එජාප ශාඛා ගැන විශේෂ මෙහෙයුමක් | සිළුමිණ

එජාප ශාඛා ගැන විශේෂ මෙහෙයුමක්

ශිරෝමි අබයසිංහ

මැතිවරණ කොට්ඨාස මට්ටමින් පක්ෂයේ ශාඛා සමිති පිහිටුවා ඇති ආකාරය පිළිබඳව සත්‍ය තත්ත්වය සොයා බැලීම සඳහා විශේෂ කඩා පනින කණ්ඩායම් මැතිවරණ කොට්ඨාසවලට යැවිමට සිරිකොත එක්සත් ජාතික පක්ෂ මූලස්ථානය තීරණය කර තිබේ.

මෙම තීරණය ගෙන ඇත්තේ දිවයිනේ ඇතැම් මැතිවරණ කොට්ඨාසවල පක්ෂ ශාඛා සමිති පිහිටුවීම නියමාකාරයෙන් සිදුකර නැති බවට පැමිණිලි ලැබීමෙන් පසුවය. දිවයිනේ සියලුම මැතිවරණ කොට්ඨාසවල එක්සත් ජාතික පක්ෂ ශාඛා සමිති පිහිටුවීම නොවැම්බර් මස 01 දා වන විට අවසන් කළ යුතු බවට උපදෙස් දී තිබිණි.

පක්ෂ මූලස්ථානය විසින් දුන් උපදෙස් අනුව කඩිනමින් ශාඛා සමිති පිහිටුවීම සඳහා ඇතැම් සංවිධායකයින් නිසි ක්‍රමවේදයන් අනුගමනය කර නොමැති බවට පැමිණිලි ලැබී තිබිණි.

මේ තත්ත්වය සැලකිල්ලට ගෙන කිසිදු පූර්ව දැනුම්දිමකින් තොරව කොළඹ සිට විශේෂ කණ්ඩායම් ආසනවලට යවා ශාඛා සමිති පිහිටුවන ආකාරය පිළිබඳව සොයා බලන බව එක්සත් ජාතික පක්ෂ සන්නිවේදන බලකා අධ්‍යක්ෂ ජනරාල් සුදත් චන්ද්‍රසේකර මහතා පැවසීය.

පක්ෂ මුලස්ථානය දුන් උපදෙස් අනුව ක්‍රියා නොකර වංචනික ආකාරයට ශාඛා සමිති පිහිටවු ආසන සංවිධායකයින් පිළිබඳව වාර්තාව පක්ෂ නායක අග්‍රමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාට භාර දෙන බවද චන්ද්‍රසේකර මහතා කීය.

Comments