බෝම්බ ගැසීම එදා සහ අද | සිළුමිණ

බෝම්බ ගැසීම එදා සහ අද

 පාර්ලිමේන්තුවට බෝම්බ ගැසිය යුතුයැයි ජාතික නිදහස් පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ මහතා ප්‍රකාශ කර තිබිණි. මහත් ආන්දෝලනාත්මක ප්‍රකාශයක් වූ මෙයත් සමඟ ම රටේ යම් තිගැස්මක් ඇති වූ බව පෙනෙන්නට තිබිණි. එය වඩාත් ප්‍රබල ව දැනුණු විමල් වීරවංශ මහතාගේ පක්ෂයේ සාමාජිකයන් ද එයට ‍එරෙහිව ප්‍රකාශ නිකුත් කරන්නට විය.

"මේ ප්‍රකාශයෙන් පක්ෂයේ ජාතික සංවිධායක හැටියට මම තැති ගැනීමකට ලක්වුණා. මොකද මේ ප්‍රකාශය බොහොම බලවත් බරපතළ ප්‍රකාශයක් නිසා.......... විමල් වීරවංශ මහත්තයා කර ඇති මේ ප්‍රකාශය ඇත්තට ම වැරදි ප්‍රකාශයක්" යනුවෙන් එම පක්ෂයේ ම පියසිරි වි‍ජේනායක මහතා විමල් වීරවංශ මන්ත්‍රීවරයාට චෝදනා එල්ල කරමින් පවතී.

මෙවැනි පසුබිමක පාර්ලිමේන්තු බෝම්බ සම්බන්ධ අතීත සිදුවීමක් ද බොහෝ දෙනා මතකයට නැ‍‍ෙඟන්නට විය. දෛවෝපගත ආකාරයෙන් එයට චෝදනා ලැබුයේ ද විමල් වීරවංශ මහතාගේ ‍ඥාතියකු වන අජිත් කුමාර නමැත්තා ය.

1987 වර්ෂය උදාවන විට මෙරට උදාවෙමින් පැවැතියේ යහපත් දේශපාලන වාතාවරණයක් නො වේ. එක් අතකින් උතුරේ එල්.ටී.ටී.ඊ ත්‍රස්තවාදය දරුණු වෙමින් පැවැති අතර එය කොළඹට ද දැවැන්ත තර්ජනයක් එල්ල කරමින් පැවැතිණි. දකුණේ ජනතා විමුක්ති පෙරමුණ ද අවි අමෝරාගෙන සිටියේය.

මෙකල ශ්‍රී ලංකා හමුදාව සුප්‍රකට වඩමාරච්චි මෙහෙයුම ආරම්භ කර තිබිණි. එය දියත් වූයේ ලලිත් ඇතුළත්මුදලි මහතාගේ අධීක්ෂණය ය‍ටතේ ය. එම මෙහෙයුම නිසා එල්.ටී.ටී.ඊ. සංවිධානය දරුණු පසුබෑමකට ලක්විය. මෙහෙයුම තමන්ට තවත් දින කිහිපයකට වඩා අල්ලාගෙන සිටිය නොහැකි බව ප්‍රභාකරන් විසින් ම ප්‍රකාශ කර තිබිණි. මේ තත්ත්වය අතරතුර ඉන්දියාව ලංකාවට බලපෑම් කිරීමට පෙල‍ඹිණි. එසමඟ ම මෙහෙයුම නවතා දමන ලෙස ජනාධිපති ජේ.ආර්. ජයවර්ධන මහතා කියා සිටි අතර මේ නිසා ලලිත් ඇතුළත්මුදලි මහතා සහ ජනාධිපතිවරයා අතර යම් මත ගැටුමක් ද නිර්මාණය වී තිබිණි. කෙසේ හෝ වඩමාරච්චි මෙහෙයුම හෙවත් විමුක්ති මෙහෙයුම නතර වන අතර තවත් කෙටි කලකින් ඉන්දු ලංකා ගිවිසුම අස්සන් කිරීමට අවශ්‍ය කටයුතු සූදානම් කෙරිණි. ඉන්දු - ලංකා ගිවිසුම අස්සන් කිරීමට ලංකාවට පැමිණි ඉන්දීය අගමැති රජීව් ගාන්ධි මහතා ලංකා හමුදා භටයකුගේ ප්‍රහාරයකට පවා ලක්විය. ඉන්දු - ලංකා ගිවිසුමට යෝජිත කරුණු වලට ජනතා විමුක්ති පෙරමුණ විරෝධය පළ කළ අතර ඔවුන් ජනාධිපති ජේ.ආර්. ජයවර්ධන මහතාට මරණය පවා නියම කර තිබිණි. කෙසේ වෙතත් 1987 ජූලි 29 වැනිදා ඉන්දු - ලංකා ගිවිසුම අස්සන් කෙරිණි.

