දකුණු මුහුදට කඩා වැටුණේ උල්කාශ්මයක් | සිළුමිණ

දකුණු මුහුදට කඩා වැටුණේ උල්කාශ්මයක්

 පසුගිය බදාදා රාත්‍රී අටයි තිහ පසුවූවා පමණි. ඒ වන විටත් දකුණු පළාතේ සමුද්‍රාසන්න කලාපයේ නිවැසියෝ රාත්‍රී නිහැඬියාව මැද නින්දට සූදානම් වෙමින් සිටියහ. එක්වරම ඔවුන්ට ඇසුණේ අහසේ සිට යමක් පොළොවට ඇද වැටෙන හඬකි. එය එකවරම අහස පොළොව මතට කඩා වැටෙන්නාක් වැනි අකුණු හඬක් මෙන්ද විය. ඒ සමඟින් නිවෙස්වලින් පිටතට දිව විත් අහස බැලූ ඇතැම් දෙනා දුටුවේ ගිනි ගත් බෝලයක් වැනි යමක් මුහුද දෙසට ඇද වැටෙන බවකි. ඒ කුමක්දැයි සොයා ගැනීමට බොහෝ දෙනා වෙහෙස ගත් අතර මේ වන විට ඒ ආලෝකය සහ ශබ්දය සමග අහසේ දිස් වුණු වස්තුව උල්කාෂ්මයක් ලෙස හඳුනාගෙන තිබේ.

ගාල්ල, මාතර, අකුරැස්ස, දෙනියාය මෙන්ම නෙළුව, තවලම වැනි ප්‍රදේශවලත් බස්නාහිර පළාතේ වෙරළ ආශ්‍රිතව ජීවත් වන ජනතාවටත් මේ උල්කාශ්මය කඩා වැටෙන අන්දම දැක ගැනීමට ලැබී තිබේ.

පසුව මේ සම්බන්ධව අදහස් දක්වමින් කොළඹ විශ්වවිද්‍යාලයේ භෞතික විද්‍යා අධ්‍යයනාංශයේ මහාචාර්ය චන්දන ජයරත්න ප්‍රකාශ කර ඇත්තේ මෙලෙස කඩා වැටී ඇත්තේ උල්කාශ්මයක් බවයි.

උල්කාපාත සහ උල්කාශ්ම අතර පැහැදිලි වෙනස් කම් පවතින අතර උල්කාශ්ම ප්‍රමාණයෙන් විශාල වේ. මේ උල්කාශ්ම අභ්‍යවකාශයේ ඝන වස්තු ලෙස පා වෙමින් තිබෙන අතර පෘථිවියේ පසු කරමින් සෞරග්‍රහ මණ්ඩලයේ ඈතට ගමන් ගන්නා විට උල්කාශ්මවලින් පිරී ගිය කලාපයක් හමුවේ. ඇස්ටරොයිඩ් කලාපය ලෙස මේ කලාපය හඳුන්වන අතර මේ කලාපය පසු කිරීමෙන් පසු බහස්පතී සහ සෙනසුරු වැනි විශාල ග්‍රහලෝක හමුවේ. මේ ඇස්ටරොයිඩ් අතර ප්‍රමාණයෙන් අති විශාල ඒවාද ඉතාම කුඩා ඒවාද වේ. මේ ඇස්ටරොයිඩ එකම කක්ෂයක ගමන් ගනිමින් පැවතීමද සුවිශේෂ ලක්ෂණයකි.

ඇතැම් විට ‍මේ ඇස්ටරොයිඩ තම කක්ෂයෙන් ඉවත් වීමක්ද සිදු විය හැකි අතර ඒ සඳහා ආසන්නයේ ඇති විශාල ග්‍රහලෝකයක ගුරුත්වයද හේතු විය හැකිය. එවැනි අවස්ථාවකදී අදාළ ගුරුත්වය විසින් ඇස්ටරොයිඩය තමන් වෙතට ඇද ගැනීමක් වුවද විය හැකිය. එසේ නොමැතිව කක්ෂයෙන් ඉවත්වන ඇස්ටරොයිඩයක් ආසන්නයේ ඇති ග්‍රහලෝකයක ගුරුත්වය හේතුවෙන් ඒ වෙත ඇදී ඒමට වුවද ඉඩ ඇත. එවැනි අවස්ථාවක ග්‍රහලෝකයේ වායුගෝලයට ඇස්ට‍රොයිඩය ඇතුලු වන අවස්ථාවේදී වායුගෝලය සමග ගැටීමෙන් එය ගිනි ගැනීමට ලක් විය හැකිය. එමෙන්ම එහි උෂ්ණත්වය සහ පීඩනය වෙනස් වීමෙන් ක්ෂණික පිපිරීමකට ලක් වීමට වුවද ඉඩ ඇත.

පසුගියදා දකුණු මුහුද ප්‍රදේශයෙන් ඇසුණු ශබ්දයට අනුව අනුමාන කළ හැකි වන්නේ අප මුහුදු තීරයට පතිත වූ උල්කාශ්මයද එවැනි පිපිරීමකට ලක් වන්නට ඇති බවයි. බොහෝ උල්කාපාත වායු ගෝලයට අතුළු වූ සැනින් වියැකී ගියද ප්‍රමාණයෙන් විශාල උල්කාෂ්ම එසේ වන්නේ නැත. එබැවින් උල්කාශ්ම පොළොවට කඩා වැටෙන අන්දම මිනිසාට දැක ගැනීමට ලැබේ. පෘථිවියේ බොහෝ තැන්වලින් මෙවැනි උල්කාශ්ම ඇද වැටීම් අසන්නට ලැබෙන අතර ලංකාවේද මීට පෙර ස්ථාන කිහිපයකින්ම උල්කාශ්ම අැද වැටීම් වාර්තා විය. පසුගිය කාලයේදී අරලංගවිලට අැද වැටුණේද එවැනි උල්කාශ්මයක් ලෙස හඳුනාගෙන තිබේ.

කෙසේවුවද දකුණු ප්‍රද‍ේශයේ පසුගියදා දක්නට ලැබුණු උල්කාෂ්මය මුහුදට ඇද වැටුණු බවක් අනුමාන කළ හැකිය. එසේ නොමැතිව ගොඩබිමට ඇද වැටුණු උල්කාශ්ම කැබලි කිසියම් ලෙසකින් හමුවූයේ නම් ඒවා අල්ලන්නට යෑම එතරම් හිතකර නොවන බවද ප්‍රකාශ වී තිබේ. මේවා අභ්‍යවකාශයේ සිට පැමිණෙන වස්තූන් බැවින් හඳුනා නොගත් මිනිසාට අහිතකර බොහෝ දේ අන්තර්ගත විය හැකි වීම ඊට හේතුවයි.

 ටිරෝනි වෑවලගේ 

Comments