
බොහෝ දෙනා අපරාධවලට යොමුවන්නේ මුදල් නිසාය. කලක් මහා බියක් මැවූ සුදු වෑන් සංස්කෘතිය නව රජය බලයට පත්වීමත් සමඟ නැති වී ගියේය. ඉන්පසු කරලියට ආවේ ෆුල් ෆේස් හෙල්මට් මංකොල්ලය. විවිධ අණ පනත් සම්මත වුවද තවමත් ෆුල් ෆේස් හෙල්මට් දමා සිදු කරන අපරාධ කොතෙකුත් අසන්නට දකින්නට ඇත. මිනිසුන් දුක් මහන්සියෙන් හරි හම්බ කරගන්නා දේ මෙලෙස විවිධ ක්‍රම හරහා සොරාකන්නට අද කොල්ලකරුවෝ ක්‍රම හා ශිල්ප සොයා ගෙන ඇත්තාහ. ඒ අතරින් රන් භාණ්ඩ කොල්ල කෑම් ද රට පුරා නන් දෙසින් වාර්තා වේ. මෙයද අමුතුම ආකරයකට සිදුවූ රන්මාල සොරකමක් ගැන කතාවකි.
එම සිදුවීම අපට අසන්නට ලැබුණේ ගල්ගමුව ගිරිබාව ප්‍රදේශයේදීය. ගිරිබාව ප්‍රාථමික පාසල මහව අධ්‍යාපන කලාපයට අයත් කුඩා පාසලකි. දිනය පසුගිය මැයි මස 16 වැනිදාය. වේලාව පෙරවරු එකොළහට පමණ ඇත. කුඩා දරුවෝ පංති කාමර පුරා කෑ කෝ ගසමින් අකුරු කරති. එහෙත් මේ සියල්ල පාසල ආසන්නයේ සිටි පුද්ගලයෙකුගේ උකුසු ඇසින් නිරීක්ෂණය වන වගක් පාසලේ කිසිවෙක්වත් දැන නොසිටියහ. ගිරිබාව ප්‍රාථමික පාසලත් ගිරිබාව කොට්ඨාශ අධ්‍යාපන කාර්යාලත් අතර රැකවල්ලා සිටි කොල්ලකරු සියල්ල නීරීක්ෂණය කරයි. ඒ නිරීක්ෂණය පැයකට ආසන්න කාලයක් පුරා සිදුවූ බව සැවොම දැනගත්තේ සියල්ල සිදු වී හමාර වූ පසුවය. දැඩි අවධානයෙන් පාසල දෙස බලා සිටි කොල්ලකරු පන්ති කාමරයකට කඩා වැදුණේ කාටත් හොරාය. ඒ පාසලේ කෙළවරටම වන්නට පිහිටි පළමු වැනි ශ්‍රේණියේ පන්ති කාමරයටය.
බියපත් වූ කුඩා දරුවෝ එක්වරම යකකු දුටුවාක් මෙන් බියපත්ව “පංතියට යකෙක් ආවෝ” යැයි කියමින් මහා හඬින් බෙරිහන් දෙමින් පන්තිය පුරා දුවන්නට වූහ. තම ආදරණීය ගුරුතුමිය මරන්නට යකෙක් ආවෝ යැයි කියමින් ඒ කුඩා දරුවෝ මරළතෝනී දෙන්නට වන්හ. එහෙත් කොල්ලකරුගේ හැඩි දැඩි සිරුරත් කළු පැහැයෙන් ආවරණය වූ මුහුණත් ඉදිරියේ ගුරුතුමියද භ්‍රාන්ත වූවාය. කොල්ලකරුවා පැමිණියේ තම රන් භාණ්ඩ කොල්ලකෑමට යැයි ඇයට සිතුණද ඇයට යමක් කිරීමට කාලයක් නොතිබිණි. ඇය සිතුවාක් මෙන් කොල්ලකරු එක්වරම ගුරුවරිය දෙසට උල් පිහියක් දිගු කොට ඇගේ ගෙල බැඳි මාලය කඩා ගැනීමට වෙර දැරුවත් ගුරුවරියගේ වෑයම නිසා කොල්ලකරුගේ අතට හසුවූයේ රන් මාලයේ අඟල් 7 ක පමණ කොටසක් පමණි.
