අඹ කෑවට හිරේ ගියා ගුණදම් දෝරෙ ගියා | Page 587 | සිළුමිණ

අඹ කෑවට හිරේ ගියා ගුණදම් දෝරෙ ගියා

 දෙදහස් වසරක ඉතිහාසයක් තුළ අපි එකිනෙකාට උදවු කැර ගත්, වවා ගත් බත බුලත බෙදා හදාගෙන කෑ ජාතියෙක් වෙමු. රොබට් නොක්ස් පවා “එදා හෙළදිව” දුටු ආකාරයේදී සිංහලයා හා මේ රටේ ජනතාව ආචාරශීලී නිතර සිනාමුසුව ජීවත්වන එකිනෙකාට උදවු කරගන්නා පිරිසක් බව කියයි. එහෙත් අද අප කෙතරම් ආත්මාර්ථකාමී වැඩිහිටියන්ටත් නොසලකන අබ පියල්ලටත් පැළ ඉනි වැටටත් මිනී මරාගන්නා තත්ත්වයට ඇද වැටීම කනගාටුදායකය. පොල් ගෙඩි 07ක් අසල වූ වත්තකින් අහුලාගත් වරදකට පාසල් යන සිසුවියකට එරෙහිව නඩු දැමු පුවතක් කලකට පෙර අපට අසන්නට ලැබිණ. මේ අපේ රටේ අද වර්තමානයයි. ඔවුනට සදාචාරයක්, මනුස්සකමක් කොහෙත්ම නැත. ඊයේ පෙරේදා දීපාවලී දවසේත් ආබාධිත දෙමළ තකකගේ ගැබිනි එළදෙනක් මරා මස් කළ කතාවක් ද අපට ඇසෙයි. ඒ ආබාධිත ගැහැනිය තමාත් දරු තුන්දෙනාත් ජීවත් කළ එම වැස්සිය ගැන කියමින් මේ මොහොතේත් විලාප නඟන්නීය.

මේ සියල්ලම අතරින් වඩාත් ම අමනුස්සකමේ පුදුමාකාර සිද්ධියක් වාර්තා වන්නේ අනුරාධපුර සාලියපුරයෙනි. ඒ අවුරුදු 64ක් වයසැති ඒ. ලලිතා නම් වයෝවෘද්ධ මාතාවක් සම්බන්ධයෙනි.

ගෙදර උයන්නට කිසිවක් නැතිව අඹ මාළුවක් උයාගෙන හුන්සල් මිටක් සමඟ බත් කන්නට අසල නිවෙසක පාරට බර වූ අත්තකින් අඹ ගෙඩි තුනක් කඩා ගත් වරදට ඇය පැය 24ක් වතුර උගුරක්වත් නැතිව පොලිස් සිරමැදිරියක සිටියාය.

ලලිතාගේ කතාව කීමට පෙර මෙහි එන සටහන මතු කැර ගැනීමට මම කුරුණෑගල තිඹිරියාගම ගම්මානයේ කවුරුත් දන්නා කතාවකට එක්වෙමි. අපේ කලණ මිතුරු තිඹිරියාගම බණ්ඩාරයන් ද මේ කතාව හොඳින්ම දනී.

පැරැණි ගැමි ගෙයක ඉදිරිපිට වී බිස්සක් තිබිණ. දවස පුරා වෙහෙස මහන්සි වී දුක කඳුළ දහදිය වගුරා ඒ ගෙදර ගොවියා හරිහම්බ කළ සියලු දේ මේ වී බිස්සට එක් විය. තම ගොයම කිරි වැදී බිමට නැමු වී කරල් ඇතිව තිබෙන විට නැ‍ඟෙන සතුටටත් වඩා අපමණ සතුටක් ඒ වී බිස්සේ වී ගොඩ ගැසෙන විට ඔවුනට ලැබිණ.

