
සිංහල වන විත්ති සාහිත්‍යයේ පුරෝගාමියා ලෙස එදා සිට අද දක්වා එක සේ බුහුමනට පාත්‍ර වන මායාරංජන් කියවා ගැනීම සොඳුරු වනපෙතක සැරිසැරීම තරම් ම ආස්වාදයක් ගෙන දෙන්නක් විය. මායාරංජන් අන්වර්තිත නාමයකි. ඒ අන්වර්තිත නාමය සැබෑ නාමය ඉක්මවා ජනගත වූයේය. මහානාම රාජපක්ෂ නාමය හුදු නීතිමය ලේඛන සඳහා භාවිත වූ නාමයක් පමණක් ම විය. එයින් ගම්‍ය වන්නේ මායාරංජන් මැවූ වනපෙත අසිරියත් සාහිත්‍ය රසයත් විසින් පාඨක ලෝකයේ හදවත් හි ඔහු වීරයකු බවට පත් කරනු ලැබූ බව ය.
ලෙනාඩ් වුල්ෆ්, ආර්. ඇල්. ස්පිට්ල් වැනි විදේශික ලේඛකයන්ගේ කෘති ඔස්සේ අපේ ග්‍රාමීය කතා කියැවූ අපට අපේ ම බසින් අප ගැන ලියූ ලේඛකයා අගය කට යුතු නොවිණිදැයි වරෙක සිතෙයි. සියනෑ කෝරළයේ උපත ලබා ගුරුවරයකු ලෙස දිගාමඩුල්ලට පැමිණි මායාරංජන් දිගාමඩුලු වනපෙතට පෙම් කිරීම නිසාම ලේඛකයකු බවට පත් වූයේය. දිගාමඩුල්ල අරුමයක් වූ නාඳුනන රසිකයාට මායාරංජන් නිසා ම, අස්සක් මුල්ලක් නෑර එහි උපන්නවුන් සේ සරන්නට හැකියාව ලැබිණි.
දිගාමඬුල්ෙල් ආශ්චර්යයෙන් ඇරඹි සාහිත ගමන එහිම දිගුවක් වූ මගේ රාජ්‍යය හා පිටිසර මිනිස්සු ලෙසින් කෘති යුගලයක් ව තව තවත් ප්‍රසාරණය වූ අතර ම ඊට අමතර ව ස්වතන්ත්‍ර ලේඛන 14 ක් ද පරිවර්තන කෘති 4 ක් ද ඔහු, ඒ ගමනට එක් කළේය.
මායාරංජන්ගේ බස සරල ය; සුගම ය; නිරවුල් ය. එය විවිධ පරිකල්පනීය ඉසව් මවමින් එය කියවන පාඨකයන් වනාන්තර ලෝලීන් බවට පත් කරයි. ඒ සියල්ල ඔහු කරන්නේ දිගාමඩුලු වැසියකු ලෙස ඉපිද නොවේ. ඉංග්‍රීසි, සිංහල භාෂා ද්විත්වය ම මනා සේ නිපුණ ව භාවිතයේ හපන් ඔහු වනාන්තරයට වදින්නේ නම් අමු ම අමු ගැමියකු ලෙසිනි. එනිසාම රස නුසුන් නොකොට, ආලවට්ටම් දමා ඔප නොකොට යථාවාදී ව දිගාමඩුල්ල දක්නට විඳින්නට අපට අවකාශ විවර වූයේය.
සිළුමිණ සත්මඬල මේ අපූර්ව අනන්‍ය ලේඛකයා සොයා යන්නේ ඔහු සතු මේ නිසඟ ප්‍රතිභාව හා විශිෂ්ටත්වය නිසා ම ය. සත්මඬල සෑම මසක ම අවසන් සතියේ නිකුත් කරන විශේෂ අතිරේක මාලාවේ දහහතරවැන්න ‘ මායාරංජන් විමර්ශන‘ ලෙසින් නම් වන්නේ ඒ අපූර්ව ලේඛකයාගේ ස්වීයත්වය වත්මන් පරපුරට දයාද කර දීම පිණිස ය. සත්මඬල සැම විට ම ශාස්ත්‍රාභිලාෂී ඔබ ආනන්දයෙන් ප්‍රඥාව කරා ගෙන යන්නට යත්න දරනා බැව් ඔබ දනියි.
මායාරංජන් සොයා යෑම එතරම් පහසු කාර්යයක් වූයේ නැත. ඒ ආයාසකර කාර්යය වෙහෙසක් එක් නොකොට ආනන්දයක් ම එක් කළේ මනසින් අතීත වනපෙතට යන්නට අපට ලැබුණු අවස්ථාව හේතුවෙනි. මහරගම සමන් ප්‍රකාශන ලෙසින් මුද්‍රණාවාරයෙන් නිකුත් වූ මායාරංජන් කෘති පසුකාලීන ව තවත් ප්‍රකාශකයන් කිහිපදෙනකුගෙන් ම අපට කියවන්නට ලැබිණි. තැනින් තැන විසිරී පැතිරී තිබූ මායාරංජන් කෘති සියල්ල ම එක ම ස්ථානයකදී සූරිය ප්‍රකාශන ලෙසින් දැන් ඔබට ලබා ගත හැකිය. මේ අතිරේකය සම්පාදනය කිරීමේ ලා අවශ්‍ය තොරතුරු ලබා ගැනීමට ඒ මුද්‍රිත පිටපත් අප වෙත ලබා දීම වෙනුවෙන් සූරිය ප්‍රකාශන අධිපති අතුල ජයකොඩි මහතාට අපගේ ස්තූතිය හිමි වේ.
අප මායාරංජන් සොයා යෑමේ මුල් අඩිය තැබුවේ මීට පෙර මායාරංජන් සොයා ගිය දිගාමඩුල්ලේ ම උපත ලබා ගුරුවරයකු ලෙස සියනෑ කෝරළයට පැමිණ, ජනශ්‍රැතියට පෙම් බඳින ගුණසේකර ගුණසෝමයන් සමඟිනි. ඔහු විවර කර දුන් මාවත පැහැදිලි කියැවීමකට ඔබ ව රැගෙන යන්නට ඉඩ සැලසුවේ ය. අපේ කම සොයා යන, ඒවා මතු පරපුරට දායාද කරන්නට භෞතික සම්පත් ගැන අබමල් රේණුවක තැකීමකින් තොර ව කටයුතු කරන මහින්ද කුමාර දළුපොත ජනශ්‍රැතිවේදියා මායාරංජන් නිවැරදි ව කියවා ගන්නට අපට මඟ පෙන්වූ තවත් විද්වතෙකි. ඔවුන් දෙපළට ම අපේ විශේෂ ස්තූතිය හිමි වන්නේ පාඨක ඔබට සාධාරණයක් කරන්නට ඔවුන්ගෙන් ලද මඟ පෙන්වීම නිසා ය.
දිගාමඩුලු වනපෙත මෙරට පාඨකයාට අතපොවන මානයේ බිම්කඩක් තරමට සමීප කළ, මායාරංජන් නමැති අපූර්ව ලේඛකයාගේ ලේඛන වියමන, ජීවන වියමන කියවා ගැන්මට සිළුමිිණ සත්මඬල අපි, ඔබට ඇරියුම් කරන්නෙමු.