත වූ විග්‍රහයන් පසුගිය ලිපි මගින් ඉදිරිපත් කොට ඇත. අප ජීවත්වන ලෝකය නිර්මාණය වී පවත්නේ අපගේ කැමැත්තට අනුව නොව හේතු-ඵල සම්බන්ධතාවයට අනුරූපීව ය. ජිවත් වීම සඳහා අප ගොඩනගාගත් සියලු වස්තූන් තුළ සත්‍ය වශයෙන් විද්‍යමාන වන්නේ පඨවි, ආපෝ, තෙජෝ, වායෝ යන සතර මහා භූත ධර්මයන් ය. අභිධර්මයට අනුව පවසන්නේ නම් ඉහතින් දක්වන ලද මහා භූතයන්ට අමතරව පවත්නා උපාදා රූප විසිහතර (24) ත් සමඟ විද්‍යමාන අටවිසි (28) රූපයන් ය. මෙම රූපයන්ගේ එකතුවෙන් මහත් වූ වස්තූන් අප ඉදිරියේ දක්නට ලැබේ. ධර්මය පිළිබඳ මද අවබෝධයක් පවත්නා බොහෝ දෙනා කරුණු විග්‍රහ කරනුයේ භෞතික වස්තූන්ගේ අතහැරීම පිළිබඳව ය. එහෙත් සැබවින් ම අප අතහැරිය යුත්තේ එම භෞතික වස්තූන් ද යන්න පිළිබ පුළුල්ව සාකච්ඡා කළ යුතු ය. එයට හේතුව නම් භෞතික වස්තූන් අතහැරීමෙන් අපට විමුක්තිය ලැබිය හැකි ද යන පැනය අප ඉදිරියේ පැන නඟින හෙයිනි. අතහැරීම පිළිබඳ ඉතා සූක්‍ෂ්ම වූ විග්‍රහයක් සංයුත්ත නිකායේ නතුම්හාක සූත්‍රයේ දක්නට ලැබේ. එම සූත්‍රයේ අතහැරීම පිළිබඳ කරුණු දක්වා ඇත්තේ පහත පරිදි ය.
පංචේන්ද්‍රිය
“යං භික්ඛවෙ න තුම්හාකං තං පජහථ, තං වො පහීනං හිතාය සුඛාය භවිස්සති. කිඤ්ච භික්ඛවෙ න තුම්හාකං? චක්ඛුං භික්ඛවේ න තුම්හාකං, ...රූපා න තුම්හාකං.....චක්ඛු විඤ්ඤාණං න තුම්හාකං, ...චක්ඛුසම්ඵස්සො න තුම්හාකං, ... යම්පිදං චක්ඛුසම්ඵස්ස පච්චයා උප්පජ්ජති වෙදයිතං සුඛං වා දුක්ඛං වා අදුක්ඛමසුඛං වා තම්පි න තුම්හාකං....” (සංයුත්ත නිකාය 4, සළායතන වග්ගය, වෙදනා සංයුත්තය, න තුම්හාක සූත්‍රය, 172 පිටු.)
“මහණෙනි යමෙක් තොපගේ නො වේ නම් එය දුරු කරවු. එය දුරුකරන ලද්දේ තොපට හිත පිණිස සුව පිණිස වන්නේ ය. මහණෙනි කිමෙක් තොපගේ නො වේ ද යත්. මහණෙනි ඇස තොපගේ නො වෙයි... රූපයන් තොපගේ නො වෙයි...චක්ඛු විඤ්ඤාණය තොපගේ නො වෙයි... චක්ඛු සම්ඵස්ස හෙවත් ඇසෙහි ස්පර්ශය තොපගේ නො වෙයි. ඇසේ ස්පර්ශය නිසා සුඛ, දුක්ඛ, උපේක්ෂා යන මේ විඳීමක් උප දී නම් එය ද තොපගේ නො වෙයි.”