1987 අගෝස්තු 18 වැනිදා උදාවූයේ මෙවැනි දේශපාලන පසුබිමක් පවතින අතරතුර ය. එදින ඉන්දු ලංකා ගිවිසුම අස්සන් කිරීමෙන් පසුව මුල් ම පාර්ලිමේන්තු සැසිය පැවැත්වීමට නියමිතව තිබිණි. එදින ම, ඊට ප්‍රථමයෙන් ආණ්ඩු පක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ රැස්වීම පැවැත්වීමට නියමිතව තිබිණි. ඒ අනුව පෙ.ව. 8.40ට රැස්වීම ඇරඹුණු අතර, එයට මන්ත්‍රීවරුන් 120ක් පමණ සහභාගි වී සිටි බව වාර්තා විය. රැස්වීම ආරම්භයට පෙර විනාඩි දෙකක නිශ්ශබ්දතාවක් ආරක්ෂා කෙරුණේ, ඊට දින ගණනාවකට පෙර ජනතා විමුක්ති පෙරමුණ විසින් ඝාතනය කරන ලදැයි සැලකුණු පාර්ලිමේන්තු මන්ත්‍රී ජිනදාස වීරසිංහ මහතා සිහිකිරීම සඳහා ය. පසුව ආරම්භ වුණු සාකච්ඡාව ඉදිරියට යන්නට විය. මෙහිදී පාර්ලිමේන්තු මන්ත්‍රී ඒ. ඩී. බී. ඒකනායක මහතා සභාව අමතමින් සිටියේ ය. පාර්ලිමේන්තු නිලධාරියකු වූ ‍නෝර්බට් සේනාධීර මහතා අගමැති රණසිංහ මහතා දෙසට නැඹුරුව යමක් ප්‍රකාශ කළේ ය. යාබද කාම‍රයේ සිටි අයකු හදිසියේම බොම්බ ප්‍රහාරයක් එල්ල ‍කරන්නේ මේ අවස්ථාවේදී ය. බෝම්බ දෙකම ජනාධිපති ජේ.ආර්. ජයවර්ධන මහතා සහ අගමැති රණසිංහ ප්‍රේමදාස මහතා වාඩිවී සිටි ස්ථානයට පතිත වීමෙන් අනතුරව පොළා පැන ජාතික ආරක්ෂක ඇමැති ලලිත් ඇතුළත්මුදලි මහතා සහ මාතර දිස්ත්‍රික් මන්ත්‍රී කීර්ති අබේවික්‍රම මහතා අසුන් ගෙන සිටි ස්ථානයට ගොස් පුපුරා ගියේ ය.