“මම හොරා එක්ක පොර බදන ගමන්ම ළමයිනේ එළියට දුවන්න කියා කෑගැහුවා. ඒත් ළමයි මාව දාලා ගියෙ නෑ. යටිගිරියෙන් කෑ ගගහා මුළු පන්තිය පුරාම දිව්වා. ඒත් එක්කම වගේ තමා මගේ පන්තියට එහා පැත්තෙ පන්තියේ හිටපු මිස් මගේ පන්තියට අවේ. මගෙත් එක්ක පොර බදමින් සිටි හොරා ඒ එක්කම පන්තියෙන් පැනලා යන්න ගියා. ඒ යද්දි මගේ පන්තියට ආව මිස් හිටියෙ දොර ළග. එයාගේ මාලෙත් කඩා ගන්න හැදුවත් හදිස්සිය නිසා ඒ මාලේ කඩා ගන්න බැරි වුණා. මගේ අතේ තිබුණා මුදු දෙකක් මගෙත් එක්ක පොර බදන අතරේ ඒ මුදු දෙක ගලවගෙන තියනවා. රුපියල් 45000 ක් විතර වටිනවා මුදු දෙක. මේ හොරා ආවේ ජීවිත හානියක් කරන්න නෙමේ. එහෙම ඕනෑ කමක් තිබුණානම් අතේ තිබූ පිහියෙන් මට අනින්න තිබුණා. පවුම් 02 ක විතර මාලයක් තමා මගේ කරේ තිබුණේ. සැලසුම් කරලා කරනවා ඇරෙන්න නොදන්න කෙනෙකුට මෙහෙම දෙයක් කරන්න බෑ.” යනුවෙන් සිද්ධියට මුහුණ දුන් එච්. එම්. නදීශා ගුරුතුමිය කීවාය.
කෙසේ වෙතත් එදිනම සවස ගිරිබාව පොලිස්ථානයේ පැමිණිලි පොතේ නාඳුනන පුද්ගලයකු විසින් සිදු කරන ලද රන් භාණ්ඩ මංකොල්ලයක් සම්බන්ධයෙන් පැමිණිල්ලක් සටහන් විය. සිද්ධිය සිදුවූ වහාම පොලිස් නිලධාරීන් පාසලට පැමිණියද ඒ වන විටත් මංකොල්ලකරු පැමිණි යතුරු පැදිය අස්ප වේගයකින් පලා ගොස් තිබිණි. එහෙත් ගිරිබාව පොලිස්ථානාධිපති කේ.වී.පී.සී. දීපාල් මහතා මෙය ලෙහෙසියෙන් අත්හැරියේ නැත. ඔහු වහාම අනෙකුත් පොලිස්ථානද දැනුම්වත් කර මාර්ගයන්හි පොලිස් නිලධාරීන් දමා පරීක්ෂා කරන්නට විය. එහෙත් පොලීසීය සිතූ තරම් ඉක්මනින් සැකකරු අත්අඩංගුවට ගැනීමට හැකි වූයේ නැත.
කාලය දින සති මාස ගණනින් ගෙවී ගියේය. මංකොල්ලය සිදු වී දින කිහිපයකින් තවත් රන් භාණ්ඩ මංකොල්ලයක් ගිරිබාවේම සිදු විය. එදින ද පොලිස් ඇසට වැලි ගසා මංකොල්ලකරු පලා ගියේය. ඉන් පසු කාලයක් යන තුරුම එවැන්නක් පිළිබද ගිරිබාව පොලීසියේ පැමිණිලි පොතේ කිසිදු පැමිණිල්ලක් සටහන් වූයේ නැත. එහෙත් විවිධ පොලිස්ථානවලින් රන් භාණ්ඩ කොල්ලකෑමේ පැමිණිලි එකින් එක මතුවිය. එම සිදුවීම් පිළිබඳ පොලිසියට ඇති වූයේ ප්‍රහේලිකාවකි. පොලිස් ඇස වහා ක්‍රියාත්මක විය.