ඉහත ඇස පිළිබඳ දක්වන ලද ආකාරයට ම කන, නාසය, දිව, කය, මනස පිළිබඳව ද හටගන්නා සියලු ධර්මයන් දුරු කළ යුතු ය. විමුක්තිය සඳහා අප දුරු කළයුතු වන්නේ කවර වූ ධර්මයන් ද යන්න මෙහි දී මනාව විග්‍රහ කොට ඇත. යමක් අපගේ නොවේ නම් අප දුරු කළ යුත්තේ එම ධර්මයන් ය. අපගේ නොවන දෑ දුරු කිරීම තමාට හිත සුව පිණිස පවතින්නේ ය. කවර වූ ධර්මයක් තමාගේ නොවේ ද යන්න නුවණින් දත යුතු ය. ඇස, කන, නාසය, දිව, කය, මනස යන ඉන්ද්‍රියයන් හා ඒවාට අරමුණු වන රූප, ශබ්ද, ගන්ධ, රස, ස්පර්ශ, ධම්ම යන ආරම්මණයන් ද තමාගේ නොවන බව දත යුතු ය. එසේම ඉන්ද්‍රිය ආරම්මණයන් හේතු කොටගෙන හටගන්නා චක්ඛු ආදී විඤ්ඤාණය ද, එයින් හටගන්නා ස්පර්ශය ද, මේ සියල්ල නිසා හටගන්නා සැප, දුක්, උපේක්‍ෂා විඳීම් ද තමාට අයත් නොවන බව දත යුතු ය. තමාට අයත් නොවන ඒ සියල්ල දුරු කිරීමෙන් මහත් යහපතක් සැලසේ. විමුක්තිය යනු මේ සියලු දෙයින් ඉවත් වීමයි. අතහැරීම යන්නෙන් අපේක්‍ෂිත අර්ථය ද මෙසේ ගැඹුරු වූ නුවණකින් සිදු කළ යුත්තක් බව අවබෝධ කොටගත යුතු ය.
ලෝක ස්වභාවය හා ජීවිතය පිළිබඳ ගැඹුරු අවබෝධයක් නොමැති පුද්ගලයින් සැම කල්හි කල්පනා කරනුයේ අප එදිනෙදා ජීවිතයේ පරිහරණය කරනු ලබන භෞතික වස්තූන් අතහැරීමෙන් විමුක්තිය සලසාගත හැකිය යනුවෙනි. නුතන සමාජය තුළ අතහැරීම, සහ අත්හල යුතුය යනුවෙන් විග්‍රහ කරන වස්තූන් කවරේ ද යන්න සහ ඒවා සැබවින් ම දුරු කළ හැකි ද යන්න විමසිය යුතු ය. නිවාස, ඉඩකඩම්, වාහන, මිල මුදල්, ස්වාමි පුරුෂයා, බිරිඳ, දරුවන්, රැකියාව ආදී විවිධ දේ විමුක්තිය ලබා ගැනීම සඳහා අත්හැරිය යුතුය යනුවෙන් බොහෝ දෙනා පවසන කරුණු ය. එහෙත් සැබවින් ම ඒ සියල්ල අතහැරීම ලෝකය තුළ ජීවත් වන සියලු දෙනාට ප්‍රායෝගිකව සිදු කළ හැකි ක්‍රියාවන් ද යන්න නුවණින් කල්පනා කළ යුතු ය. ඉහත දක්වන ලද භෞතික වස්තු සියල්ල මරණයේ දී අපට අහිමි වේ. එහෙත් ඒ සියල්ල අහිමි වූවා යැයි විමුක්තියක් නොලැබේ.
