සුහුරු හැඳුනුම්පත් නිකුතුව ඇරඹේ | සිළුමිණ

සුහුරු හැඳුනුම්පත් නිකුතුව ඇරඹේ

පුද්ගලයන් ලියාංපදිංචි කිරීමේ දෙපාර්තමේන්තුව විසින් අන්තර්ජාතික ප්‍රමිතීන්ට අනුකූලව හඳුන්වා දුන් නවීන තාක්ෂණයෙන් යුත් සුහුරු කාඩ්පත (SMART Card) හෙවත් නව ජාතික හැඳුනුම්පත අභ්‍යන්තර කටයුතු වයඹ සංවර්ධන හා සංස්කෘතික කටයුතු අමාත්‍ය එස්.බී. නාවින්න මහතාගේ ප්‍රධානත්වයෙන් සංකේතාත්මකව පසුගියදා නිකුත් විය.

මේ නව හැඳුනුම්පතේ විශේෂත්වය වන්නේ මෙය අංක 12කින් සමන්විත අතර අන්තර්ජාතික සිවිල් ගුවන් සේවා සංවිධානයේ (International Civil Aviation Organization - ICAO) ප්‍රමිතියෙන් යුතු ඡායාරූපයකින්  සහ යන්ත්‍රානුසාරයෙන් කියවිය හැකි තීරු සංකේතයකින් (Bar-code) සමන්විතව තිබීමයි.

මෙහි අඩංගු තොරතුරු එනම් හිමිකරුගේ නම, උපන් ස්ථානය, ලිපිනය හා ස්ත්‍රී/පුරුෂභාවය යන තොරතුරු භාෂාත්‍රයෙන්ම මුද්‍රිතව දැක්වෙන අතර, හැඳුනුම්පත්ලාභියාගේ අත්සනද නව හැඳුනුම්පතට ඇතුළත්ව තිබේ. නව හැඳුනුම්පත හඳුන්වා දීමත් සමඟ මෙතෙක් පැවති ජාතික හැඳුනුම්පත් අවලංගු නොවන අතර 2017 ඔක්තෝබර් මස 27 වන දින සිට දෙපාර්තමේන්තුව වෙත යොමු කරන ඉල්ලුම්පත් සඳහා පමණක් සුහුරු කාඩ්පත ලබා දීමට කටයුතු කරන බවද එම දෙපාර්තමේන්තුව සඳහන් කරයි. 

Comments