අහිමි වීමේ හිමි වීම... | සිළුමිණ

අහිමි වීමේ හිමි වීම...

හිමි වීම අහිමි වීම අතර ඇති සම්බන්ධය පිළිබඳ ම සිත වද වෙයි. කුමක්ද මේ හිමි වීම.. කුමක්ද මේ අහිමි වීම...

ඇතැම් දේ හිමි වීම ආශීර්වාදයකි. ඒ හිමි වීම ඇතැමකුට ඛේදවාචකයක් ද විය හැකිය. එවිට එක් අයකුට හිමි වන දෙය තවකකුට අහිමි වීමක් විය හැකිය.

අයිතිකර ගැනීම දිනා ගැනීමක් ද? අයිතිකර ගත් බොහෝ දෑ ඇත්තට ම අපට හිමි ද? ඔබේ හදවතින් විමසා බලන්න. ඔබ අයිතිකර ගත් සියලු දෑ ඔබට ඇත්තට ම හිමි ද? ඔබට අයිති කර ගැනීමට නොහැකි වූ දෑ හෝ ඔබ අයිතිකර නොගත් දෑ ඔබට හිමි වී නැත් ද? මා තෘෂ්ණාවෙන් මගේ යැයි අයිතිකර නොගත් බොහෝ දේ සත්‍ය වශයෙන් ම මට හිමි වී ඇති බව කීමට මම නොපැකිළෙමි. හිමි අහිමි බව දන්නේ හදවතයි. අයිතිකර ගැන්මෙන් නොව අතහැරීමෙන් බොහෝ දේ දිනා ගත හැකි බැව් මම ජීවිතයෙන් ම උගෙන ඇත්තෙමි.

ඇතැම් අයගේ ඇසුර හිමි වීම ආශිර්වාදයකි. ඔවුන් හා නොයෙක දෑ කතා කිරීමෙන්, අදහස් බෙදා ගැනීමෙන් ආනන්දයක් ම උදා වේ. තවත් අයගේ ඇසුර අහිමි වීම සන්තාපයකි. ඒ විසල් හෘදයංගම බව විඳ ගැනීමේ අවකාශය නොලැබුණා නොවේ දැ යි සිතෙයි. තවත් සමහරුන්ගේ ඇසුර හිමි වීම ඛේදවාචකයකි. ඔවුහු හද සන්තානය අවුළුවා තව තවත් ගිනි පුපුරු බොහොමයක් ඉතිරි කර සමු ගනිති. එවැනි හිමි වීම් කටුක ය. වරෙක මී පැණි සේ මාධූර්යය ව දැනෙන හිමි වීම් තවත් විටෙක ගිනි වතුර මෙන් හදවත දවාලයි. ලෝකයේ ස්වභාවය එහෙම ය. එබැවින් හිමි වීම් අහිමි වීම්, අහිමි වීම් හිමි වීම් තාවකාලික ය. සදාතනික හිමි වීම අත්පත් කර ගත හැක්කේ හිත නිවා ගත් ඇසිල්ලෙහි ය. එය ළඟා කර ගැන්ම අසීරු ය. ළඟා කර ගතහොත් සුපහන් ය.

ඛලීල් ජිබ්රාන්ට සිඳී ගිය කඳුළක්, අමතක ව ගිය සිනහවක් හිමි කර දුන්නී ඔහු ප්‍රේමයේ සිරකරුවකු කළ සෙල්මා ය. සෙල්මා ගේ හිමි වීම, පරාදීසයේ තනිකමින් ඔද්දල් ව සොබාදහමේ අරුත සොයමින් සිටි තවුස්දම් පුරන්නකුට ජීවත් වීමේ අරුත පහදා දුන්නේ ය. එහෙත් ඒ සුන්දර ලලනාවගේ අහිමි වීම... ඒ අහිමි වීම ජිබ්රාන්ගේ සිනහව අමතක කර දමනු ලැබුවේ ය. හිමි වීම හා අහිමි වීම අතර ඇති බැඳීම එලෙස ය.

රබීන්ද්‍රනාත් තාගෝරයන්ගේ දයාබර සහෘදිනිය මෘණමාලිනියගේ හිමි වීම අපූර්ව සංසාර චාරිකාවක ආහ්ලාදය දැනවුව ද ඇයගේ මරණය ඔහුගේ ජීවිතය ඉවසිය නොහැකි ශෝකාලාපයක් බවට පත් කළේ ය. තාගෝරයන් ඇයගේ අහිමි වීම අනන්ත අප්‍රමාණ වූ නිර්මාණ විශ්වයේ නොමැකෙන සටහනක් කර සිය හදවතේ පමණක් නොව සුවහසක් රසකාමීන්ගේ හදවතේ ඇය දෙවොලක් බවට පත් කිරීම විශිෂ්ට නොවේ ද? විශ්ව කීර්තියට පත් ‘ස්මරණ‘ නම් විරහ කාව්‍යය අහිමි වීමේ හිමි වීම තාගෝරයන්ට ලබා දුන්නා නොවේ ද?