භෞතික වස්තු
කරුණු මෙසේ හෙයින් ධර්මය තුළ විග්‍රහ වන අතහැරීම සම්පූර්ණයෙන් ම භෞතික වස්තු මත පමණක් පදනම් වී පවත්නා දෙයක් නොවන බව වටහාගත යුතු ය. ‘න තුම්හාක සූත්‍රයේ’ දක්වන ලද මානසික ක්‍රියාවලිය පිළිබඳව ද මනාව අවධානය යොමුකළ යුතු ය. විමුක්තිය ලැබීමේ ක්‍රියාවලිය ඉතා සරල ක්‍රියාවලියක් නොවන බව තේරුම් ගත යුතු ය. එය නුවණ මෙහෙයවා තේරුම්ගත යුතු කරුණකි. සම්මුති ව්‍යවහාරය තුළ අපගේ යැයි සලකනු ලබන ජීවිතය හා අප ජීවත් වන ලෝකය හේතු ප්‍රත්‍ය ධර්මයන්ගෙන් නිපන් ධර්මයෝ ය. ලෝකය තුළ පවත්නා ස්වභාවික සංසිද්ධීන් ප්‍රතික්ෂේප කිරීම හෝ තමන්ට අවශ්‍යය ආකාරයට හසුරුවා ගැනීම ජීවිතයට අදාළ වන්නක් නොවන බව දත යුතු ය. තමා ලෝකයේ ඉපදී සිටිය ද නොසිටිය ද භෞතික ලෝකයේ පැවැත්මට අප ජීවිතය කිසිදු බලපෑමක් සිදු නොකරයි. එය වෙනම න්‍යායකි. නාම රූප ධර්ම පරම්පරාවක් පමණක් විද්‍යමාන වන මේ ජීවිතය සසර බොහෝ කාලයක සිට පැවත එන්නකි. ඒ ඒ භවයන් තුළ හිමි වූ භෞතික රූපකාය සහ අප්‍රමාණ වූ අනෙකුත් භෞතික වස්තූන් සියල්ල ඒ ඒ ජීවිත නිමා වීමත් සමඟ අපට අහිමි විය. සසර තුළ අප විසින් ගොඩනගා ඒ ඒ ජීවිත අවසානයේ අහිමි වූ භෞතික වස්තූන්, ස්වාමි පුරුෂයන්, බිරිය හා දරුවන් සංඛ්‍යාව කොතෙක් ද යන්න සිතීමට පවා නොහැකි ය. ඒ සියල්ල අහිමි වූවා යැයි අපට මේ ජීවිතයේ කිසිදු මතකයක් හෝ නොමැත. ඒ සියල්ල තමා පරිහරණය කළේ ද යන්න පිළිබඳව ද කිසිදු හැඟීමක් නැත. අප්‍රමාණ වූ භෞතික වස්තූන් එසේ අතහැරී ගිය ද අපට කිසිදු විමුක්තියක් ලැබී නැත. මේ ජීවිතය තුළ ද අප ජීවත් වීම පිණිස බොහෝ භෞතික වස්තූන් තම ශක්ති ප්‍රමාණයෙන් සම්පාදනය කොටගෙන ඇත්තෙමු. එහි කිසිදු වරදක් නැත. එයට හේතුව ලෝකය තුළ ජීවත් වීම පිණිස අපට අවශ්‍යය දේ අප විසින් සම්පදනය කොටගත යුතු හෙයිනි. යමෙක් සියලු භෞතික වස්තූන්ගෙන් බැහැර වී විමුක්තියක් ලැබිය හැකිය යනුවෙන් පවසන්නේ නම් එය මුළා බවට පත්ව සිදු කරනු ලබන ප්‍රකාශයක් බව දත යුතු ය. භෞතික වස්තූන්ගේ උපකාරකත්වයෙන් තොරව ජීවත් වීමට ද නොහැකි ය. විමුක්තිය ලබා ගැනීමට ද අප ජීවත්ව සිටිය යුතු ය. කරුණු මෙසේ හෙයින් ධර්මය තුළ විග්‍රහ වන අතහැරීම ගැඹුරු වූ නුවණින් ම වටහාගත යුත්තකි.
අතහැරීම යනුවෙන් විග්‍රහ වන දේ තුළ පවත්නා ස්වභාවය අප තේරුම් ගත යුත්තේ කෙසේ ද යන්න ‘න තුම්හාක සූත්‍රයේ’ ම දක්වා ඇත.