බොහෝ ගොවි ගෙවල් ඉදිරිපිට වී බිස්ස තිබුණද, අතරින් පතර එසේ නැති දුප්පත් ගෙවල් කීපයක් ද තිබිණ. දිනෙන් දින තම වී බිස්සේ වී අඩු වන බව ගෙහිමියා වන ගොවියාට දැනිණ. අනෙකුත් ගොවියන්ගේ වී බිස්සට ද මෙවැනිම ප්‍රශ්නයක් ද තිබිණ. මුලින් කී වී බිස්ස හිමි ගෙදර ගොවියා රාත්‍රියේ සැඟැවී සිට තම වී බිස්සෙන් වී ගන්නා හොරා ඇල්ලීමට කල්පනා කළේය. රාත්‍රිය එළැඹිණ. කිසියම් පුද්ගලයකු අඳුරේම වී බිස්සට බැස වී මලු බාගයක් රැගෙන පිටතට ආවේය. එසේ එන විටම ඔහු අල්ලා ගැනීමට ගොවියාට හැකි විය.

දරු පැටවුන් තුන් දෙනකුගේ කුසගින්න නිවීමට තමා හොරකම් කළ බවට මහා කනිපින්දමක් ද කියමින් බැගෑපත් වූ හොරාට ගොවියා කළේ අවවාදයක් දීම පමණය. වී මලු බාගය වෙනුවට වී මල්ලක් ද දුප්පතාගේ ගෙදරට යැවිණ. අලස නොවී වැඩ කැර කන්නැයි කළ අවවාදයට අනුව ඉන් අනතුරුව මේ ගමේ වී බිස්සවල වී අඩු වූයේ නැත.

ඒ ගොවියා කළේ මිනිසකු හැදීමය. එහෙත් මෙතැන අගතියට පත් කරන්නේ වයෝවෘද්ධ කාන්තාවකි. ඒත් අඹ ගෙඩි තුනක් හොරෙන් කඩා ගැනීමේ වරදටය. පොලිස් නිලධාරීන්ට පොලිස්පතිවරයා භාවනා කටයුතු ද උගන්වන කාලයක මේ නිලධාරීහු අමනුෂ්‍ය ආකාරයෙන් ක්‍රියා කළහ. අර මහලු මවට වතුර උගුරක් නුදුන්හ. ශරීර කෘත්‍ය සඳහාවත් අවස්ථාවක් ‍නුදුන්හ. ඒ බලපුළුවන්කාර අම්මණ්ඩි කෙනෙකුගේ විධානවලටය.

තමන්ට මුහුණ දීමට සිදුවූ සිදුවීම සම්බන්ධයෙන් ඒ. ලලිතා මහත්මිය මෙසේ කීවාය.

“අසල්වැසි නිවෙසක අඹ ගසක පාරට නැමී තිබුණු අඹ වල්ලක ගෙඩි තුනක් පසුගිය 9 වැනිදා උදෑසන කඩා ගත්තා අඹ මාළු කන්න හිතාගෙන. එම අවස්ථාවේදී එම නිවසේ බල්ලන් බුරන ශබ්දය ඇසී එළියට පැමිණ එම ගෙදර නෝනා හා මහත්තයා පොල්ලක් අරගෙන මට ගහන්න පැන්නුවා.

ඔවුන් මා පදිංචිව සිටින නිවසේ මිදුලටම දිව ආවා. ඉන් පසුව ඔවුන් අනුරාධපුර පොලීසියට පැමිණිලි කර තිබෙනවා. උදේ 10 ට පමණ පොලීසියේ මහත්වරු දෙදෙනෙක් මගේ නිවසට ආවා. ඔවුන් මා හට කියා සිටියේ වත්තකට පැන අඹ ගෙඩි 16ක් හොරකම් කර තිබෙන බවට පැමිණිල්ලක් තිබෙන බවයි. එය විභාග කිරීම සඳහා පොලීසියට පැමිණෙන ලෙසත් කීවා. එය අසා මා පුදුමයට පත්වුණා. මම අඹ ගෙඩි 16ක් කැඩුවේ නැහැ බොරු පැමිණිල්ලක් දාලා. සපා කන බල්ලන් දෙදෙනෙකු සිටින කම්බි පොටවල් හතක් ගසා තිබෙන වත්තකට අසනීපෙන් සිටින මා පැන සොරකම් කරන්නේ කොහොම ද? එම පැමිණිල්ල අසා මා පුදුමයට පත් වුණා.