“ඈ අනන්ත වූත් අපරිමිත වූත් විශ්වයට එක් වූවා ය. ඈත ආකාශයෙහි අනන්ත වූ තාරකා අතර මම ඇය දකිමි. අහසෙහි වලාකුළු ද පාවෙයි. තද සුළඟ හමා යයි.

කවියාගේ මන්දිරය අද හිස් ව ඇත්තේ ඈ නොමැති බැවිනි. මම ඇය අනන්ත වූ අවකාශයේ දකිමි. මගේ ගෘහ ලක්ෂ්මිය, ලෝක ලක්ෂ්මිය වූවා ය”

අහිමි වීමේ හිමි වීම පිළිබඳ ප්‍රබල ම නිදසුන හමුවන්නේ බෞද්ධ ඉතිහාසයේ ය. ආත්ම ගණනක් පුරා සිදුහත් කුමරුන්ගේ පාද පරිචාරිකාව වූ යශෝධරාවන්ට සිය ස්වාමියා අහිමි වන විට මුළු මහත් ලෝ වැස්සන් ට ම විමුක්තියේ මාර්ගය හිමි වෙයි. වඩා ප්‍රබල හිමි වීම ද අහිමි වීම ද... සිතා ගත නොහේ. යශෝධරාවන්ට වූ අහිමි වීම සුවිශිෂ්ට හිමි වීමක මුල නොවේ ද? ජීවිතය ද මෙසේ ම ය. එකක් හිමි වීම තවකක් අහිමි වීමකි. අහිමි වීමේ හිමි වීම කවරාකාර ද යන්න යශෝධරාවන්ගේ අපරිමිත කැප කිරීම ම සාක්ෂියක් නොවේ ද?

සොබාදහමේ හිමි වීම් හා අහිමි වීම් අපට පාලනය කළ හැකි ද? හිරු ගිනිගෙන දැවෙන අහසේ සැඬ බවෙන් කැමැති වුවත් අකැමැති වුවත් මිදිය හැකි ද? ඇඟ පුරා සිහින් කටු මෙන් ඇනෙන දැඩි සීතලේ සීගතුවෙන් අකැමැති යැයි මිදිය හැකි ද? මේ සොබාදහමේ හිමි කිරීම් හා අහිමි කිරීම් ය. ගිම්හානයට සෞම්‍ය බව අහිමි ය; සීගතුවට උණුසුම අහිමි ය. අප ඒ හිමි වීම් හා අහිමි වීම් දරාගත යුත්තේ ඒ සෘතුවට ආවේණික සුන්දරත්වය හා අපූර්වත්වය උපරිමාකාරයෙන් විඳිමිනි. එවිට ඒ හිමි වීමෙහි, අහිමි වීමක් හෝ අහිමි වීමෙහි, හිමි වීමක් හෝ නැත්තේ ය. උණුසුම් දිනයක ජලස්නානය කිරීම වඩාත් සුවදායක බැව් ඔබ අත්දැකීමෙන් දන්නවා ඇත. උණුසුම් රාත්‍රියක සඳරැස් වඩා රශ්මිය විහිදුවාලන බවත් ඔබ දන්නවා ඇත. ජීවිතය ද එසේ ම ය. බොහෝ දේ හිමි කාල මෙන් ම බොහෝ අහිමි කාල ද උදා වේ. හිමි කාලයේ අහිමි වීම ගැන සවිඥානක ව ද අහිමි කාලයේ හිමි වීම් ගැන සවිඥානක ව ද ජීවත් විය හැකි නම් එය ජීවිතය පිළිබඳ දැනීමක් ම වන්නේ ය.

සංයෝගෝ හි වියෝගස්‍ය

සංසූවයති සම්භවම්

සංගෝගයේ උපත වියෝගයේ ද උපත වන්නේ ය.

හිමි වීම මෙන් ම අහිමි වීම ද සංයෝගය මෙන්ම වියෝගය ද සමසිතින් දරා ගත හැකිනම් ඒ උපේක්ෂාව විසින් අපේ සිත් කෙතරම් සන්සුන් කරනු ඇත්දැයි මොහොතකට සිතා බලන්න.

sumudu.chathurani@lakehouse.lk

Comments