එදින ඔක්තෝබර් 09 වැනිදාය. තඹුත්තේගම ප්‍රදේශයේ මාර්ගයක ගමන් කරමින් සිටි එක්තරා කාන්තාවකගේ ගෙල බැඳි රන් මාලය කඩා ගෙන ගිය බවට වූ පුවතක් ප්‍රදේශය පුරාම පැතිර ගියේ විදුලි වේගයෙනි. එදිනද සොරුන් පැමිණි යතුරු පැදිය වේගයෙන් පලා ගොස් තිබිණි. එහෙත් මංකොල්ලකරුවන් නොසිතූ අයුරින් එකකුගේ ජංගම දුරකතනය අදාළ සිද්ධිය සිදු වූ ස්ථානයට නුදුරින් බිම වැටිණ. හැරෙන්නට වේලාවක් නැති නිසා මංකොල්ලකරුවෝ වේගයෙන් ඉදිරියට ඇදුණහ. ඉන් පොලිසියට හොඳ පොටක් පෑදිණ.
තලාව, තඹුත්තේගම, ගල්ගමුව, නොච්චියාගම මෙන්ම ගිරිබාව යන පොලිස්ථානවලට ලද රන් භාණ්ඩ මංකොල්ලකෑම් පැමිණිලි 12 කට මෙම පුද්ගලයන් දෙදෙනා වරදකරුවන් බව දුරකතන දත්ත ඔස්සේ කළ පරික්ෂා කිරීම්වලදී හෙළි විය. සැකකරුවන් සොයා පරීක්ෂණ ආරම්භ වූයේ ඉන් පසුවය. ඒ වෙද්දී එක් සැකකරුවෙක් ප්‍රදේශය අතහැර පලා ගොස් සිටියේය. ඔහු දිනේෂ් නමැති ගල්කිස්ස ප්‍රදේශයේ පදිංචි අයෙකි. අනෙක් සැකකරු අජිත් නමැති මකුලෑව ප්‍රදේශයේ පදිංචිකරුවෙකි. පොලිස් නිලධාරීන් මකුලෑවේ සැකකරු වෙත කඩා පැන්නේ කරුණු සියල්ලම තහවුරු කර ගැනීමෙන් පසුවය. එදින ඔහු වෙනත් ප්‍රදේශයක පිහිටි සිය බිරියගේ නිවෙසේ සැඟව සිටියදී තඹුත්තේගම පොලිසියේ අපරාධ අංශයේ නිලධාරීන් විසින් අත්අඩංගුවට ගනු ලැබීය. ඔහුගෙන් ලද තොරතුරු ඔස්සේ දිනේෂ් ද සැඟව සිටියදී අත්අඩංගුවට ගනු ලැබීය.
ප්‍රශ්න කිරීම් හමුවේ කොල්ලකරුවෝ සියල්ල හෙළි කළහ. දිනේෂ් 1992 වසරේ උසස් පෙළ විද්‍යා අංශයෙන් සමත්ව ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ වෛද්‍ය පීඨයට ඇතුළත්ව සිටි බවත්, එහි වසරකුත් මාස තුනක් අධ්‍යාපනය හදාරමින් සිටියදී වෛද්‍ය සිසුවෙකුගේ මරණයක් සම්බන්ධයෙන් වැරැදිකරු වී නිට්ටඹුව, වතුපිටිවල පිහිටි තරුණ වරදකරුවන්ගේ අභ්‍යාස එළිමහන් විද්‍යාලයේ වසර 03 ක් පුනුරුත්ථාපනය ලද අයකු බවත් පොලිස් පොතේ මුලින්ම සටහන් විය. දෛවයේ සරදමකට මෙන් සැකකරු එහි සිටි කාලයේදී අධික ලෙස හෙරොයින් පානයට ඇබ්බැහි වී ඇත්තේය. නිදහස ලබා සමාජයට පැමිණි ඔහු සමාජයෙන් කොන්වීමත් සමඟ තීරණය කළේ රටෙන් බැහැරවීමටය. ඔහුගේ මව හා පියා ඒ වනවිටත් එංගලන්තයේ වෛද්‍යවරුන් ලෙස සේවය කරමින් සිටියහ. එංගලන්තයට ගිය දිනේෂ් 'ඔක්ස්ෆර්ඩ්' විශ්වවිද්‍යාලයට ඇතුළත්ව වසර 03 ක් ගායනය හා වාදනය පිළිබඳ උපාධිය දිනාගෙන ඇත. පසුව මාස 09 කට ආසන්න කාලයක් එංගලන්තයේ රැකියාවක නිරතව සිටියදී එම රටේ දී රථවාහන නඩුවකින් වැරැදිකරු වීම නිසා එංගලන්තයෙන් පිටුවහල් කෙරිණි. ඒ 2003 වසරේදීය. ඉන් පසු ලංකාවට පැමිණ සිටියදී 2005 වසරේ දී පාසලක සිදු වූ කිසියම් සිදුවීමක් සම්බන්ධයෙන් නැවතත් ඔහු කොළඹ මැගසින් බන්ධනාගාර ගත වන්නේ වසර එක හමාරක කාලයකටය. ඉන් නිදහස ලබා පැමිණෙන ඔහු 2008 සිට 2014 දක්වා වසර හතක කාලයක් පුරා කුවෙට්, බහරේන්, කටාර්, සවුදි වැනි රටවල්වල විවිධ රැකියාවල නිරතව සිට තිබේ. රාජාංගනය ප්‍රදේශයේ තරුණියක හා විවාහව සිටින ඔහු දෙදරු පියෙකි. සවුදි රටේදී මෙම සැකකරු වෙනත් කාන්තාවක හා අනියම් සබදතාවක් ද ඇති කර ගෙන ඇතැයි පොලිස් පොතේ සටහන්ව ඇත.