“සෙය්‍යථාපි භික්ඛවෙ යං ඉමස්මිං ජෙතවනෙ තිණකට්ඨසාඛාපලාසං, තං ජනො හරෙය්‍ය වා ඩහෙය්‍ය වා යථාප්පච්චයං වා කරෙය්‍ය. අපිනුතුම්හාකං එවමස්ස. අම්හෙ ජනො හරති වා ඩහති වා යථාප්පච්චයං වා කරොතීති? නොහෙතං භන්තෙ. තං කිස්ස හේතු? න හි නො හෙතං භන්තෙ අත්තා වා අත්තනියං වාති.”
අයිතිය
“මහණෙනි, යම් සේ මේ ජේතවනයෙහි යම් තණ දර අතු කොළ වේ ද, ජන තෙමේ එය හැරගෙන යන්නේ හෝ දවන්නේ හෝ යම් කැමති පරිද්දක් කරන්නේ හෝ වේ නම් (එකල්හි) තොපට මෙබඳු අදහසෙක් වන්නේ ද, ජන තෙමේ අප හැරගෙන යන්නේ යයි කියා හෝ දවන්නේ යයි කියා හෝ යම් කැමති පරිද්දක් කරන්නේ යයි කියා හෝ මෙබඳු සිතෙක් වන්නේ ද, වහන්ස මෙය නො වේ ම ය. ඒ කවර හෙයින්ද යත්. වහන්ස මෙය තෙමේ හෝ තමාගේ හෝ නො වේ මැ යි (එහෙයිනි).”
(සංයුත්ත නිකාය 4, සළායතන වග්ගය, වෙදනා සංයුත්තය, න තුම්හාක සූත්‍රය, 174 පිටු.)
ඉහත නිදර්ශනයෙන් දක්වා ඇති පරිදි ජේතවන භූමියෙහි පවත්නා තණ දර අතු කොළ ජනයා පැමිණ රැගෙන යන විට හෝ දවන විට හෝ වෙනත් කැමති දෙයක් කරන විට, එම ජනයා පැමිණ තමා හැරගෙන යන්නේ ය කියා හෝ දවන්නේ ය කියා හෝ කැමති පරිද්දක් කරන්නේය කියා හෝ සිතක් තමාට නොවන බව ය. එයට හේතුව නම් තණ දර අතු කොළ ආදී කිසිවක් තමා හෝ තමාගේ හෝ නොවන නිසා ය. මේ අයුරින් ම ඇස ආදී ඉන්ද්‍රියයන් කෙරෙහි ද ඒවාට අරමුණු වන රූප, ශබ්ද ආදී ආරම්මණයන් පිළිබඳව ද කල්පනා කළ යුතු ය. ඒ කිසිවක් තමා හෝ තමාගේ නොවන බව හෝ වටහාගත යුතු ය. නුවණ පිහිටුවා ඒ පිළිබඳ කල්පනා කළ යුතු ය. එවිට එම ධර්මයන්ගේ සත්‍ය ස්වභාවය තමාට වැටහේ. චක්‍ඛු ආදී ඉන්ද්‍රියයන්, රූපා දී ආරම්මණයන්, එයින් හටගන්නා විඤ්ඤාණය, ස්පර්ශය, සැප දුක් උපේක්‍ෂා විඳීම් සියල්ල ද තමා හෝ තමාගේ නොවන බව දැන ඒ සියල්ල දුරු කළ යුතු ය. අතහැරීම යනු එසේ ගැඹුරු අවබෝධයකින් සිදු කළ යුතු ක්‍රියාවකි. කරුණු මෙසේ හෙයින් ධර්මය තුළ විග්‍රහ වන ධර්මතාවයන්ගේ සැබෑ ලක්ෂණය නුවණින් අවබෝධ කොට විමුක්තියට මඟ සලසා ගත යුතු ය.
ලබන සතියේ... ලෝකයෙන් එතෙර වීම සහ ධර්ම ස්වභාවය
ජී.ජී.ජී. පුෂ්පකුමාර් බෞද්ධ දර්ශනය (විශේෂවේදී)
බුද්ධ ධර්ම ඩිප්ලෝමාධාරී