මම පහුවදා පොලීසියට ගිය පසු පැමිණිලිකාර කාන්තාව ද පැමිණියා. අඹ ගෙඩි තුනක් කඩා ගත් වැරැද්ද මා භාර ගත්තා. මෙය සමථයකට පත් කර දෙන්න යැයි පොලීසියෙන් මා ඉල්ලා සිටියා. එහෙත් පැමිණිල්ල ඉදිරිපත් කළ කාන්තාව එයට විරුද්ධ වුණා. පසුව ඇය පොලිස් නිලධාරීන් ඉදිරිපිට දී කියා සිටියේ වැට මායිමේ මා පදිංචිව සිටින වත්තේ තිබෙන ලුණුමිදෙල්ල ගස හා කොහොඹ ගස එම නෝනලාගේ ගස්වලට හානියක් නොවන සේ සතියක් ඇතුළත කපා ඉවත් කර ගැනීමට පොරොන්දුවක් දෙනවා නම් අඹ ගෙඩි කැඩු සිද්ධියට අදාළ පැමිණිල්ල ඉවත් කරගන්නා බවයි. පසුව මා එයට කැමැති වුණා. පොලීසියෙන් කොළයක් දුන්නා ගස් දෙක සතියකින් කපා ඉවත් කරගන්නා බවට ලියා අත්සන් කරන්න. ඒත් අවසානයේ එයට ද එම නෝනා විරුද්ධ වුණා. පසුව පොලිස් නිලධාරින්, මා උසාවියට ඉදිරිපත් කළ බව පැවසුවා.

දහවල් 11.00 ට පමණ මා පොලිස් නිලධාරී මහත්වරුන්ගෙන් ඇහුවා ගෙදර යන්න ද කියා. උසාවි දාලා තියෙන නිසා යන්න දෙන්න බැහැ කිව්වා. මම අනුරාධපුර පොලීසියේ ලොකු මහත්තයා හම්බ වෙන්න අවස්ථාවක් දෙන ලෙස ඉල්ලා සිටියත් පැමිණිල්ල විභාග කළ මහත්වරු තිදෙනා එය වැළැක්වූවා. පසුව මා බංකුවක් මත පැය ගණනාවක් වාඩි කර තැබුවා. පිරිමි සිරකරුවන් සිටි කූඩුව ළඟ බංකුවක තමයි මා වාඩිකර සිටියේ. පසුව රාත්‍රියේ සිර කූඩුවකට දමා අගුලු දැමුවා. එම සිර කූඩුවේ සිටියේ මා පමණයි. මගේ උගුර කට වේළිලා කැරකිල්ල වගෙත් ඇති වුණා. කෑම ගෙනත් දෙන්නවත්, මුත්‍රා කිරීමට එළියට යාමටවත් කවුරුත් හිටියේ නෑ. අපේ ගෙවල් ළඟ පොලීසියේ වැඩ කරන මහත්තයෙක් සිටිනවා දැක කතා කර, වැසිකිළි යාමට අවශ්‍ය බව පැවසූ විට පොලිස් නෝනා කෙනෙක් එව්වා. පහුවදා උදෑසන අපේ ගමේ අයට ආරංචි වී පොලීසියට පැමිණ සිටියා. ඔවුන් පෙරකදෝරු ‍ගාස්තු ගෙවා මා උසාවියට ඉදිරිපත් කළා. ලක්ෂයක ශරීර ඇප දීලා මා මුදාහැරියා.

ස්වාමිපුරුෂයයි මමයි විතරයි මේ ගෙදර ජීවත්වන්නෙ. ස්වාමිපුරුෂයා වත්තක මුර කරනවා. මේ වන විට මගේ එක් ඇසක පෙනීම දුර්වලයි. අනෙක් ඇසට ළඟදී කාචයක් දැමුවා. විටින් විට පපුව අමාරුව ද හැදෙනවා යැයි පැවැසීය.

මේ සම්බන්ධයෙන් අප අනුරාධපුර මූලස්ථාන පොලිස් ස්ථානාධිපති සංජීව මහානාම මහතාගෙන් කළ විමසීමකදී එම මහතා සඳහන් කළේ පැමිණිල්ලක් සමථයකට පත් කරගැනීම සඳහා පැමිණිලි පාර්ශ්වය අකමැත්ත ප්‍රකාශ කිරීම නිසා එම කාන්තාව අධිකරණයට ඉදිරිපත් කිරීමට සිදු වූ බවයි.

