
මහ නගර සංවර්ධනය යටතේ කොළඹ කොටුව සහ බත්තරමුල්ලේ බහුවිධ ප්‍රවාහන මධ්‍යස්ථාන දෙකක් ස්ථාපිත කිරීමට කටයුතු යොදා ඇතැයි මහානගර සංවර්ධන හා බස්නාහිර සංවර්ධන අමාත්‍ය පාඨලී චම්පික රණවක මහතා පවසයි. මේ යටතේ කොළඹ කොටුව දුම්රිය ස්ථානය කේන්ද්‍ර කර ගනිමින් ප්‍රවාහන මධ්‍යස්ථානයේ පළමු පියවර චාමර්ස් ගැලරි ඉඩමේ ‘Colombo Gate’ ලෙස ඉදිකිරීම් කටයුතු ආරම්භ කිරීමට කටයුතු යොදනු ලබන බවත් එම ස්ථානයේ බස් රථ, දුම්රිය, කුලී රථ වාහන හා පෞද්ගලික රථවාහන අන්තර් සම්බන්ධ ස්ථානයක් ආරම්භ කරනු ලබන බවද ඇමැතිවරයා කීය.
දුම්රිය ස්ථානය අසල ඇති අනෙකුත් සියලු ස්ථාන ඉවත් කරනු ලබන බවත් ගුණසිංහපුර හා බැස්ටියන් මාවත ඇතුළු සියලු බස් රථ පර්යන්ත එක් ස්ථානයක ස්ථාන ගත කරනු ලබන බවද ඇමැතිවරයා පෙන්වා දුන්නේය.
මේ ආකාරයෙන්ම බත්තරමුල්ලේද බහුවිධ ප්‍රවාහන මධ්‍යස්ථානයක් ඉඳි කෙරන අතර එමඟින් සුහුරුපාය, සෙත්සිරිපාය, ඉසුරුපාය කරා එන ජනතාවට බාධාවකින් තොරව තම අවශ්‍යතා ඉටු කර ගැනීමට හැකි වනු ඇතැයිද ඇමැතිවරයා කීය.
ඊට සමගාමීව කොටුව දුම්රිය ස්ථානය සිට කොල්ලුපිටිය දක්වා හා කොළඹ සිට කඩුවෙල දක්වා දිවෙන සැහැල්ලූ දුම්රිය සේවාවක් ජයිකා ආධාර යටතේ ක්‍රියාත්මක කිරීමට කටයුතු කර ඇතැයිද ඒ මහතා කීය. මේ වන විට රාජගිරිය හා බත්තරමුල්ල අතර ඇති අධික රථ වාහන තදබදයද ඒ අනුව පහව යනු ඇති බවද ඇමැතිවරයා පෙන්වා දුන්නේය.
එමෙන්ම අධිවේගී මාර්ග පද්ධතිය සම්බන්ධ කිරීම සඳහා බත්තරමුල්ල සිට නව කැලණි පාලම දක්වා අධිවේගී මාර්ගය හා සම්බන්ද විමට ගුවන් මාර්ගයක්ද ඉඳි කරනු ලබන බවත් ඒ හා සමගාමීවම ආසියානු සංවර්ධන බැංකුවේ සහයෝගය ඇතිව කැළණි නව පාලමේ සිට වරාය දෙසට ගුවන් මගින් දිවෙන මහමාර්ගයක් ඉදිකරනු පබන බවද ඒ මහතා කීය. එම මාර්ගය වරාය නගරයේ සිට භූගත මාර්ගයක් මගින් කොල්ලුපිටිය දුම්රිය ස්ථානය දක්වා සහ 'වෙරළ බඩ මාවත' (මැරයින් ඩ්‍රයිව්) දක්වා දීර්ඝ කෙරේ.