රැස්වීමට සහභාගිවී සිටි අය පසු ව ප්‍රකාශ කර ඇති පරිදි, එල්ල වූ ප්‍රහාරයත් සමඟ ම බොහෝ මන්ත්‍රීවරු සිතා ඇත්තේ පාර්ලිමේන්තුව දැවැන්ත ප්‍රහාරයකට ලක්වන බවයි. ඒ අනුව බොහෝ පිරිසක් රැස්ව සිටි කාමරයෙන් පිටවීම සඳහා ලී පුටු භාවිත කරමින් වීදුරු බිඳ වාහන වලින් පිටමං කරන ලදී. පිපිරීමෙන් දරුණු ලෙස තුවාල ලබා සිටි පාර්ලිමේන්තු මන්ත්‍රී කීර්ති අබේවික්‍රම මහතා කොළඹ ජාතික රෝහලට ගෙන යන අතර මිය ගියේය. එමෙන්ම පාර්ලිමේන්තු කාර්ය මණ්ඩල නිලධාරී නෝබර්ට් සේනාධීර මහතා ද හිසට එල්ල වී තිබුණු බරපතළ හානි නිසා මරණයට පත්විය. ජාතික ආරක්ෂක අමාත්‍ය ලලිත් ඇතුළත්මුදලි මහතා බරපතළ තුවාල ලැබීය. ඔහුත් සමඟ ගාමීණී ජයසූරිය, මොන්ටේගු ජයවික්‍රම, ඊ.එල්.බී. හුරුල්ලේ යන ඇමැතිවරු ඇතුළු 16 දෙනකු තුවාල ලැබී ය. ප්‍රහාරයෙන් ජනාධිපති ජේ.ආර්. ජයවර්ධන මහතාට කිසිදු හානියක් නොවූ අතර අග්‍රාමාත්‍ය රණසිංහ ප්‍රේමදාස මහතා සුළු තුවාල ලබා තිබිණි.

මේ ප්‍රහාරයේදී වෙඩි ප්‍රහාරයක් පවා සිදුවූ බව මුලින්ම වාර්තා විය. ඒ අනුව එක් ප්‍රහාරයක් ප්‍රේමදාස අගමැතිවරයා ඉලක්ක කරගෙන සිදූවූ බවත්, අගමැතිවරයා ආවරණය වෙන පරිදි ඔහු සමඟ කතාබහ කරමින් සිටි නිසා පාර්ලිමේන්තු නිලධාරී නෝර්බට් සේනාධීර මහතා එයට ගොදුරු වූ බව ද කියවිණි. එහෙත් පසුව අනාවරණය වූයේ එවැනි වෙඩි තැබීමක් සිදුව නොමැති බවයි.

ප්‍රහාරයෙන් පසු අගමැතිවරයා තරමක් උද්වේගශීලී‍ ලෙස හැසිරී තිබේ. එහෙත් ජනාධිපති ‍ජේ.ආර්. ජයවර්ධන මහතාගේ එම ස්ථානයෙන් බොහෝ සන්සුන් ලෙස පිටත් වූ බව වාර්තා වේ. පසුව කතා කළ ජනාධිපතිවරයා කියා සිටියේ, සිංහල ජනතාව තුළ වූ ත්‍රස්තවාදීන් මේ සිදුවීමට වගකිව යුතු බවයි. එහිදී තවදුරටත් ජනාධිපතිවරයා ජනතාවට කියා සිටියේ සන්සුන්ව සිටින ලෙසයි. එමෙන්ම මේ ප්‍රහාර‍ය රටේ පාර්ලිමේන්තු ප්‍රජාතන්ත්‍රවාදය විනාශ කිරීමට දරන ලද ප්‍රයත්නයක් ලෙස ය. ප්‍රහාරයෙන් දිනකට පසුව ජනතා විමුක්ති පෙරමුණේ සන්නද්ධ අංශය

බවට ප්‍රචලිතව පැවැති දේශවිමුක්ති ජනතා ව්‍යාපාරය ප්‍රහාරයේ වගකීම බාර ගත්තේය. එමෙන් ම කොළඹ නගරයේ පත්‍රිකා බෙදා හරිමින් ප්‍රකාශ කර තිබුණේ ඉන්දියානු ව්‍යාප්තවාදයට විරුද්ධ වන ලෙසය. එහිදී ජේ.ආර්. ජයවර්ධන ජනාධිපතිවරයා ද්‍රෝහියකු ලෙස නම් කර තිබුණු අතර ඔහුට මරණය ද නියම කර තිබිණි. එකල පැවැති ජනමාධ්‍ය වාර්තා කර තිබූ ආකාරයට දේශපාලන ස්වයංපාලනයක් ජනවාර්ගික දෙමළ ප්‍රදේශයන්ට ලබාදීම නිසා සිංහල අයිතිවාසිකම් පාවාදීම වෙනුවෙන් ඔහුගෙන් පළිගැනීමට අපේක්ෂා කරන බවය.