මේ සිද්ධිය ගැන විවිධ පැතිකඩයන් ඔස්සේ විමසා බැලිය හැකිය.

පාරට නැමුණු අත්තක තිබෙන ගෙඩියක් වුවද අද කාලයේ හැටියට නොවිමසා නොදන්වා කඩා ගැනීම වරදකි. එහෙත් අද රටේ සිදුවන දේ අතර එය ලූනු බිකක තරම් වරදකි. පැරැණි දවසේදී පාද යාත්‍රාවෙන් ගමන් ගිය මිනිසුනට පාර අයිනේ පිරිසුදු පැන්තාලියන් පුරවා තිබ්බේ ද අපේම මිනිසුන්මය. පැන්තාලිය පසු කාලයක පින්තාලය ද වෙයි. පාර අයිනේ තිබෙන මාදං, හිඹුටු, පේර, ලාවුළු, ගස්ලබු, අඹ, නාරං, කජු මේ හැම දෙයක්ම කෑවාට එදා පැරැණියෝ විරුද්ධ නොවූහ. ඒවාට විරුද්ධ වීම ද අමනුස්සකමක් යැයි ඔව්හු සිතූහ. එහෙත් අද එදා මෙන් නොවේ. එදා පොලොස් ගැටයක්, ගස්ලබු මැල්ලුමට ගස්ලබු ගෙඩියක්, කෙසෙල් මුහක් කඩා ගත්ත ද කවුරුත් අවි අමෝරා ගත්තේ ද නැත. ඒත් අද ඒවාට විශාල මිලක් වෙළෙඳපොළේ තිබේ. ඒ නිසා සදාචාරය ඉල්ලා ගැනීමය.

දෙවැන්න වියපත් අයට සැලකීමය. එදා පුරුද්දට ලලිතා මහත්මිය එය කළානම් කළ යුතුව තිබුණේ ඇයට අවවාද කිරීමය.

තුන්වැන්න පොලීසිය ක්‍රියා කළ පහත් ආකාරයයි. ඔවුන් කළේ ඇය ගෙන ගිය වරදට අමතරව වෙනත් ගස් කීපයක් කපා දමන්නැයි පැමිණිලිකාරිය කරන අරගලය පිළිගැනීමය. ඒ අනුව අත්සන් ගැනීමය. මෙවැනි වරදකට උසාවි දැමීමය. මුත්‍රා කිරීමටවත් අවස්ථාව නොදී නොවිමසා පොලිස් කූඩුවේ තබා ගැනීමය. උසාවියෙන් ශරීර ඇප ලක්ෂයක් ගැනීමය.

මේ සිද්ධියේ තවත් සුන්දර පැත්තක් ද තිබේ. ගිලීමලෙත් ඇත දත සුද්දෝ කියන්නාක් මෙන් දුදනන් අතර සුදනන් ද සිටින බව සිද්ධිය අවසානයේ ඒත්තු යාමය. ඇය බේරා ගැනීමට ඇප තැබීමට පොලිසි එන්නේ ඇගේ පළාතේ ම අසල්වැසියන්ය. මෙය මිනිස්කම විකසිතව මිණිදැදිරි වන අවස්ථාවකි. පෙරකදෝරු ගාස්තු පවා ගෙව්වේ ගමේ මිනිසුන්ය. මෙය කෙතරම් අහන්නටත් මිහිරි ද?

“කරන කලට පව් මීරිය මීසේ - ගෙවන කලට දුක් දැඩි වෙයි ගිනි සේ” යැයි අපි දුදනන්ට කියමු. “ඒදඬු පාලම් තැනුවෝ ද, දුගී මගී, යාචකාදී මහල්ලන්, යතිවරුන්නට උදවු උපකාර කළෝ ද මතු මෛත්‍රී බුදුන් දකිත්මැයි” මෛත්‍රී වර්ණනාවේ සඳහන් බව දුදනෙනි, අපි ඔබට ද කියමු.

උපාලි සමරසිංහ 

Comments

ANUNNGE WATHTHAKA HADDANA DAWAL ANUNGE HPRAKAM NOKARA HGIN AHWANAM EWRANNE OKKA WARDAK PODI LOKU BADA GHNI KYALA NA HORA KAMA ORAKAMMAI H

පිටු