දිනේෂ් ට අජිත් මුණගැසී ඇත්තේ තඹුත්තේගම නගරයේ පිහිටි බාබර් සාප්පුවක දීය. ඒ 2015 වසරේදීය. ක්‍රමයෙන් වැඩුණු ඒ මිතුදමේ ප්‍රතිපලය වූයේ දෙදෙනාගේම ජීවත ආගාධයට වැටීමය. දැඩි ලෙස හෙරොයින් භාවිතයට ඇබ්බැහි වූ ඔවුන්ට හෙරොයින් මිලට ගැනීමට මුදල් අවශ්‍ය විය. එහි අවසන් ප්‍රතිඵලය වූයේ දෙදෙනා එක්ව රන් මාල කොල්ලකෑමය. ඔවුන් කොල්ලකෑ රන් භාණ්ඩ විවධ ප්‍රදේශවල උකස් පොළවලට උකස්කර තිබියදී පොලිසිය මගින් සොයා ගනු ලැබිණි.
අජිත් ද ප්‍රදේශ කීපයකම සිදුවූ අපරාධ සම්බන්ධයෙන් අවශ්‍යව සිටි අයෙකි. මීට දෙමසකට පමණ පෙරදී හොර මුදල් නෝට්ටු මුද්‍රණය කිරීමේ චෝදනාවක් පවා ඔහුට එරෙහිව වෙයි. ඔහු පිටරටින් මුදල් නෝට්ටු අච්චු ගැසීමේ යන්ත්‍ර පවා ගෙනැවිත් තිබූ බවට පොලීසිය කරුණු සනාථ කරගෙන ඇත.
කෙසේ හෝ ගිරිබාවේ සිද්ධිය වී මාස 04 ක් යෑමටත් පෙර සැකකරුවන් නීතියේ රැහැනට හසුකර ගැනීමට පොලිසිය සමත් විය.
සිද්ධිය සිදු වී මාස පහක් ගෙවී ගියත් ගිරිබාව පාසලේ පිටුපස ආනාරක්ෂිත වැට තවමත් ඉදිවී නැත. සොරා පැමිණියේ පාසලේ පිටුපස වූ කෝටු වැටෙන් පැනය. නමුත් අදටත් ඒ කෝටු වැට එසේමය.
තඹුත්තේගම මූලස්ථාන පොලිස් පරීක්ෂක සමන් ප්‍රියන්ත මහතාගේ උපදෙස් මත ක්‍රියාත්මක වෙමින් අපරාධ විමර්ෂණ අංශයේ ස්ථානාධිපති පොලිස් පරීක්ෂක එස්.බී.දිසානායක මහතාත්, පොලිස් කොස්තාපල්වරුන් වන ජයතිලක(5403), ඒකනායක(66699), කුමාර(36358), දුමින්ද(38781) ඇතුළු නිළධාරීන් සැකකරුවන් නීතියේ රැහැනට හසු කර ගැනීමට දැඩි පරිශ්‍රමයක් දරා ඇත. එමෙන්ම ගිරිබාව පොලිස්ථානාධිපති කේ. වී. පී. සී. දීපාල් මහතාගේ මැදිහත් වීම මත අදාල සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර පරීක්ෂණ සිදු වෙමින් පවතී.
එම්. එම්. ක්‍රිෂාන්
ගල්ගමුව සමූහ