මේ සියල්ල අතරේ ප්‍රහාරය සම්බන්ධ පරීක්ෂණ ආරක්ෂක අංශ විසින් සිදුකරගෙන යන ලදී. ඒ අනුව පාර්ලිමේන්තුවට කෑම බීම සැපයීම කළ පෞද්ගලික ආයතනයක සේවකයකු වූ අජිත් කුමාර නමැත්තෙකු බෝම්බ ප්‍රහාරයට සම්බන්ධ බව අනාවරණය විය. කැලණිය විශ්වවිද්‍යාලයේ සිසුවකු වූ අජිත් කුමාර අතරමඟ දී විශ්වවිද්‍යාල අධ්‍යපනය හැරගොස් තිබිණි. එමෙන් ම ඔහු ජනතා විමුක්ති පෙරමුණේ ක්‍රියාකාරී සාමාජිකයෙක් විය‍. ඔහුට තිබූ සම්බන්ධතා නිසා මේ බෝම්බය පාර්ලිමේන්තුවට ගෙන ඒමට සහ කාමරයට විසි කිරීමට හැකියාව තිබුණු බව විශ්වාසය විය. එසේම මේ සිද්ධියත් සමඟ ඔහු අතුරුදන්වීම ඔහු ගැන තිබූ සැකය ත්‍රීව්‍ර කරන්නක් විය. සැකකරු ගැන තොරතුරු ලබා දෙන්නකුට රුපියල් මිලියනයක තෑග්ගක් ලබා දෙන බවද ප්‍රකාශ කෙරිණි.

ඉන් මාස කිහිපයකට පසුව 1988 අප්‍රියෙල් මාසයේදී නාවුල ප්‍රදේශයේදී ඔහු ව අත්අඩංගුවට ගන්නා ලදී. ඒ අත්අඩංගුවට ගැනීම ද සිදුවූයේ අහම්බයක ප්‍රතිඵලයක් ලෙස ය. එනම්, නීතිවිරෝධී මත්පැන් වැටලීමකට ගිය අවස්ථාවේ තවත් සිවු දෙනකු සමඟ ය. අත්අඩංගුවට පත්වීමෙන් පසුව බෝම්බ ප්‍රහාරය එල්ල කිරීම පිළිබඳ චෝදනා ගොනු කරමින් ඔවුන් නීතිය හමුවට පමුණුවන ලදි. මෙහිදී කරුණු දහයක් මත අධිචෝදනා ඔවුන්ට එල්ල කර තිබිණි. ජනාධිපතිවරයා ඝාතනයට උපක්‍රම යෙදීම, ලලිත් ඇතුළත්මුදලි මහතා ඝාතනයට උපක්‍රම යෙදීම ඇතුළු ‍චෝදනා ඒ අතර විය.

කෙසේ වෙතත් 1990 ඔක්තෝබර් 12 වැනි දින කොළඹ මහාධිකරණය විසින් ලබාදුන් ඒකමතික තීරණය අනුව පළමු විත්තිකාර අජිත් කුමාර සහ පස්වන විත්තිකරු එම්.ජේ. ගුණවර්ධන යන අය නිදහස් කෙරුණේ ප්‍රමාණවත් සාක්ෂි නොමැති වීමෙනි. එහෙත් යළිත් ඔවුන් අත්අඩංගුවට ගැනුණේ නීතිපතිවරයා විසින් නඩු තීන්දුවට එරෙහිව අභියාචනා කරන ලද හෙයිනි. එහෙත් ඔහු 1993 වර්ෂයේදී එයින් ද නිදහස් විය. කෙසේ වුව ද අද දවසේ ද එදා එල්ල වූ බෝම්බ ප්‍රහාරය ගැන කතා කළ සැණින් මතකයට නැඟෙන්නේ අජිත් කුමාර ය.

මලික් චමින්ද ධර්මවර්ධන

Comments